Thursday, June 6, 2013

මිතුර , නුඹ නැතිව.......

               ඉගිල්ලිලා යනවා කාලය හිතනවටත් වඩා ඉක්මණින්.ඒත් ඉතින් අමතක කරන්නේ කොහොමද නුඹව. හැමදාමත් කියනවා වගේ.කාලය මොන යම් විධියට ගෙවිලා ගියත්, හැමදාමත් වගේ නුඹ අපේ හදවත් වලින්, නොමැකෙන ලෙසටම රැඳිලා.පිටවී යා නොහැකි ලෙසටම.

                     ඇත්තටම කෙනෙක් අසාවි, නුඹ ගිහින් අපිව අත් හැර දමලා.ඉතින් ඇයි තවමත් නුඹ ගැන සිහි කරමින් ලත වෙන්නේ කියලා.කියන්න, දෙන්න පුළුවන් පිළිතුරක්.දයාබර මිතුරේ....

                          කොහොමදැයි අමතක කරන්නේ නුඹව කියා.දකුණේ ගැට්ට කියලා අපේ නඩේ හංවඩු ගහන්න කෙනෙකුට හැකියාවක් තිබුණේ නැහැ.නුඹත්  අපි එක්ක හිටිය නිසා.නුඹ හැරුණාම "කුලියා".බැචා ලා හැමෝම කියූ ලෙසට "මහ එකා" කුලියාපිටියේ කෙනෙක්.නුඹ ගම්පොලින්. 

                       
මේ නුඹ ෆීල්ඩ් විසිට් ගිය වෙලාවක ගත් පින්තූරයක් .මම ගත්තේ මූණු පොතේ තිබිලා.

                        අපේ කණ්ඩායමේ හිටි 10 දෙනාගෙන් 08 දෙනෙක්ම දකුණේ අය නිසා, නුඹත්-මහා එකාත් අපි එක්ක ඉන්නවාට බොහෝ දෙනෙක්ගේ  අකැමැත්තක් තිබුණට,එලියට දමන්න පුළුවන් කමක් බොහෝ විට තිබුණේ නැහැ.ඒකට හේතුව සමහරවිට නුඹ හැරුණු කොට අනිත් හැමෝගෙම කටවල් එච්චර හොඳ නැති බව දැන ගෙන හිටිය නිසා වෙන්න ඇති.අනික කොයි තරම් අපි එක කණ්ඩායමක හිටියත්,අනිත් අය වෙනුවෙනුත් කාලය කැප කළ නිසාත්, බැච් එකේ තිබුණ මොන function එකට වුණත් බැහැලා වැඩ කරපු නිසාත්, අපි ඒ ගැන ඒ හැටියට තැකුවේ නැහැ.

                First Semester එකෙන් පස්සේ training දාන දවසට කළින්  දවසේ, හොස්ටල් එකට වෙලා ඉකි ගහ ගහ අඬපු හැටි මතකද යාළුවේ....ඒ අපේ පළමු වෙන්වීම.ඒක අපිට හරියට දැනුණා.හැමදාම උදේට හවසට අපි එකිනෙකාට මිස් කෝල් එකක් දීලා අපේ මතකය තුළ නුඹලා ඉන්නවා කියලා එකිනෙකාට දැන්වුවා.මොකද ඒ කාලේ කෝල් එකක් දෙන්න තරමට අපි හැමෝම ළඟ ෆෝන් තිබුණේ නැහැ.අනික සල්ලිත් නැහැ. ගෙවල් වල තියන ෆෝන් වලින් ඔය හැටියට කතා කරන්නත් බැහැනේ.

            අනේ! නුඹ සාමාජිකයෙක් වෙලා union එකේ විඳපු වදයක් අපි නිසා. මොකක් හරි මන්ද මානසික වැඩක් union එකෙන් කළොත්,බැනුම් ඇහුවේ නුඹ.ඒකත් අතින් කයිට් කරන්.අපි මිස් කෝල් දෙක-තුනක් දීලා තිබුණා නම්, නුඹ අනිවාර්යයෙන්ම ගෙදර හිටියොත්,ගෙදර ෆෝන් එකෙන් ගන්නවාමයි.එහෙම අරගෙන බැනුම් අහලා වුණත්, ආයේ ආයෙම කරන්නෙත් ඒ දේම තමයි. කවදාවත් නුඹ බැන්නේ නැහැ අපිට.

            Second Semester එක ඉවර වෙද්දී අපේ කණ්ඩායම එකිනෙකාගෙන් ටිකක් දුරස් වෙලා.විහිළු දුර දිග ගිහින්,අනවශ්‍ය විධියට පිටස්තරයන් ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන්.(ප්‍රශ්නයට අදාළ වුණු කෙනාට පිටස්තරයෙක් නො වූ නමුත් අපේ අධ්‍යාපන ආයතනයට පිටස්තරයෙක් වූ කෙනෙක් හොස්ටල් එකට පැමිණ ප්‍රශ්නයක් ඇති කර ගැනීම නිසා )

                       ඒ මොන දේවල් වුණත්, නුඹ හිටියා අපි දෙපැත්තටම අවශ්‍ය වෙලාවට.කවුරුවත් අමනාප කර ගන්න නුඹට ඕන කමක් තිබුණේ නැහැ වගේම,නුඹ එක්ක අමනාප වෙන්න කිසි කෙනෙකුට වුවමනාවක් තිබුණෙත් නැහැ.

                       ඇත්තටම නුඹ හොඳම හොඳ යාළුවෙක්.සහෝදරයෙක්.ඒ නිසයි අමතක නොවෙන්නේ නුඹව.ලෝකයට නො පෙන්නුවාට තවමත් නුඹ නිසා කඳුළු උපදිනවා දෙනෙතේ විතරක් නෙමෙයි හදවතේ පවා.2008.06.06 වැනි පවුකාර දිනයක් ආයේ කිසිම දවසක උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ නුඹව අහිමි වීමට අපට හේතු වූ ආරම්භක අවස්ථාව ඒ නිසා.

                     කාට කොහොම අමතක වුණත්,කටුබැද්දේ බස් බෝම්බය නිසා නුඹ පුරා දින 05ක් සිහිසුන්ව හිටියා.බෝම්බෙට අහු වෙලා කියලා දැන ගනිද්දී මම හිටියේ සයිට් එකේ.වැඩ කරන මිනිස්සු දැක්කාද, නොදැක්කාද කියලා මට හිත හිතා ඉන්න ලැබුණේ නැහැ.මටත් හොරාම මගේ දෙනෙත් කඳුලින් පිරිලා.අද මගේ මහත්තයා -එදා පෙම්වතා (අපි දෙන්නාම එකම බැච් එකේ)තමයි ආරංචිය දුන්නේ මට කළින්ම.

              මළ-මිනී අතරේ නුඹ නැති බවත්,හැමතැනම නුඹව සොයන බවත් දැන ගත්තත්, පැය ගණනාවකට පසුව දැන ගන්න ලැබුණේ නුඹ I.C.U.එකේ ඉන්න බව. දන්නවද නුඹ ඒ මොහොතේ හිතට දැනුණ සහනය. ඒත් කී දවසක්ද තිබුණේ ඒ සහනය. ස්පිරිතාලේ දන්නා අඳුනන හැම කෙනෙකුටම කතා කරලා නුඹ ගැන හෙවුවා.

               එදා මම ගෙදර ආවේ කොහොමද කියලා අදටත් මතක නැහැ මට.මඟ දිගට තද කර ගෙන ආපු ඇඬුම ගෙට ගොඩ වෙද්දීම පුපුරලා ගියා. අඬා ගෙන ඇඳට වැටුණු මාව දැකලා අම්මා බය වෙලා හොඳටම.
නුඹව බලන්න එන්න හදද්දී අම්මා විරුද්ධ වුණා.ඔය විධියට අඬන්න තියා ගත්තොත් නුඹටත්,මටත් දෙන්නාටම හොඳ නැති බව කියලා. අනෙක් කාරණාව ඇත්තටම ඒ වෙද්දී නුඹ පෙම්වතෙක් වෙලා ඇයත් අපේ නඩේම කෙනෙක් වූ නිසා අපි හැමෝම නුඹ වෙනුවෙන් අඬන එක ඇත්තටම නුඹට නරකක් වෙයි කියලා මටත් හිතුණා.අමාරුවෙන් වුණත් නුඹව බලන්න මම නො යන්න තීරණය කළා.

         ඒත්.. බෝධි පූජා තියලා නුඹ ව සනීප කර දෙන්න කියලා අපි කී දෙනෙක් පතන්න ඇද්ද ?ඒ සේරම බොල් හුළඟට ගහ ගෙන ගිහින්,ටිකක් හොඳ අතට හැරුණ නුඹ 2008.06.11 වන දින උදේ අපි හැමෝම තනි කරලා යන්න ගිහින් තිබුණා.

           පළමු දිනයේ පටන් නුඹ මිහි මවු තුරුළේ සැඟවෙන තුරාවටම අපි නුඹ ළඟ රැඳුනා.අම්මාගේ විලාප හඬ, නුඹේ එකම සහෝදරයාගේ කඳුළු අතරට අපි හැමෝමත් ඉකි ගහ ගහ ඇඬුවේ එක කුස නුපන්නත් අපි අතර වූ සහෝදරත්වයට පපුව පුපුරන්න හදන නිසා.ආයේ ආයෙම එන්න අපේ අතරට.අපේ දරුවෙක් වෙලා හරි.අඳුනා ගන්න බැරි වෙන එකක් නැහැ නේද යාළුවේ. මං දන්නවා නුඹටත් අපිව අමතක නැහැ කියලා.

    ඉතින් රත්තරන් යාළුවේ...........නුඹ නැතිව මේ ගෙවෙන  05 වන අවුරුද්ද.ආයෙම එන්න. බලා ඉන්නවා අපි, සුපුරුදු සහෝදරත්වයෙන් වැළඳ ගන්න එදා වගේම.

         අද පෝස්ට් කරන්න ඕන නිසා draft කරලා තිබ්බේ.අද වගේ නරක දවසක් මීට අවුරුදු 05 කට කලින් උදා වුණා කියලා අමතක අය ඉන්නවා නම් මතක් වෙන්නත් එක්ක. ඉතින් රත්තරන් යාළුවේ සුබ ගමන් නුඹට ආයේ පරිස්සමෙන් එන තුරාවට.බුදු සරණයි නුඹට...
                         
                      

Sunday, June 2, 2013

එහෙන් මෙහෙන්.....


     වෙනදා වගේම වැඩ ඉවර වෙලා මෙට්‍රෝ එකෙන් බැස්සා union එකෙන්.අප්පා... රස්නේ කාලේ පටන් අරන් නේ.ඒත් ඉතින් මොනවා කරන්නද? ගෙදර නොගිහින් ඉන්නද.බැහැනේ.

           හැමදාම වගේ හිතට නැඟෙන සිතුවිල්ල හිත ඇතුළේම හංගා ගෙන පයින්ම යන්න පටන් ගත්තා al-baraha අපේ පුංචි ගේ පොඩිත්ත හොයා ගෙන. Union ඉඳන් පයින් ගෙදර එන්න පටන් අරන් දැන් අවුරුදු 2කට කිට්ටුයි. කොටින්ම කිවුවොත් රස්සාවට ගිය දවසේ පටන්ම තමා.මුල් දවස් වල විනාඩි 20-25 අතරේ කාලයක් ඇතුළත ගෙදරට එන්න පුළුවන් වුණත්, දැන් නම් ආසාවටවත් ඒ කාලය ඇතුළත ගෙදරට යන්න බෑ.එකක් තමා එළියේ තියන රස්නය නිසා මගේ ගමන් වේගය අඩු වීම.අනික තමා ස්ටේෂන් එකෙන් එළියට එද්දිම හිතට දැනෙන දේ.ඒ කිවුවේ "අපෝ...දැන් ඉතින් පයින් යන්න ඕන නේ..."කියන මන්දෝත්සාහී හැඟීම.දැන් අනිවාර්යයෙන්ම පැය භාගයකට වඩා යනවා යනවා මයි.

                  ඔන්න ඔය වගේ මන්දගාමී ගමනින් ඊයේ වැඩ ඉවර වෙලා පයින් ගෙදර යන අතරතුරේ සිග්නල් එකක් ළඟදී නිළ ඇඳුමක් ඇඳලා ගියා කෙනෙක්. නිළ ඇඳුමේ විධියට නම් ඔහු Driving School එකේ instructor කෙනෙක්.ඒ නිළ ඇඳුමේ තියෙනවා ඊටම අදාලව බෙල්ට් එකක්.සමහරවිට ඒක ලොක් කරන්න ඕන එකක් වගේ වෙන්න  ඇති.අර මනුස්සයත් වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් බෙල්ට් එකත් ගලවාගෙන.ටිකක් මහත කෙනෙක් නිසා බෙල්ට් එක නිකම්ම ගැලවිලද දන්නෙත් නැහැ.ඒත් ඉතින් ඒක දැක්කාම මගේ මුවට සිනහවක් නැංවුණේ නිතැතින්මයි.

                  හිතනවා ඇති නේද ඇයි ඒ කියලා.එහෙනම් ඉතිරි ටිකත් කියවාගෙනම එන්නකෝ.

                         මුවට නැංවුණු සිනාවත් හා සමඟම ක්‍ෂණයකින් සිහියට ආවේ මගේ පාසල් සමය.ඒ මීට වසර ගණනාවකට පෙර බව සැබෑව.කුඩා දැරියකව සිටියදී මවු තුරුලේ හිඳිමින් පාසල් මවුන් හමුවට යා නොහැකි වුණත්,උසස් පෙළ පන්තියට ආවේ පවුලේ ඇත්තන් අතරේම හිඳිමින්.සාමාන්‍ය පෙළ කළාට පසුව වෙනත් පාසලකට ගිය නිසා නෙමෙයි.බාල නැගණිය නිසාවෙන් අම්මාටත් පාසල අසල නිවසක් බදු අර ගෙන ඉන්න වුන නිසා.ඉතින් පාසල් ගේට්ටුවෙන් එළියට බැස්ස ගමන්ම,ගෙදර දුවන්නේ නැතත් ගෙදරට ඇතුල් වෙන්නත් කලින්ම යුනිෆෝම් එකේ බෙල්ට් එක ගලවන එක තමා කරන්නේ. සමහර විට මඟදීම.හරියට ඒක තමයි ලොකුම කරදරය වගේ.

                   ඊට පස්සේ සපත්තු දෙක අව්වෙම ගලවලා දාලා කකුල් දෙක පිච්චි පිච්චි ගෙට දුව ගෙන එනවා.මොකද අපි හිටිය ගෙදර මිදුල වගේ තිබුණේ ඊට පහළ ගෙදර වහල.ඉතින් කොන්ක්‍රීට් එක දවල් 2.00 විතර වෙද්දී කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

                  සමහර දාට යුනිෆෝම් එක පිටින්ම දවල් කෑම එක ගිල දාලා ඊට පස්සේ තමයි නිදහසේ ඇඳුම් මාරු කරන්නේ.

               අතීත මතක අතරේ සැරි සරද්දී දන්නෙම නැතුව ගෙදරටම ඇවිත්. හ්ම්... ආයෙමත් පුරුදු ජීවිතය.රෑට ඉවීම.කෑම.වලං-පිඟන් සේදීම. නින්ද. පහුවදා උදේ ආයෙමත් කාර්යාල පැය 8.නැවත නිවස. ඉවුම්-පිහුම්,අස්  කිරීම්,පිරිසිදු කිරීම් හා පිරිසිදු වීම්.........