Saturday, April 27, 2013

පාට පාට අංක තහඩු

                          අපේ සිරි ලංකාවේ කොහේ කියලා දකින්නද ඉතින් පාට පාටින් අංක තහඩු.මම මේ කිව්වේ....... තේරුම් ගන්න, දන්නා කියන බාසාවෙන් කිව්වොත් මේ.... නම්බ(ර් ) ප්ලේට් එක ගැන.වාහන වල තියෙන්නේ.... ආ....න්න ඒ ගැන.

                  අනේ මම දන්නා දෙයක් නැහැ නම්බර් ප්ලේට් ගැන. ඒ වුණාට බලන්නකෝ මැද පෙරදිග තියන පාට පාට අංක තහඩු දිහා.

 මේක අයිති රට මොකක්ද කියලා මම දන්නේ නැහැ.මට අරාබි බැරි නිසා.කොහොම වුණත් මේක තිබුණේ නම් ඩුබායි වල.

                                                             මේ අබුඩාබි වාහනයක්.
                                                                  මේක සවුදි වලින්.
                      ඩුබායි වල ඩබල් කැබ් වගේ වාහන වලත්  මේ වගේ කොළ පාට අංක තහඩු තියනවා.

                                                          මේ කටාර් වල වාහනයක්.
                                ඔන්න පොලිස් වාහනයක නම්බර් ප්ලේට් එකෙත් පින්තුරයක් ගත්තා.
                                                      මෙයත් අබුඩාබි වාහනයක්.
                මෙන්න මේ ජාතියේ නිල් පාට අංක තහඩුවක් තියන පින්තුරයක් ගන්න මම කොච්චර කල් ගත්තද ... අනේ අපොයි හරිම අඩුයි මේ පාට අංක තහඩු. සාජා වල වාහන සමහරක තියනවා. ඩුබායි වල තියන හැම නිල් පාට අංක තහඩුවක් තියන වාහනයකම EXP කියලා ගහලා තියනවා. සමහර විට රෙජිස්ටර් කරන කොටම තමන්ගේ රටට ගෙනියන බව සඳහන් කරන්න පුළුවන් ඇති.
                         මම ගොඩක් කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් තමයි අද මේ ලියවුණු ලිපිය. වැඩි යමක් නැහැ ඇත්තටම කිව්වොත් පින්තූර ටික විතරමයි. 

                          ඒත් ඉතින් මට වඩා කරුණු දන්නා අයටයි මේ ආරාධනාව.දක්වන්න ඔබේ අදහස්,අනෙක් අයගේ දැන ගැනීම සඳහා.

Sunday, April 14, 2013

සුබ නව වසරක් වේවා.....!

                සියළු ශ්‍රී ලාංකික ඔබ සැම දෙනාටම වාසනාවන්ත සිරි සුබ නව වසරක් වේවා.... සියළු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා.....

                



Tuesday, April 9, 2013

සුබ උපන්දිනක් කියන්නම් ඔබට......

                       ජීවන ගමන් මගේ තවත් එක් නවාතැන් පළක් පහු කරනවා අද දිනයේ ඔබ.අහිමි වූවායින් පසුවත් බොහෝ දේ.මතකද ඔබට ඒ අවාසනාවන්ත සන්ධ්‍යාව.ඔබව මාස ගණනාවක් පුරාවට එක් තැන් කරවපු. බොහොම සතුටින් දඹදිව වැඳ පුදා ගන්න යන්න හිටි දිනට පෙර දිනය.ඒ මූසල නොවැම්බරයේ දිනය.

           එදා මෙදා තුර පුරා මාස 04ක් නික්ම ගිහින්. පස් වැන්නටත් ඇරයුම් කරමින්.පවුලේ හැමදෙනාගේම කැපවීම් සහ ඇත්තෙන්ම ඔබේ හිතේ වූ අපරිමාණ ශක්තියේ බලයෙන් අද ඔබ යම්තාක් දුරට සුවපත් වෙලා.

                  අද උදේ දැන් මොහොතකට කළින් මම ඔබව ඇමතුවේ සුබ පතන්න ඔබට, පෙර පුරුද්දට. ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සම්බන්ධ වුණා ඇමතුම. ඔබම තමයි පිළිතුරු දුන්නේ.

            ඇතිවුණේ සතුටක්ද දුකක්ද කියන්න මට තේරුමක් නෑ.ඒත් මටම තේරුම් ගියා මම වචන හැසිරුවේ පොඩි ළමයෙක් එක්ක කතා කරන විධියට බොහොම නැවතිල්ලේ කියලා.

                  ආදරණීය ලොකු අම්මේ, ඔබට සුබ උපන්දිනක් වේවා...
ඊළඟ උපන්දිනය සමරද්දී කිසිම කෙනෙකුගේ ඇස් වලට කඳුළු නො නැගෙන්න දෙපයින් තනිව නැගිටින්න හැකි තරමටම සුවපත් වේවි ඔබ හිතේ බලෙන්.

             අම්මා කියද්දී ඔබ ගැන, ව්‍යායාම වලට ඔබ බොහොම ඕනෑ කමින් යොමු වෙන බව කියමින්,ඇති වුණේ හරිම සතුටක්.මොකද අනතුරට පෙර එක තැනක දී අල්ලා ගන්නට පුළුවන් කෙනෙක් නෙමෙයි ඔබ. හැමටම උදව් කරමින් ඇවිදපු ඔබට මෙලෙස එක් තැන් වීම දරා ගත නො හැක්කක් බව අපි හැමෝම දන්නවා.

             දැන් ඔබට අපි කියන දේ හරියටම වැටහෙන බව අපි දන්නවා.ඒත් හිතේ ඇති දේ කියන්න වචන මතක නැහැ ඔබට. එයත් ටිකෙන් ටික යථා තත්ත්වයට පත් වේවි.

              මොන හරි හේතුවක් නිසා අද මට මේ ගැනත් සඳහන් කරන්න හිතුණා.මගේ අම්මා වගේම ඔයත් මට අම්මා තමයි. දරුවෙක් කිරි උරා බොන්නේ තමන්ගේ මවගෙන්.ඒත් මගේ අම්මාගෙන් කිරි බීලා නැතුව ඉන්න කොට ඔයා මට කිරි දුන් බව අම්මා කියලා තියනවා.ඔබේ දුවට වගේම මටත් කිරි දුන් ඔබට අම්මේ නො කියන්නේ කොහොමද මං.....ඔබ මගේ මවුගේ වැඩිමහල් සොයුරිය වූ පළියට එවන් දෙයක් කළ යුතුම නැහැ නේද...?


              මේ වෙලාවේ මටත් ඉන්න තිබුණා නම් ඔබට උපස්ථාන කරන්නට............

                        මොනවා කරන්නද හැතැප්ම දහස් ගණනක් දුරකට වෙලා ඉන්න මට ඔබ වෙනුවෙන් කළ හැක්කේ මෙවන් ඵලකට නැති දෙයක් විතරයි.ආයෙම මම ලංකාවට එද්දී තනියම වැඩ කර ගන්න,වෙනදා වගේ රට වටේ දුවන්න ඔයාට පුළුවන් වෙලා තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ,

                 පුළුවන් වේවි මෙහෙම අහන්න මට,කෝල් එකක් දීලා 

    "ලොකු අම්මේ, කොහේද ඉන්නේ.. අද අපි එහේ එන්න හදන්නේ. අද ගෙදර ඉන්නවානේ..."


( අද දින 60 වන උපන්දිනය සමරන ආදරණීය ලොකු අම්මාට ඉක්මණින් සුවපත් වී සුපුරුදු ලෙස වැඩ කටයුතු කරගන්නට හැකියාව ලැබේවා....!)
                    

Sunday, April 7, 2013

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ ....04

          ගොඩාක් කාලෙකට පස්සේ ලියන්න ගත්තා. අඩුම තරමේ ලිපියක් කියවන්න වත් මේ පැත්තේ ගොඩ වුණේ නැහැ. පහුගිය කාලේ මූණු පොතත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ෆේස්බුක් ගේම්ස් 2-3 කට වහ වැටිලා ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඒකේමයි.අටුවා ටීකා ටිප්පනි (තිප්පනි ද මන්දා) නැතුව ලියන්න ආපු දේවල් ලියන්න ගන්නම්කෝ.දැන් කට්ටියට මතකද දන්නෙත් නෑ.

          අද මගේ පරණ මතකයන් අතරට යන්නයි හිතුවේ. මොකද කියන්නේ.. මොනවා කිවුවත් ඒ අදහස් දැන ගන්න තුරු පරක්කු කරන්න බෑ. අකැමැති උදවියට පුළුවන් අත් ඇරලා දාන්න. ඕං..... කැමති අය මෙතැනින් පස්සෙත් කියවා ගෙන යන්නකෝ.

     ඇත්තටම කිවුවොත් මටත් මතක නැහැ මම මෙච්චර දවස් ලිවුවේ මොනවාද , නො ලිවුවේ මොනවාද කියලා. කොහොම හරි කමක් නැහැ අද ලියන්නම්කෝ 7 වසරේ අපේ හපන්කම් ගැන. 

           අළුත් ස්කෝලෙට ඇවිත් දෙවාරයක් ඉවර වෙද්දී 7 වසරට යන්න කාලේ හරි ගියා.ඇයි ඉතිං ඒ කාලේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන අයට ස්කෝල ලැබුණේ වාරයක් ඉවර වෙලා නොවැ. හොස්ටල් ජිවිතේ රසවත්ම කාලය ගත කළේ ඔය කියන 7 වසර සමයේ තමයි. ඒකට එක හේතුවක් තමයි මේට්‍රන් මිස්ගේ කාමරෙන් දුරින්ම තියන ඩෝම් එක වීමේ වාසනාව උදා වුණේ ඔය 7 වසර "සමන්" ඩෝම් එකට වීම.ඊට ටිකක් අඩු වාසනාවක් 8 වසර "කුමුදු"හා පිළිවෙලින් 6 වසර "නෙළුම්", 11 වසර "උපුල්" හා අවසානයට මිස්ගේ කණ ළඟම ඉන්න වාසනා කළේ, 9 වසර "සේපාලි".කට්ටිය බලනවා ඇති මොකද 10 වසර ඇත්තියන්ට වුණේ කියලා . 10 වසරට ආපු ගමන් එයාලා හොස්ටල් එකෙන් අස් කරන්නේ නැහැ.එයාලත් ඉන්නවා. ඉතින් ඉන්නේ නැහැ නේ කියලා ඉවර වෙනකල්.

           මෙහෙමනේ වැඩේ. අපේ හොස්ටල් එක තිබුණේ තට්ටු දෙකට.ඔය කළින් කිවුව ලිස්ට් එකම හිටියේ උඩ තට්ටුවේ. 10 වසරට නිතරගයෙන්ම යට තට්ටුව හිමි වුණා.හොස්ටල් එකේ ලොකුම ළමයි අනිත් අයගේ ආරක්ෂාවට උඩ තට්ටුවෙත්, තනියම රැකෙන්න පුළුවන් කියලා හිතෙන 11 වසරට පමණක් බාල වූ 10 වසර යට තට්ටුවෙත් හිටියා. 

      ඔන්න කට්ටියට පොඩි අදහසක් ගන්න කටු සටහනක් අමුණනවා,බලා ගන්න කොහොමද තිබුණේ කියලා. 

(හරියටම plan එක ඇන්දේ නැහැ. ඒ සම්බන්ධ දැනුම ඇත්තෝ සමාවෙන්න.එහෙම්මම plan එක දාලා කවුරුහරි හොරෙන් පැන්නොත්....... ? බිම් මහලේ බිත්ති නැද්ද අහන්නෙපා.)
                  ඉතින් ඔය ඇත්තන්ට දැන් අදහසක් ඇති සමන් එකේ ඉන්න 7 වසර ළමයි ඇයි අසීමිතව නිදහසක් ලබා ගත්තේ සහ එය ලැබුණේ කෙසේද කියලා. හැබැයි ඒ එක්කම තවත් කරුමයක් ඒ හා බැඳිලා තිබුණා නිදහස වගේම.7 වසර ළමයි දෙන්නෙක් ඉන්න ඕන එන අමුත්තන්ට පහසුව සඳහා,අදාළ ළමයාට පණිවිඩය යවන්න. ඒ කිව්වේ මම ඉහල දක්වපු සටහනේ පළමු මහලේ දොරෙන් ඇතුළු වුණාම දකුණු පැත්තට තියන ඉඩ කොටසේ පුටු දාලා තියෙන්නේ එන අයට.ඉතින් එහෙම කවුරුහරි ආවම කාගේ ගෙදරින්ද කියලා අහලා අදාළ ළමයාට පණිවිඩය දෙන්න ඕන.ඔය රාජකාරිය යෙදුණ දවසට හවස ක්‍රීඩා පැය පවා අහිමි වෙනවා විතරක් නෙමෙයි, මේට්‍රන් මිස්ගේ වලිගය වගේ එයා පස්සෙන්ම යන්න ඕන.

          ළමයින්ට තැපෑලේ එන ලියුම් මිස් කඩලා බලලා තමයි ළමයින්ට දෙන්නේ. පිරිමි ළමයින්ගෙන් ලියුම් එනවද දන්නෙත් නැහැනේ. ඒ වගේම ළමයින්ට සති අන්තේ ගෙදර යන්න ඕන නම් බදාදා වෙද්දී මැඩම්ට ලියුමක් එවන්න ඕන අවසර ඉල්ලලා.එතකොට මැඩම් අත්සන් කරලා හොස්ටල් එකට එවනවා.හැමෝටම නිවාඩු නොදෙනවා නම් ලියුම අනිවාර්යයි. සමහර නිවාඩු ආවා නේ අඟහරුවාදාට. ඉතින් සමහරු සඳුදා ස්කොලේ නොඑන්න සිකුරාදා ගෙදර යනවා.අන්න ඒ වගේ යනවා නම් ලියුම ඕන.

       ඔහොම කල් ගත වෙද්දී පෝය නිවාඩුවක් (වගේ මතක)ආවා ඔය වගේ. හැමෝම නොයන.සමහරුන්ට ගෙවල් වලින් ලියුම් එවලා අවසර අරන් තිබුණත්,බට්ටි නම් දන්නවා යන්න වෙන්නේ නැහැ බට්ටිට කියලා.ඒ වගේ ෂුවර් එකටම නොයන අයත් කීපයක් හිටියා.

   6 වසර- 7 වසර දෙකටම හවස අතිරේක පන්ති කළේ එකම ගුරුතුමී . නමින් නුවනි.6 වසර පන්තිය ඉවර වෙලා 7 වසර පටන් ගත්තේ. එදත් සුපුරුදු ලෙස 6 වසර පන්තිය ඉවර වෙන තුරු හතේ අපි පන්තියේ පිටිපස්සට වෙලා වාඩි වුණා.

     "කවුද මේ නිවාඩුවට ගෙදර යන්නේ.ගෙදර යන්නේ නැත්නම් අතිරේක පන්තියක් කරන්න පුළුවන්..".

           6 වසරට ආපු අය කිවුවාම නිවාඩුවක් එනතුරු මඟ බලා ඉන්න අය නේ.වැඩි දෙනෙක් අත් එසෙවුවා ඉහළට.එකිනෙකා දෙස අපි විමසිල්ලෙන් බැළුවේ හතේ අපි දන්නවා කාටද යන්න අවසර ලියුම් ලැබුණේ කියලා. ඒ අතරේ නිශානි ත් ඉන්නවා.හතේ අපි එකිනෙකාගේ මූණු බලමින් ඉඟි කර ගත්තත්,සමහරුන්ගේ මුවින් "හිකිස්..." හඬක් පිටවුණේ ඔවුන්ට පවා නො දැනුවත්ව.

            නුවනි මිස්ට යමක් තේරුම් ගියත්,අතිරේක පන්තියක් නො පවත්වන බව කියමින් 6 වසරට පන්තිය නිම කළා. හතේ අපෙන් පවා යමක් ඇසූ බවක් මට මතකයේ නම් නැහැ. පන්තිය ඉවර වෙලා යද්දී නිශානි ඇඳට වැටිලා අඬනවා හොඳටම.එයාටත් සැකයක් දැනෙන්න ඇති.

              කොහොම හරි නඩුව ගියා මේට්‍රන් මිස් ළඟටම.

    මොකක්ද නඩුව....? ලියුමකුත් තියෙනවා ගෙදර යන්න ... මොකද හිතන්නේ ඔය ඇත්තෝ....?

              ඇත්තටම නිශානිගේ ගෙදරින් එවූ ලියුමක් නැහැ.එය හතේ අපේ නිර්මාණයක්.කළින් ඇගේ ගෙදරින් එවූ ලිපියක් කොපි කරමින්   දෙමාපිය අත්සනක් සහිතව ,අවසර සහිත විදුහල්පතිනියගේ ව්‍යාජ අත්සනින් යුතු ලිපියක්.

          ඔන්න අපේ මේට්‍රන් මිස්ට හොඳටම කේන්ති ගිහින්.

  "කවුද මේ වැඩේ කරේ.කියනවා බලන්න.නොකිව්වොත් අරන් යනවා මැඩම් ලඟට..."

     " අපි තමයි කරේ..."

      "අපි කියන්නේ තමුන් හැමෝම කොහොමද මේ එක ලියුමක් ලියන්නේ..."

     ශබ්දයක් නැහැ කාගෙන්වත්.

        'හරි . කවුරුත් කතා කරන්නේ නැහැ නේ . මමම හොයා ගන්නම්.අරන් එනවා හැමෝම තමුන්ගේ ලියන පොතක්.'

    අපිත් හිනා තද කරගෙන ගියේ පොත් අරන් එන්න.

        හෙවුවා හෙවුවා මිස්ට හොයා ගන්න ලැබුණේ නැහැ.අන්තිමේ ජූරිය තීරණය කළා නඩුව ඉහල උසාවියට යොමු කරන්න.අපේ මැඩම්ගේ ක්වාටස් තිබුණෙත් හොස්ටල් එක ආසන්නයෙමයි.ඉතින් හැමෝම ගෙනියන්න බැරි කමට නිශානිට ලියුම ලැබුණ දිනයේ ඩියුටි කළ දෙදෙනා පෝරකයට ගෙන ගියා.

        අපි සමන් එක ආසන්නයේ කොරිඩෝවේ ඉඳන් බලා ගෙන. මිස් යනවා තරුෂිත් ,දීප්තිත් එක්ක ගෙන.අපි හැමෝගෙම වාසනාවට මැඩම්ට අමුත්තන් ඇවිත්. මිස් වුණත් බයයි මැඩම් මුණ ගැහෙන්න යන්න.පොඩි පොඩි නඩු කෑලි අරගෙන.

      ඔන්න ඉතින් අපි නිදහස් වුණා ඔය විධියට. කට්ටිය ගියාම මැඩම් ලඟට ගෙනියනවා කියලා හිටියත්, හරි ඉක්මණට අමතක වෙන අපේ මිස් ගේ පිහිටෙන් අද වෙනතුරු අපි හොඳින්.

        දැන් ඔන්න කට්ටිය කඩු-පොලු අරගෙන සටනට එන්න එපා. "අපෝ...මේ බට්ටිලා කරන නසරාණි වැඩ.පවු පුංචි එකී." කියලා.

  එහෙම කියනවා නම් බට්ටිලාත් පුංචි වුන් තමයි එතකොට. එක අවුරුද්දනේ වැඩිමල්. 

       ( නිශානිවම මේ වැඩේට යොදා ගත්තේ ඇයි? එහෙම කරන්නේ කොහොමද 7 වසර, 6 වසර වෙනමනේ ඉන්නේ කියන අදහස ඔබ කාටහරි ඇති වෙයි කියලයි මේ පහළින් ඇති සටහන) 


      අළුතෙන් 6 වසරට ළමයි එද්දී එන ප්‍රමාණය නිසා ඇත්තටම 6වසර ඩෝම් එකේ ඉඩ ප්‍රමාණවත් නැහැ.ඒ නිසා 7 සහ 8 වසර ඩෝම් වල පිටිපස්සේ තියන ඉඩේ 6 වසර ළමයි කීප දෙනෙක් දානවා. 6 වසර අය 7ට යද්දී සෑහෙන්න පිරිසක් ස්කොලෙන්ම හෝ හොස්ටල් එකෙන් අයින් වෙනවා.එතකොට තමයි එයාලට අදාළ වසරේ අය  එක්ක එක ඩෝම් එකේ ඉන්න ලැබෙන්නේ. ඉතින් නිශානිත් ඒ වෙද්දී හතේ අපි එක්ක එක ඩෝම් එකේ තමයි හිටියේ.ඒකයි .

       අනෙක් කාරණාව තමයි ඕනම දෙයකට ගැලපෙන කෙනෙක් ඉන්නවා නේ. එහෙම කෙනෙක් වෙන්නත් ඕනනේ.....