Monday, March 18, 2013

බුදුන් උපන් රටේ බුදු පුතුනට ප්‍රහාරයක්...


              බෞද්ධයකු ලෙස උපන් මාගේ ආසාව යම් දිනයක බුදුන් උපන් දේශය වැඳ පුදා ගැනීම විය. මගේත් සැමියාගේත් දෙදෙනාගේම මවුවරුන් දඹදිව වැඳ පුදා ගැනීමට යැවීමට කටයුතු කරන්නට පහුගිය කාලය තුළ අප නො ගත් උත්සාහයක් නැත.

         " හිතේ කරදර තියා ගෙන දඹදිව වඳින්න යන්න බෑ.කවදා හරි මගේ සල්ලි වලින් තමයි යන්නේ.එතකොටයි පින" මගේ මවුගේ පිළිතුරක් විය.

        "ඔය සල්ලි වලින් ගේ හදා ගන්න. අපිව දඹදිව යවන්න කළින් තමන්ට කර ගන්න කොච්චර දේවල් තියනවද..?"ඒ ඔහුගේ මවයි. 

              කෙසේ හෝ අත්තිකාරම් මුදල් පවා ගෙවුවද, දෙදෙනාම ගමනට සූදානම් වූයේ නැත.

එය එලෙස අවසන් විය.

            අද මුහුණු පොතේ දුටු දෙයින් ගත සිත සීතල වී ගියේ මවුන් දෙදෙනාට ද මෙවන් කරදරයකට මුහුණ පෑමට වුණි නම්...... කියා පමණක් ම නොවේ.

                   බුදුන් උපන් දේශය වැඳ පුදා ගැනීමට ගිය වන්දනා නඩයක අප ස්වාමීන් වහන්සේ නමකට සිදු වූ හිරිහැරය බෞද්ධයකු ලෙස මා හට ඇති කළේ මහා සංවේගයකි. බලන්න මොනතරම් සාහසිකද..?

                   මේ වා මේ විධියට සිද්ධ වුණොත් ආයෙමත් ජාතිවාදී කලබල ඇති වෙන්න තියන ඉඩ කඩ බොහොම වැඩි වේවි. එහෙම වුණොත් ඉන්දියාව සදාකලික හතුරෙක් කර ගන්න විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ඉන්දියන් දෙමළ සහ(කොටි හිතවාදීන් සේරම ) තමිල්නාඩුවට පන්නන්න තමයි සිද්ධ වෙන්නේ.

              ඒ විතරක් නෙමෙයි සිංහල ජාතීන් හා සමගිව මිත්‍රව වෙසෙන දමිළයන්ට පවා අතවරයන්ට මුහුණ දෙන්න වෙන එක වළක්වන්න බැහැ.83 කළු ජූලිය වෙලාවේ වුණා වගේ දේවල් ආයෙමත් නොවේවි කියලා කාට හරි අනාවැකි කියන්න පුළුවන්ද? එහෙන් මුසල්මානුවන් හලාල්.... කියාගෙන. මෙහෙන් ත්‍රස්තවාදී දමිළයන් ආයෙමත් නැඟිටින්න අත් වාරු හොයනවා. ඔය මතුවුණේ ලංකාවේ මතු වෙන්න බැරි වෛරීය සිතුවිලි වල මුල් අවස්ථාවක් නො වේ යැයි කියන්නට බැහැ. 

             මට හිතෙන විදියට ලංකාව ඇතුළේ පවා පුංචියට මේ දේවල් මතු වෙනවා ඇති . 

               සමහරවිට උතුරේ අපි හිතා ගෙන හිටියාට දැන් තත්ත්වය සාමකාමී, අපේ රටේ යුද්ධය නැත්තටම නැති වුණා කියලා ඒක තරම් හිත රවටාගෙන හිටින ලස්සන බොරුවක් තවත් නැතුව ඇති.තවමත් මාධ්‍ය වලින් කතා නොකරන සුළු දේවල් කියලා අත් හැර දමාපු බෝම්බ පිපිරීම් උතුරේ සිද්ධ වෙනවා.ගෙවල් අතරේ නොහොඳ නෝක්කාඩු වුණාම ( දන්න භාෂාවෙන්ම කියනවා නම් වලි ගියාම ) ග්‍රෙනේඩ් එක කඩලා තරහාකාරයාගේ ගෙදරට ගහන තත්ත්වයක් තියන බව උතුරේ සංචාරයක් ගියා නම්, හමුදා සොයුරන්ගෙන් විස්තර අසා දැන ගත්තා නම් දන්නවා ඇති. 

                   පිරිබාහරන්ගේ (ප්‍රභාකරන්ගේ ) ගෙදර අවට තියෙන්නේ මහා විරු ගම්මානයට අයිති ගෙවල්. ඒවායේ ඉන්න අය තවමත් කැමැති නැහැ අපේ හමුදා සොයුරන් යාපනේ ඉන්නවට.එවුන්ට ඕනේ දෙමළුන් විතරක්ම යාපනේ ඉන්නයි.අපේ සිංහළුන් යාපනේ බලන්න එනවාට පවා උන්ගෙන් තියෙන්නේ අයහපත් ප්‍රතිචාරයක්.යාපනේ යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම්, කරුණාකර දන්න කියන හමුදා නිළධාරියෙක් ගමනට එක්  කර ගන්න.කිසිම විටෙක දෙමළ කෙනෙක්ගෙන් පාරවල් අහන්න යන්න එපා.ඔවුන් ඔබව අතරමං කරවාවී.

               ලියන්න ගිය කතාවට එහා ගිය දේවල් ලියවුණා ,ඒත් මට හිතෙනවා මේ වෙලාවේ ඒ ගැන අපේ අය දැනුවත් වෙන එක හොඳයි කියලා. ටික දවසක් යන තුරු යාපනේ පැත්තෙත් නොගිහින් ඉන්න පුළුවන් නම් ඊටත් හොඳයි.


                බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් ඒ පාපතරයන්  දැන් පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කියා සිටිනවාලු. අපේ කොන්ද පණ තියෙන දේසපාලුවෝ ඉන්නවා නම් ඉන්දීය දෙමළු එක්ක කතා කරන්න හැකියාවක් තියෙන,මෙන්න ඊට හොඳම වෙලාව.සිංහල බෞද්ධ වේවා ,දෙමළ වේවා කවුරු හරි මේ ගැන කතා කළ යුතුමයි.ඉන්දීය රජය අපේ ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටීම අත්‍යාවශ්‍ය වන අතර , මෙම පහර දීම සිදු කළ පවුකාරයන් හට දඬුවම් පැමිණවිය යුතුමයි.එවුන් අප ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.රජයක් වශයෙන් ඉන්දීය රජයට ක්‍රියා කළ හැක්කේ ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහි වීමට පමණක් නම්, ලාංකිකයන් වශයෙන් අද පටන් සියළු ඉන්දීය භාණ්ඩ වර්ජනය කිරීමටත්,බුදුන් උපන් දේශය වුවත්,එය වැඳ පුදා ගැනීමට යාමෙන් වැළකී සිටීමටත් මම තීරණය කළෙමි. ඔබගේ තීරණය කුමක්දැයි පපුවට තට්ටුවක් දමා ඔබම විමසා සිටින්න.

Thursday, March 14, 2013

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ....03

               බොහොම කාලයකට පස්සේ ආයෙමත් හොස්ටල් ජීවිතේ ගැන ලියන්න ගත්තා. පහුගිය කාලයක් බ්ලොග් එක පැත්ත පළාතක වත් එන්න වෙලාවක් නැතුව හිටියේ.ඇවිත් වුණත් ලිවුවේ පොදු මාතෘකා ගැන නේ.ඉතින් ඔන්න තරහා අවසර. ආයෙම ලියන්න ඒ කාලේ දුකක් ලෙසත්, අදට රසබර මතක සටහනක් ලෙසටත් හදවතේ සදා කාලිකවම ලැගුම් ගත් ඒ සොඳුරු සමය ගැන.

               6 වසර අවසාන වාරය වෙද්දි තීරණය වුණා අළුතෙන් ඩෝම් ලීඩර්ස් ලා පත් කරන්න. අනේ කරුමයක මහත. ඒක කර ගහන්න වුණේ මේ බට්ටි කෙලීට නේ.කවුරුවත් කැමැත්තක් දක්වන්නේ නැහැ ඔය කටු ඔටුන්න දා ගන්න. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා වගේ වරප්‍රසාද ලැබෙනවා කියලායැ.සෙකට්‍රිලා, වාහන, අඩු මුදලට ප්‍රණීත ආහාර.... ඔය මොනම වාසියක් වත් නැහැ.. අපරාදේ කියන්න බැහැ අඩුපාඩුවක් නැතුව බැණුම් වර්ෂාවන්ට නම් නිතරම තෙමෙන්න වෙනවා.ඩෝම් එකේ ළමයි වෙලාවට පාඩම් කරන්න එනවාද? බුදුන් වඳින්න යනවාද? රෑට පිරිත් කියන වෙලාවට හැමෝම පිරිත් කියන්න එනවද බලන්න ඕන වගේම නො එන ළමයි ඒ තැන් වලට එක්ක ගෙන යන්නත් ඕන.

                  ඉතින් මාරම කරුමයක් තමයි ඕක.එහෙමයි කියලා ලැබුණ දේ දමලා ගහලා වගකීම් වලින් පැනලා දුවන කෙනෙක් නෙමෙයි මේ බට්ටි.පොරොන්දුවක් වුණොත් බෙල්ල ගහලා ගියත් ඒක ඉෂ්ඨ ('ට'කියලාද ලියවෙන්න ඕන කියලා මතක නෑ. හරියට දන්න කෙනෙක් කියන්න. )කරන්න ඕන කියලයි බට්ටිගේ අදහස.ඉතින් මුළු හොස්ටල් එකම ඉදිරියේ භාර ගත්ත වගකීම පොරොන්දුවක් දුන්නා වගේ කියන අදහසින් නිළ කාලය අවසන් වෙන තුරුම රැක්කා.ඔය නිසාම සමහර අය බට්ටි එක්ක අමනාප වුණා. එහෙමයි කියලා බට්ටි වැඩේ අත් අරීද...?

                   කට්ටියට කියන්නම්කෝ අපේ කාල සටහනේ හවස් වරුව ගැන ටිකක්. හොස්ටල් අයගේ ප්‍රියතම කාල පරිච්ඡේදය පටන් ගන්නේ හවස 4.30ට.ඒ තමයි ගේම්ස් වලට තියන වෙලාව. 5.30 වෙන තුරු පැයක කාලයක් ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට බැහැලා තමන්ට කැමති සෙල්ලමක් කරන්න පුළුවන්. ඒත් ඉතින් බොහෝ දෙනෙක් ගේ ක්‍රීඩාව තමයි එල්ලේ. ඒත් ඉතින් 6 වසරේ පොඩ්ඩන්ට ඒ චාන්ස් එක නැහැ. පිට්ටනිය වුණත් ඩෝම්ස් 6ක ළමයින්ට එල්ලේ ගහන්න තරම් ඉඩක් නැහැ නේ. ඉතින් ලොකු අක්කලා සෙල්ලම් කරනවා නම් පොඩ්ඩන්ට නෝ චාන්ස්. 11 වසර අක්කලා ගේම්ස් පීරියඩ් එකට එළියට බැස්සට සෙල්ලම් කරන්නේ නැහැ. 10 වසර තමයි. අනික අළුත් අය වෙච්චි අපි ළඟ එල්ලේ ගහන්න බැට් එකක් තිබුණෙත් නැහැ. ගස් මාරු වෙන එක, අයිස් ප්‍රයිස් ,කෑලි 7.... ඔය වගේ සෙල්ලම් වලට තමයි අපිට යොමු වෙන්න වුණේ.

                  5.30ට බෙල් එක ගහනවා ගේම්ස් ඉවර වෙන්න.ඉතින් පැය භාගයක් තියනවා බුදුන් වඳින්න යන්න. 6.00ට කට්ටියම බුදුන් වඳින්න බුදු මැදුරට යන්න ඕන. බුදු මැදුර ඇතුළේ ඉඩ නැති නිසා එතැන එළියේ තමයි කට්ටිය වැන්දේ.

                                                    මේ තමයි අපේ බුදු මැදුර ඇතුළ
                 මේ ස්කෝලේ වෙලාවේ බුදු මැදුරට පිටින් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ළමයි බුදුන් වඳින හැටි.


                ඔය වෙලාවට කට්ටිය එකතු කර ගන්න හරි අමාරුයි. දන්නවා නේ ඉතින්. සෙල්ලමට කට්ටිය හිටියත් පිං අතේ වැඩ වලට කට්ටිය එකතු වෙනවා අඩුයි නේ.ඔන්න ඔය වෙලාවට තමයි ඩෝම් ලීඩර්ස්ලට, හොස්ටල් ලීඩර් සහ දෙවැනියාට වැඩ තියෙන්නේ.කොහොම හරි වදෙන් පොරෙන් කට්ටියව බුදු මැදුරට දක්කා ගෙන (ඒක තමයි හරිම වචනය )යනවා. බුදුන් වැඳලා ඇවිත් 6.30-7.30 වෙන තුරු පාඩම් කරන්න තියෙන්නේ. 8.00ට රෑ කෑම. දන්නවා නේ හොස්ටල් හිටපු අය ඒවායේ කෑම ගැන.සමහර දවසට කටේ තියන්න බෑ.මොනවා කරන්නද කඩෙන් කන්න කියලයැ.ඒ වගේ දවසට කෑම එක එහෙමම ඩස්ට් බින් එකට හලලා ඩෝම් එකට ගිහින් බිස්කට් එකක් කාලා තේ බොන වෙලාවල් තියනවා.සතියකට හෝ දෙකකට වරක් ගෙදරින් ආවාම ගෙනැත් දෙන මොනවා හරි කෑමක වටිනාකම තියෙන්නේ ඔය වෙලාවට තමයි.

                 9.00ට පිරිත් කියන්න එන්න ඕන. හැමෝම ඩෝම් එකෙන් එළියට ඇවිත් කොරිඩෝ එකේ පේළි ගැහිලා ( ඔය කිවුවට පේළි ගැහිලා නෙමෙයි, හැමෝම කොහේ හරි බිත්තියකට හේත්තුව දාගෙන තමයි වඳින්නේ.) පිරිත් කියනවා. හාමුදුරුවරු වගේ රෑ එළි වෙන තුරු නෙමෙයි. විනාඩි 15ක් 20ක් විතර තමයි ඔය වැඩේට ගත වෙන්නේ.9.30-10.00 වෙද්දි ඩෝම්ස් ලොක් කරනවා. ආයේ දොර අරින්නේ උදේට තමයි.මොකක් හරි හදිසියක් වුණොත් දොර ළඟට ඇවිත් කෑ ගහන්න තමයි තියෙන්නේ.ඒ දවස් වල ෆෝන් තිබුණෙත් නැහැ නේ.වාසනවට කාට හරි ඇහුණොත් හරි. නැත්නම් සොරි.
 
                          ඔහොම බට්ටිගේ සුන්දර කටු ඔටුන්න පැළඳි කාලයේ පිරිත් කියන්න කට්ටිය එළියට ගන්න පුදුම දුකක් වින්දා. බොහොමයක් දෙනා අඬා ගත්ත ගමන් ම නේ. හරිම චුරු චුරුව. ගෙදර යන්න ඕන කියයි. ගෙදර මතක් වුණා කියයි. පාළුයි කියයි. මේ ලෝකේ කියන්න තියන ඕනම කාරණාවක් ඇති 6 වසර ඉවර වෙලා 7 වසරට යන තුරාවටම අළුත් කියන ලේබලේ තියන පොඩ්ඩන්ට අඬන්න.නර්මදා....ඈ හිටියෙත් බට්ටිගේ ඩෝම් එකේ. අකුරැස්ස පැත්තේ කෙනෙක්.එදා බට්ටි කට්ටියව පිරිත් කියන්න එළියට දාන්න වලි කද්දි නර්මදාත් ඇඳ බදා ගෙන. සමහරු පිරිත් කියන වෙලාව වෙද්දි නිදි. නර්මදාත් ඒ වගේ නිදි වගේ හිටියාට නිදි නෑ කියලා බට්ටි දැන ගෙන හිටියේ.

              බෙල් එක ගහලත් ටිකක් වෙලා ගිහින්, කතා කරනවා-කරනවා නැඟිටින පාටක් නෑ.අතින් ඇදලා බිමට දාන්න හැදුවත් ඇඳ බදාගෙන හොඳට. පිරිත් කියන්න යන්න ඉන්න බට්ටිට දැන් යක්ෂාවේශ වෙලා.මේට්‍රන් මිස් ආවොත් බැනුම් අහන්නේ බට්ටි නේ. වේවැල අරන් ආවාම නිදා ගෙන ඉන්න කෙනාට වගේම ඩෝම් ලීඩර් ටත් එයින් සංග්‍රහ ලැබෙනවා.

                බට්ටි මොකටද නිකරුණේ ගුටි කන්නේ.ඕං යක්ෂයා........... 

"මට ඉතින් මේකිට ගිනි කූරක් ගහලා ගිනි තියලා දාන්න තමයි හිතෙන්නේ...." 

                 කේන්තිය හිතේ තියාගෙන පුපුරු ගහ ගහා විඳවන සිරිතක් බට්ටිට තිබුණේ නැහැ. පිට කරලා දැම්මා. බොහොම ශ්‍රද්ධාවෙන් පිරිත් කියන්න යන්න කළින්. ඒත් නැඟිටින පාටක් නෑ. බලා ඉඳලා බැරිම තැන බට්ටි ගියා පිරිත් කියන්න. හොඳ වෙලාවට මේට්‍රන් මිස් ආවේ නැහැ.ඒත් පුදුමෙට පිරිත් කියලා ඩෝම් එකට එද්දි හොඳටම නිදා ගෙන හිටිය නර්මදා අවදි වෙලා, අඬනවා. අනේ අනේ.පිරිත් කියන්න යන්න නැඟිට ගන්න බැරි වුණ කෙනාට බට්ටි කේන්තියෙන් කියපු දේ ඇහිලා....... බට්ටිට විරුද්ධව මේට්‍රන් මිස් ළඟට යන්න නර්මදාට පුළුවන් කමක් නැහැ එයා අතේ වරදක් තියා ගෙන.සිද්ධ වුණේ එකම දෙයයි එදායින් පස්සේ නර්මදා බට්ටි එක්ක අමනාප වුණා, කතා කළේම නැහැ. බට්ටි වුණත් සෙකන්ඩ් වෙන්න ගියේ නැහැ,මොකද බට්ටි දන්නවා බට්ටි අතේ විතරක් නෙමෙයි වරද තියෙන්නේ කියලා. 

                       " එයා කොහොමද එහෙම කරන්නේ, මට ගිනි තියන්න. මොකද මගේ අම්මලා මාව හදලා තියෙන්නේ එයාට ගිනි තියලා දන්නද....?" ඔය වගේ දේවල් බොහොමයක් එදා නර්මදා කියෙවුවා. 

                     7 වසරට යද්දි නර්මදා හොස්ටල් එකෙන් අයින් වුණා. ඊට පස්සේ බෝඩිමක ඉඳන් ටික දවසක් ස්කෝලේ ඇවිත් ස්කෝලෙන් අස් වෙලාම ගියා.ඒ යද්දිත් බට්ටි එක්ක කිසිම කතා බහක් නර්මදාගේ තිබුණේ  නැහැ. කාලයත් එක්ක ඔය දේවල් අමතක වෙලා මිතුරු වෙන්න තරම් කාලයක් අපි මුණ නො ගැසුණ නිසා මට හිතෙන්නේ අදටත් අපි දෙන්නා තරහයි. මඟතොටදී අපි හමු වුණාද, හමු වෙනවාද දන්නෙත් නැහැ. පුංචි කාලේ දැක්කාට පස්සේ නොදැක්ක නිසා, දැන් දැක්කාට අඳුනා ගන්න පුළුවන් වෙන එකකුත් නැහැ.

                කොහොම හරි ඩෝම් ලීඩර් කමෙන් මට ඉතිරි වුණේ සදාකාලික හතුරුකමක් විතරයි.මොනවා හරි ඩියුටි එකක් නර්මදාට තියනවා නම් වෙන කෙනෙක් ට කියලා ඒ ගැන නර්මදා දැනුවත් කරවනවා මිස බට්ටි කතාවට නොගියේ ඒ දවස් වෙද්දි බට්ටි ළඟ  තිබුණ මහා හිතුවක්කාරකම නිසා. හිතුවොත් හිතූ දේ කරන්න තිබුණ ඕනකම සහ බට්ටි කරන දේ හරි ය කියන විශ්වාසය බට්ටි තුළ තිබුණ නිසා වෙන කෙනෙක් දෙන හැම අවවාදයක්ම බට්ටි පිළි ගත්තෙත් නැහැ.අනික බට්ටි හරිම තද, නපුරු හිතක් තිබුණ කෙනෙක්.කවුරු හරි තරහා වුණා කියලා එයාගේ යාළුකම නැත්නම් මට ජීවත් වෙන්න බැහැ. මම මොකටද තරහාකාරයෝ හදා ගන්නේ කියලා හිතලා තරහා අමතක කරලා යාළු වෙන්න තරම් ඕන කමක් බට්ටිට තිබුණේ නැහැ.අද වෙද්දි ඒ ගතිගුණ ටිකක් විතර අඩු වුණත් සම්පූර්නයෙන්ම නැති වෙලා නම් නැහැ. 


බලු වලිගේ ඇද අරින්න බැරි ලු නේ උණ පුරුකේ දැම්මත්.