Thursday, December 18, 2014

රෑ ස්කෝලේ ....

හොස්ටල් ජීවිතේ මොන වගේද කියලා අහන්න ඕනෑ ඒක විඳපු කෙනෙක් ගෙන්ම තමයි. ඒ කාලෙට හිතෙනවා මොකක්ද මේ විඳින කරුමය කියලා. හරියකට කන්න බොන්න නෑ . ලුණු ඇඹුල් ඇතුව කටට රසට කෑම ටිකක් ලැබෙන්නේ නැහැ. ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. ඒ මදිවාට කප්පරක් විතර නීති රීති. කාල සටහනට වැඩ කරන්න ඕන. අමාරුම කාරිය තමා උදෙන් නැගිටින්න ඕන. අපෝ..... ඒ කාලේ  විඳපු දුකක්.

ඒ ඔක්කොමත් ඉවසුව හැකි. සමාජය හොස්ටල් ළමයි දිහා බලන කැත ඇස් දිහා තමා බලාගෙන ඉන්න බැරි. ඒ කාලේ ඔය දේවල් ගැන ඒ හැටි දැනුම් තේරුම් තිබුනේ නැහැ. ඒත් ටික ටික ලොකු වෙන කොට, හොස්ටල් ජීවිතෙන් මිදිලා සමාජය ඇතුලේ කරක් ගහන කොට මොන ජරා අදහස් තියාගෙනද මුන් ඒ කාලේ අපි දිහා බැලුවේ කියලා දැනෙන කොට, සමාජය ගැන මහා අප්පිරියාවක් දැනෙන්න ගත්තා. 

කොහේ කොතැනක හරි සිද්ධ වුන නරක දේවල් නිසා, සමස්ථ හොස්ටල් ප්‍රජාව දිහාම නරක ඇහින් බලන්න මිනිස්සු පුරුදු වුණා. හොස්ටල් ජීවිතෙන් මිදිලා දැන් අවුරුදු 15කටත් වැඩියි. තවමත් මගේ කණට ඇහිලා තියෙනවා මොනවා හරි දෙයක් කිවුවාම " ආ.... හොස්ටල් නේ. අපි නො දන්න හොස්ටල්......." කියන කතාව.

සිද්ධ නොවෙනවා කියලා මට කියන්න බැහැ. සමාජය දැන් හොඳටම අපිරිසිදු වෙලා. දියුණු තාක්ෂණයත් එක්ක දැන් කාලේ ළමයි හැදෙන්නේ...එයාලා ඉන්ට'නෙට් වලින් බොහෝ දේ හොයා ගෙන යනවා.වගේම ඒකෙන් ජීවිතේ විනාස කර ගන්නවා.

මේ කියන්නේ දියුණු තාක්ෂණය ගැන වත්, විනාස කර ගත්ත ජීවිත ගැන වත් කතාවක් නෙමෙයි.

කවුරුත් වපර ඇහින් බලන, හොස්ටල් ඇතුළට කොටු වෙලා නීති ගොඩකට හිර වෙලා දුක් වින්ද අපේම අතීතයේ කතාවක්. එකම වයසේ කෙල්ලන් රොත්තක් අතරේ සිදු වුණ.

බට්ටි ඒ කාලේ වෙද්දී 11 වසරේ. අ.පො.ස. (සා/පෙළ) ට නැහී ගෙන පාඩම් කරන කාලේ. ඔය වයස කියන්නේ හොස්ටල් එකේ ඉන්න වැඩිමල් ම ළමයි. එයාලට ටිකක් නිදහස තිබුණා කාලසටහනට පිටින් වැඩ කරන්න. ඒ කිව්වේ ගේම්ස් පීරියඩ් එක, බුදුන් වඳින වෙලාව වුණත් ඒ දේවල් වලට නො ගිහින් පොතක් පතක් බලා ගන්න. සමහර විට රෑ පිරිත් කියන වෙලාවට නිදා ගන්න ඉඩක් තිබුණා. මොකද මේට්‍රන් වුණත්  දැන ගෙන හිටියා ළමයි ගොඩක් රෑ වෙනතුරු පාඩම් කරන බව. එතකොට සමහර අය ගේම්ස් වෙලාවට නිදා ගන්නවා. රෑ කෑම වෙලාවට අවදි වෙලා කෑම කාලා එක දිගට පාඩම් කරනවා.

ඩෝමෙට්‍රිය ඇතුළේ හැමෝම ඉන්නෙත් නැහැ. කොරිඩෝ එකේ පුටු තියා ගෙන තැන තැන තමුන්ටම අනන්‍ය වූ ස්ථාන වලට වෙලා කට්ටිය පාඩම් කළා. පන්ති කාමර වලින් ඩෙස්ක් එකක් ළඟ තියා ගන්නත් 11 වසර ළමයින්ට තහනමක් තිබුණේ  නැහැ. ඒ නිසා රෑට 12 .00 - 1.00 වුණත් හැමෝම නිදි නැහැ.

මේ කියන දවසේ නම් වෙලාව රෑ 7.00 ට විතර ඇති. නීලිකා වේලාසන නිදා ගත්තා හවස බුදුන් වඳින්න ගියෙත් නැතුව. හැබැයි දීපිකාට කිවුවා 7.00ට විතර අවදි කරන්න කියලා. සාමාන්‍යයෙන් එක් කෙනෙකුට විතරක් කිව්වොත් එයාට අමතක වුණොත් දිගටම නිදා ගන්න හින්දා මොළේ කල්පනා කරපු නීලිකා ,නිරෝෂා ටත් කිවුවා එයාව අවදි කරන්න කියලා මතක ඇතිවම.

ඔය විධියට කිහිප දෙනෙක් වම දැනුවත් කරලා නිදා ගත්තේ පාඩම් කරන්න ඕන නිසා. අ.පො.ස. (සා/ පෙළ) විභාගය නිසා හැමෝම හිටියේ ටිකක් තැති ගැන්මකින්. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මුණ දෙන ලොකු විභාගය නේ. ඕක පාස් වෙන්න බැරි උණොත්  උසස් පෙළත් කරලා හමාරයි. අනික විලි ලැජ්ජාව. ඈත ගම් වලින් ඇවිත්, හොස්ටල් එකේ නැවතිලා කට්ට කන්නේ කොහොම හරි විභාගේ ගොඩ දා ගන්න නේ.

කට්ටිය බුදුන් වැඳලා ඇවිත් හවස් වරුවේ පාඩම් කරන්න තියන වෙලාවට ස්ටඩි හෝල් එකට යන්න ඕන.ස්ටඩි  හෝල් එක කිවුවාට ඩයනින් හෝල් එක විධියට පාවිච්චි කරන්නෙත් ඒකමයි . 11 වසරේ සමහර අය ස්ටඩීස් වලට ස්ටඩි හෝල් එකට යන්නේ නැහැ, ඩෝමෙට්‍රියේ ඉඳන්ම පාඩම් කරනවා. උදේටත් ස්කෝලේ  යන්න කලින් පැයක් පාඩම් කරන්න ඕන. ඉතින් පරිසර තත්ත්ව සලකා බලද්දී සමාන තත්ත්වය න් තමයි අවටින් පෙන්නුම් කරන්නේ.

නීලිකා අවදි කරන්න කියලා කියපු වෙලාවත් ඇවිත්. කෙටි නින්ද වල් ගන්න නිසාද මන්දා දීපිකා ලොකු උත්සාහයක් ගත්තා නීලිකා ඇඳෙන් නැගිට්ටවන්න, ඒත් බැරි වුණා . කතා කළා කළා. නීලිකා නෙමෙයි අවදි වුණේ .මොනවා කරන්නද? ඒ වුණත් දීපිකා පරාජය පිළි ගන්න කැමති කෙනෙක්  නම් නෙමෙයි. කීප වතාවක් කතා කරලත් බැරිම තැන ඩෝමෙට්‍රියේ හිටි කීප දෙනා එක්ක රහසේ කතාවක් කළා.

හදිසියේම වගේ

 "නීලිකා  නීලිකා නැගිටින්න.මොකද අද ස්කෝලේ යන්නේ නැද්ද? දැන් හොඳටම පරක්කු වෙලා.ස්ටඩීස් වෙලාවත් ඇවිත්."

ස්කෝලේ නොගිහින් නවතින වැඩේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති දඩි බිඩියේ නීලිකා අවදි වුණා. ඇත්තටම නැගිට්ටා නෙමෙයි ඇඳෙන් පැන්නා. 

වටපිට බැලුවා. සාමාන්‍යයෙන් පරක්කු වෙලා යුනිෆෝම් දාගන්න සෙට් එක තමයි ඉන්නේ. සමහර අය කොණ්ඩේ පීරනවා . සමහරු පොත් හදනවා ටයිම් ටේබල් එක බල බලා.ඩෝමෙට්‍රියේ ඉන්නෙත් ටික දෙනයි. නිලීකා නො දන්නවා වුණාට 11 වසරේ අය බොහෝ දෙනෙක් ඒ වෙද්දී එහෙන් මෙහෙන් හොරෙන් එබිකම් කරමින් හිටියා. තැන් තැන් වල පාඩම් කරමින් හිටි අය වගේම, ස්ටඩි හෝල් එකේ හිටි අයත්.

 හැමදාම වගේ බාගෙට පියවුණ ඇස් දෙකත් අරගෙන, ඇත්තම කිවුවොත් තනි ඇහෙන් දත් බුරුසුවට දත් බෙහෙත් දාගෙන, සබන් කෑල්ලත් ,තුවායත් අරන් නීලිකා පහළට ගියා. බොහොම ඉක්මණට මුණ කට හෝදගෙන ඇවිත් යුනිෆෝම් එක දා ගත්තා. තකහනියෙම කොණ්ඩෙත් පීරා ගත්තේ පරක්කු වෙලා නිසා. 

හැමෝම උදේට කන්නේ නැහැ. සමහර අය ඉන්ටර්වල් එකට ඇවිත් කන්නේ උදේ කෑම එක. එහෙම හිතලා වෙන්න ඇති, සමහර විට පරක්කු නිසාත් වෙන්න ඇති පොත් ටිකත් සුදානම් කරගෙන නීලිකා ඩෝමෙට්‍රියේ දොරෙන් එළියට එන්න ආවා.

එහෙන් මෙහෙන් හැංගිලා හිටි අය ඔක්කොම මහා හයියෙන් හිනා වෙවී හූ සංග්‍රහයක් එක්කම ඩෝමෙට්‍රියේ ඇතුළට ආවා. මීටර් අවුට් වෙච්ච නීලිකා තුෂ්නිම්භූත වෙලා වගේ බලා ගෙන ඉන්නවා.

ස්ටඩිස් වලට බාධා වෙන්න මහා හයියෙන් හූ තියන 11 වසරේ ඇත්තන් මට්ටු කරන්න මේට්‍රන් මිස් වේවැලත් අතින් අරන් ආවේ දෙතුන් දෙනෙක් වත් කෝටු මස් කරන්න හිතාගෙන වෙන්න ඇති.

නීලිකා වට කරගෙන හිනා වෙවී ඉන්න මේ වදකාරයන් ටිකට කෝටු පාරවල් දෙන්න හිතා ගෙන එතැනට කඩා පාත් වුණ මේට්‍රන් මිස් ටත් අන්ද මන්දයි.

යාන්තමට කට කොණට මෝදු වෙච්ච නෝන්ඩි හිනාවෙන් මේට්‍රන් මිස් 

"මොකද නීලිකා මේ. ඇයි රෑටත් ස්කෝලේ තියනවාද ඔයාට විතරක්....."



Wednesday, November 12, 2014

පෙම් හුට පට.

මේකත් පරණ කථාවක් ම තමයි. බට්ටි A/Lකරන කාලේ.
ස්කෝලේ යන කාලේ ආදර සම්බන්ධතා පවත්වන්නේ නෑ කියන අදහස අපේ සෙට් එකේ තීරණයක් වෙලයි තිබුණේ. කෙල්ලො විතරක් ඉන්න ස්කෝලයක් නිසාත්, හොස්ටල් හිටිය නිසාත් O/L කරන තුරුම කොල්ලන් එක්ක සම්බන්ධකම් ඇති නො වීම පුදුමයකුත් නෑ.

ඒත් A/L කරද්දි හොස්ටල් ඉන්න ලැබෙන්නේ නැති නිසා බොහෝ දෙනා බෝඩින් හොයා ගත්තා. නoගිලා ත් ,මාත් එකම ස්කෝලට ගිය නිසා තාවකාලිකව ගෙදර අය බදු ගෙයක් අරගෙන ගාල්ලටම ආවා. ඒ නිසා A/L කරද්දි මට ගෙදර ඉඳන් ක්ලාස් යන්න චාන්ස් එක ලැබුණා.


කොයි තරම් කෙල්ලෙක් වුණත්, මම බොහොමයක් කොල්ලන් තරමට වත් පාඩම් කරන්න උනන්දුවක් නොතිබුණ නිසා,

හොස්ටල් කාලේ ඉඳන්ම දන්න කෙනෙක් නිසාත්, මහන්සි වෙලා පාඩම් කරන නිසාත් නයෝමි අපේ ගෙදර නතර වුණා A/L කරන්න.

අම්මාත් බොහොම කැමැත්තෙන් නතර කර ගත්තා මාත් පාඩම් කරාවි නේ කියලා. තනියම පාඩම් කරද්දි නින්ද යන නිසා තමයි පාඩම් නොකරන්නේ කියලා අම්මා හිතන්න ඇති.


නයෝමි ලස්සනයි,සුදුයි. කොල්ලෝ කීප දෙනෙක්ම නයෝමි ගැන හොයා බලනවා කියලා අපි දැන ගෙන හිටියා. නයෝමි කොල්ලො එක්ක කථාවට යන්න අකැමතියි.හේතුව එයා ශිෂ්‍ය නායිකාවක් වෙලත් හිටිය නිසා, ස්කෝලෙට ආරන්චි යන්නේ කපුටෝ හතක් වමනේ දාපු මිනිහා ගැන වගේ කියලා නයෝමි දන්නවා. බට්ටිට ඒ වගේ බැඳීම් නෑ. ඒ කිවුවේ බට්ටි ශිෂ්‍ය නායිකාවක් නෙමෙයි.

තරුෂ නයෝමිට ගොඩාක් ට්‍රයි කළා. ක්ලාස් ඉවර වෙලා එද්දි යාළුවෝ හත අටක් එක්ක බයිසිකල් වලින් එනවා.

දන්නවානේ එහෙම එද්දි කොහොමද තත්වේ කියලා, කවුරු හරි දැක්කොත් ස්කෝලෙට කියාවි,එන්නෙත් ඇඟේ වදින නොවදින ගාණට. පාරේ ඕන කෙනෙකුට තේරෙනවා මොකක්ද මේ සෙල්ලම කියලා. අනික බස් එකක එන්න තරම් දුරක් බොහොමයක් ක්ලාස් වලට තිබුණේ නෑ. ප්‍රසන්න සර් ගේ ක්ලාස් ඉවර වුණාම අපේ ගෙවල් පැත්තට එන්න අපේ සෙට් එකේ කෙල්ලො 5ක් හිටියා, ඉතින් කියව කියව එනවා. බට්ටිට නයෝමිටත් වඩා කේන්තියි. නිදහසේ පාරේ යන්නත් නැහැනේ.බට්ටි බනිනවා.ඒත් නවතින්නේ නෑ.


ඔය අතරේ තරුෂගේ ස්කෝලේ ප්‍රදර්ශනයකට අපටත් කුටියක් වෙන් කරලා තිබුණා. දවස් 5ක්.


කොච්චර බැන්නත් බට්ටියි, නයෝමියි දෙන්නම අනිවාර්යයෙන්ම ඔය ප්‍රදර්ශනයට යන්නම ඕන. බලන්න නෙමේ. ප්‍රදර්ශන කුටියේ ඉන්න.ඊට කලින් දවසේ සේරම ටික සූදානම් කරන්නත් යන්න වුණා. අපේ කුටියට එයාලාගේ ශිෂ්‍ය නායකයෝ කීප දෙනෙක්ම මුරට දාලත් තිබුණා. වැඩිම සෙනඟ ඉන්නේ අපේ කුටියේ නිසා පාලනය කර ගන්න බැරුව. වැඩක් ඇතත් නැතත් කොල්ලෝ ඒක ඇතුලේ. කන්න වත් වෙලාවක් නෑ.


බට්ටි කාලා අත හෝදන්න එළියට ගියාම තරුෂ යාළුවෝ එක්ක ඉන්නවා දැක්කා. බට්ටි ළඟට ඇවිත් නයෝමි ගැන අහනවා.


"ඔයාලා එයාට කරදර කරන එකෙන් වෙන්නේ එයා ඔයාලා ගැන කලකිරෙන එකයි. බයිසිකල් වලින් ඔහොම පස්සේ පන්නන්න එපා " බට්ටි බොහොම කාරුණිකව කිවුවා.


ඊට පස්සේ ටික කලක් කරදරේ නැති වුණාට ආයෙම පටන් ගන්නවා. කොහොම හරි නයෝමි තරුෂ ගැන අකැමැත්තක් නෑ කියලා බට්ටි දන්නවා. බට්ටි ඒකත් තරුෂට නොකියා කිවුවා. A/L ඉවර වෙලා නයෝමි ගෙදර ගියේ නෑ.දෙවනි ලැජ්ජාවටත් ආයෙම ක්ලාස්. සෙට් එකම එහෙමයි,තරුෂ ලාත්.


කොහොම හරි දෙවනි පාර තරුෂ Campus තේරුණා. නයෝමිත් Campus තේරුණා. එකම Campus එකට නෙමෙයි.


තරුෂ campus පටන් ගන්න තුරු බැoකුවේ ජොබ් 1ට ගියා.දිනිති ගේ ගම් පලාතේ තමයි වැඩ කරේ.නයෝමි තීරණයක් අරන් මට ලියුමක් එවලා තිබුණා. අපේ ගෙදරට කිවුවා දිනිතිලාගේ ගෙදර යනවා කියලා සිතාරාටත් කතා කලා. එන්නම් කිවුවට ආවේ නෑ.අපි දෙන්නා දිනිති ගේ ගෙදර ගියා. දිනිතිට කියලා බැoකුවට කෝල් එකක් ගත්තාම දැන ගත්තේ තරුෂ අසනීප වෙලා හොස්පිටල් කියලා.විස්තර මොනවත් බැoකුවෙන් දන්නේ නෑ.ගෙදරට කථා කරලා දැන ගන්න කීවා.


අපි ළඟ නම්බර් එක නෑ කිවුවාම ඒකත් දුන්නා. මොන වෝඩ් එකේද දැන ගන්න නම් ගෙදරට කථා කරන්න වෙනවා.


හිතටත් අප්සට්. බයයි වගේත්. කමක් නෑ කියලා බට්ටි ගෙදරට කථා කළා.


"තරුෂ ඉන්නවද?"

"කවුද කථා කරන්නේ "
" එයාගේ යාළුවෙක් "
" එයා උණ හැදිලා ස්පිරිතාලේ "
"වෝඩ් එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද?"
"...."

දිනිති ත් ආවා අපි එක්කම . කරාපිටිය ස්පිරිතාලේ වෝඩ් එක හොයා ගෙන යනවා. තරුෂ බලන්න නෙමෙයි. දිනිතිගේ මාමා අද ඇඩ්මිට් කරලා කියලා ගෙදරින් කිවුවා ලු.


බට්ටි දැක්කා තරුෂව.


"මේ මොකද"

"උණ හැදිලා අරන් ආවානේ"
බට්ටි විතරයි අනිත් දෙන්නා මාමා ව හොයනවා.
"යාළුවෙක් ඉන්නවා" නයෝමි ආවා විතරයි. තරුෂගේ අසනීප කොහෙද මන්දා.

තව ලෙඩෙක් බලන්න තියනවා කියලා ඉක්මණට මාරු වුණා.බලද්දි අපි තමයි ඉස්සර වෙලාම බලන්න ඇවිත් තියෙන්නේ. දවස් ගාණක් ඊට පස්සෙ ස්පිරිතාලේ බඩ ගෑවා, නයෝමිට චාන්ස් එක වුණේ කැම්පස් යන්න මෙඩිකල් කරන්න කරාපිටියට එන්න වුණ එක.කොහොම හරි ටිකට් කපන කොට තරුෂ එයාගේ අම්මාටත් කියලා එයාගේ ලේලි තමයි මේ කියලා.


ඊට පස්සේ අපේ අම්මාට ඇත්ත කථාව කිවුවා. අම්මා නයෝමිගේ ගෙදරට කියලා දෙපැත්තේ ආශිර්වාදයෙන් අවුරුදු ගාණක් ආදරය කළා.


නයෝමි අපේ ගෙදර ආවම තරුෂත් නො වරදවා හවස එනවා. කථා කර කර ඉඳලා යනවා.


දැන් දෙන්නා කසාද බැඳලා දුරු රටක ඉන්නේ.. චුටි බට්ටිච්චියෙක් ඉන්නවා.නයෝමිගේ උපන්දිනේ දවසෙම උපන්න.


ලියන්න පටන් ගත්තේ එකක්. ලිවුවේ වෙන දෙයක්. හිතුවට වඩා කථාව දිග වුණා. කියවන අයට වුණ අපහසුතාවට සමා වෙන්න. 




Monday, July 21, 2014

චීනෙන් ආවත් .....

හිතුණා සිද්ධියක් කවියෙන්              පවසන්න

අගුණක් ඇතොත් මහ සද්දෙට නො බනින්න


පුංචිම කාලේ සිදු වුණ දේ දැන්         මෙන්න


ලියනවා තරහ අවසර ඉවසා                ඉන්න

 

පෙර මං ලියු කථාවක අයියයි                              නිම්මියි

බට්ටිගේ නංගි සමගින් බට්ටියි                            අම්මයි


තව තව කිහිප දෙනෙකුගෙ වුණ                   එකමුතුවයි

නඩයක් හා සමග ගමනක්                                ඇරඹූවයි



මතකයේ තරම නම් වැඩිහිටි කන්ද                      තමයි

ඒ හා සමග තව තව තැන් මහා                         ගොඩයි


පොඩි අය අපියි, ඒ අය හැම එකට                       තමයි

අත් වැල් බැඳන් යන යන තැන එහෙම                  තමයි

 

පෙනුමෙන් චීන යුවලක් අපේ                        ඉදිරියට

එනවා දැක්කේ පලමුව අයියා                         සොඳට


පොඩි කාලේ උණත් හොඳ නෑ හැකර                කට


ඇරියා යමක් කියනට මැද හොඳට                      කට

 

වැඩිහිටි කන්ද නඟිනා අපි හතර                 දෙනා

මූණට හමු වුනා චීනෙන් ආ                    දෙන්නා


සිනහව නගා මිනිසත් කම  දී                 පෙන්නා


අපි සැම පසු කරන් පහලට බැස              යන්නා

 

චැං චුං ඤන් පචං තාලෙට                   පවසන්නා

ආපසු හැරී අප දෙස මදහස                   පෙන්නා

ඇයි ඒ ලෙස කියන්නේ උන්              විමසන්නා


අයියා ඉන්නේ සේ කිසිවක් නොම        දන්නා



පොඩි අපි ඉන්නේ කටවල් දැන් ඇර            ගෙනය

අයියට නම් ඒකේ කිසි ගණනක්                  නැතිය


වැඩිහිටි අය ඇවිත් අහනා විට                       කිරිය


කිවුවා සියල්ලම දන්නා            ඇති             සැටිය



ඒ දෙන්නා ඇවිත් තිබුණට                            චීනෙන්

හැම අවුරුද්දකම සිරි ලංකාවට                     ලීලෙන්

යන එන නිසා සිංහල හොඳ සහ                     සුද්දෙන්

දන්නා බව කීවේ අපේ හිතේ බය                මැද්දෙන්

කලකට ඉහත අන්තිම පේළිය වෙත ලියන ලද්දකි.)



Monday, July 14, 2014

පාපන්දු ලෝක කුසලාන තරගය.

මා දන්නා ෆුට් බෝල් ගැහිල්ලක් නැත.එසේ ම ඊට රුචියක්ද නැත.එසේ වූ පමණින් ඊට රුචි වුවන්ට විරෝධයක්ද නැත.නමුත් මට ඊයේ නම් ඇති වුයේ මහා පුදුමයකි.

මක් නිසාද යත් විභාගයක් ඇතැයි කියුවත් පොතක් පාඩම් කිරීමට අවදි වී නොසිටින, නිබන්ධන කිරීමට කොතරම් කාලය නැතත් රෑ 10.30 පහු වෙද්දී නින්දට යන, මගේ ආදරණීය මහත්තයා ඊයේ රෑ 10.30 පහු වෙනවාත් සමගම (ඩුබායි වේලාවෙන්) ෆුට් බෝල් මැච් එක බලන්නට සැදී පැහැදී සිටීමයි. "ටිකක් ඉන්න මැච් එක පෙන්නන ලින්ක් එක හොයා ගන්න කල්" ඔහොමයි කිව්වේ කන්න එන්න කිවුවාම.



මටත් නිබන්ධන වැඩක් තිබුණ නිසා කොහොමත් ටිකක් රෑ වෙනතුරු අවදියෙන් ඉන්න ඕන කියලා මම හිතලයි තිබුණේ. මොකද දවල් දවසේ ඔය දේ වලට විවේකයක් නැහැ මගේ පුංචි පැටික්කි නිසා.මම නිබන්ධනයේ වැඩ කරන අතරේ ඔහු තනියම කියවමින් මැච් එක බලනවා. හිටි හැටියේම බොහොම ප්‍රීතියෙන් අත් ඔසවමින් සතුට පළ කළා.මොකද ඇහුවාම ආර්ජන්ටිනාව ගෝල් 1ක් ගත්තාලු.

ආයෙම ටිකකින් කියනවා" ඇයි ඒක දුන්නේ නැත්තේ..?"

අනේ ඉතින් මම දන්නවා කියලාද?

මම ආයෙත් ඇහුවා "ගෝල් එක ගත්තා නම් ඇයි නොදුන්නේ "

දෑතේ ඇඟිලි එහා මෙහා පෙරලමින්,දෑත දෙපසට විහිදුවමින් -කට ඇද කරමින් අංග චලනයෙන් මට කීවේ ඒ ගැන නො දන්නා බවයි. 'මොකක් හරි කේස් එකක්' පස්සේ මට කියනවා.මම නිශ්ශබ්ධ වුණා. අහලා තේරුමක් ඇත්තෙත් නැහැ. ඔහු දන්නෙත් නෑ .මං දන්නෙත් නෑ. ඉතින් මොකට අහනවාද ? හදිසියේ වත් හේතුව දැන ගෙන හිටියා නම්......

12.00ට විතර මම නිදා ගන්න යනවා කියලා ගියා.ඒත් ඔහු මැච් 1 බලනවා.රෑ කීයටද මන්දා නිදා ගන්න ආවා 'ජර්මනිය කප් එක ගත්තා' කියලා කීවා වගේ යන්තමට මතකයි,නිදිමතේම මොනවා කිවුවද මං දන්නේ නැහැ.


Tuesday, July 8, 2014

සිහින සැබෑ වීම තෙක්.....

පුංචිම පුංචි හීනයක් තිබුණා අනිත් හැමෝටම වගේ මටත්. කොයි තරම් හීන එකතු වුණා -අඩු වුණා  වුණත් , කිසිම දවසක නොවෙනස්වම හැමදාම වගේ දැකපු.

ඒ හීනේ වෙනුවෙන් පහුගිය කාලේ බොහොම ඉවසීමෙන් බලා ගෙන හිටියේ.සිහිනය සැබෑ වීමත් සමගම කාර්‍යය බහුල වුණා මං . ඒත් ඉතින් හීනේ හැබෑ  වුන සතුට දවසෙන් දෙකෙන් නිමා නොවන, මුළු ජීවිත කාලය පුරාවටම රැඳී තිබෙන නිසා, මේ වන කාර්යය බහුලත්වය පිළිබඳව පුංචිම පුංචි අමනාපයක් වත් දැනෙන්නේ නැහැ මට.

හැම කෙනෙක්ම වගේ මාත් බොහෝ ආසාවෙන් එකතු කරගත්ත හීනය........

ගැහැණු ආත්මයක්ව ඉපිද, යමක් කමක් තේරුම් ගැනීමට හැකි වූ දා පටන් ඇය ජීවිතය ගෙවිය යුතු අයුරු සැලසුම් කරනවා.හැම කෙනෙක්ම නො වුණත් බොහෝ දෙනෙක්. විශේෂයෙන් ආදරය සම්බන්ධව.තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන කෙනා පිළිබඳව.ඔහු මොන විධියේ කෙනෙක් විය යුතුද , කුමන ගති පැවතුම් තිබිය යුතුද... ලෙස. මේ අතරට ධනය, කඩවසම් බව, රැකියාව, අධ්‍යාපනික පසුබිම , පවුල් තත්ත්වය , කුලමල ආදියද සමහර අය සැලකිල්ලට ගන්නවා .

ඔය මොන දේවල් සලකා බැලුවත් දෙමාපියන් කේන්දර ගැලපීම ගැනත් බලනවා. ඔය එකී මෙකී නො කී  බොහෝ දේ සළකා බැලීමෙන් පසුව සිදු වන විවාහයෙන් පස්සේ ප්‍රධානම වශයෙන් අම්මලා-නැන්දම්මලා ගේ බලාපොරොත්තුව එයාලාව ආච්චි කෙනෙක් කරන්නේ කවදද කියලා විමසිල්ලෙන් ඉන්න එක. තාත්තලා වුණත්  නොකිවුවාට ඒ බලාපොරොත්තුවෙන් ඉන්නේ සීයා කියන පුංචි පැටියෙක්ගේ මුණ දකින්න.

පුංචි පැටියෙක්ගේ බලාපොරොත්තුවෙන් හීන දැකපු මමත් විවාහයෙන් වැඩි කල් නොයාම ඒ බලාපොරොත්තුව ඉටු වේ ගෙන  එනවා යි හිතේ හිනාව මුණටම එකතු කර ගෙන ඇඟිලි ගැන ගැන බලාන උන්නා. ඒ හීනෙට ඒ හැටි ආයුෂ තිබුණේ  නැහැ. ඒ නිසාද මන්දා ආයෙම හීන දකින්න මං බය වුණා . ඒත්  කාටත් නොකියා මම මගේම හිතේ හංගාගෙන ඒ හීනය වැවෙන්න පොහොර දමමින් බලාන උන්නා. දවසින් දවස ගෙවී ගෙවී ගිහින්, වසර හතරකට ආසන්න කාලයක්ම ගෙවුණා . කඳුළු බින්දු හිතට, නෙතට එකතු කරමින්.ගෙවුන හැම වසරකම මගේ (අපේ ) හීනය මැකුන දවසට මම ඇඬුවා හැමෝටම හොරෙන්.

ඒ අතීතය අද මට බලාපොරොත්තුවක් විතරක් නෙමෙයි, මගේ හීනයත් හැබෑ කරලා දීලා . 

පුංචි පැටියෙක් අපේ ලෝකෙට එන්න හදන බව දැන ගත් මොහොතේ පටන් බොහොම පරිස්සමෙන් ඒ හීනයට වගේම,පුංචි පැන්චියටත් වැඩෙන්න දුන්නා. දකින අය හැර, බොහෝ අයට කීමට මැලි වුණා කලින් බිඳුණු හීනය නිසාම.

කාලයක්ම මගේ බ්ලොගය පැත්තේ වත් නෑවිත් මම කැප වුනේ අපේ පුංචි ලෝකෙට එකතු වුන පුංචි පැටියා වෙනුවෙන්.


ඔන්න මගේ යහළු යෙහෙලියන් හැම දෙනාටම කිවුවා මෙපමණ කලක් මගේ බ්ලොගය පාලුවට ගිහින් තිබුණු හේතුව.ඉදිරියටත් ටිකක් ලිපි වල අඩුවක් තියේවි ටික කලක් යන තුරු, සමාවෙන්න ඕන හැමදෙනාම ඒ ගැන... :)

Tuesday, February 18, 2014

මග තොටදී ........

                හැමදාමත් වැඩට යද්දී උදේට හමු වෙන අය වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.ඒ මොකද මම වගේම ඔවුන් පවා එකම වෙලාවට නිවසින් පිට වෙලා තමන්ගේ සේවා ස්ථානයට යන අය නිසා. ඔය අතරේ හැමදාම හමු වෙන මතක හිටින චරිත කිහිපයක්ම තියෙනවා.සුපුරුදු විධියට මම මෙට්‍රෝ එකෙන්  Mall Of  Emirates වලදී බැහැලා ඉතිරි දුර පා ගමනින් තමයි තවමත් ඔෆිස් එකට එන්නේ.


                                                                           මෙට්‍රෝ
                                        දුම්රිය වේදිකාවේ 


                                     Mall Of  Emirates 
                               Mall Of  Emirates දුම්රිය නැවතුම් පල 

                   ඔය අතරේ වැඩි දුරක් Mall එක ඇතුළෙන්ම ඇවිත් කා(ර්) පාර්කින් එක හරහා එන්නේ සිග්නල් එක ළඟට. එතැනින් පාර මාරු වෙලා විනාඩි 6-7ක් තුළ මට ඔෆිස් එකට එන්න පුළුවනි.

                     මාත් එක්කම දුම්රියේ එන - මගේ ඔෆිස් බිල්ඩින් එකට එහා බිල්ඩින් එකේ සේවය කරන හයේ-හතරේ ආරක්ෂක නිලධාරි මහත්තයෙක් මේ දවස් වල නම් එනවා. මිට පෙරත් තවත් ආරක්ෂක මහතෙක් පැමිණියා.දැන් ඔහුගේ සේවා මුරය මාරු වෙලා මම වැඩට එද්දී ඔහු ඕෆ් වෙලා යනවා මඟදී හමු වෙනවා. කලින් කිවූ හයේ-හතරේ මහත්මයා තමයි දැන් ඒ වෙලාවට වැඩ කරන්නේ.නමුත් ඔහු එන්නේ මම එන පාරෙන් නෙමෙයි.වටෙන්.ඒක දුර වැඩියි කියලා මම දන්නවා. මොකද මගේ ඇවිදීමේ වේගය එක්ක සලකා බලද්දී මම සිග්නල් එක ළඟට එද්දී ඔහුත් එතැන කියන්නේ,ඒ පාර දුර වැඩියි කියලා. (හිතා ගන්න පුළුවන් නේ මගේ වේගය)

                          ඒ හැර මට ඉදිරියට හමු වෙනවා ෆුල් සූට් දාගෙන කෙනෙක්. පෙනුමෙන් නම් ඔහු අරාබි රටක කෙනෙක් වගේ. සමහර විට සිරියන්,ලෙබනන් හෝ ඊජිප්තු වැසියෙක් විය හැකියි. හැමදාම මම දකිනවා මොන යම් හෝ දෙයක් කමින් තමයි ඔහු ගමන් කරන්නේ. අනිවාර්යයෙන්ම එය ඔහුගේ උදෑසන ආහාර වේල විය යුතුයි.නමුත් දවසක් මා දුටුවා ඔහු අතේ තිබුණ දේ බිම වැටුනා ඒ හා ම නැමුණු ඔහු එය අහුලා ගත්තා.අතේ තිබු ටිෂූ එකෙන් හොඳින් පිස දැමු එය නැවතත් කටේ දා ගන්න අයුරු දුටු මට නම් ඇති වුන හැඟීම මොකක්ද කියලා මට තවමත් අදහසක් නැහැ.සමහර විට ඔහු එයට වඩාත් රුචියක් දක්වනවා ඇති.නැතිනම් අළුත් යමක් මිළදී ගන්න මුදල් හෝ කාලය මදි කමක් තියෙන්න ඇති.කොහොම වුණත් ගිණිය නොහැකි තරම් සෙනගක් යන මහා පාරේ වැටුණු යමක් නැවත මුව තුළ රුවා ගැනීම නම් අනුමත කරන්න බැහැ.ඉන් පසුව ඔහු දකින හැම වෙලේම මට සිහි වන්නේ එයමයි.රවුම් , කුඩා මුහුණට කුඩා උපැස් යුවලක් පැළඳ ගෙන කඩිසර ගමනින් යන ඔහු මට සුපුරුදු දසුනක්.

                             අම්මගේ අතේ එල්ලිලා පුංචි කොණ්ඩ කරල් දෙකක් බැඳ ගෙන මොන්ටිසෝරි යන චුටි චීන දැරියත් හැමදාම වගේ හමුවෙනවා.සමහර දවසට ඈ අම්මා-තාත්තා දෙන්නාගේම අත් දෙකේ එල්ලිලා බොහොම සතුටින් යනවා.

                             යුරෝපීය රටක තරුණ ගැහැණු ළමයෙක් හැමදාම එයාගේ බල්ලාව ඇවිද්දවන්න යන්නෙත් මම ඔෆිස් එන වෙලාවටම තමයි.


          මේ මොන ජාතියේ බල්ලෙක්ද කියලා මම නම් නමින් දන්නේ නැහැ.ඒත් ඇය ඇවිද්දවන්නේ මේ වගේ කෙනෙක්. මට නම් එයාව දැක්කාම ආසා හිතෙන්නේ නැහැ.ඇයි මේ වගේ කැත එකෙක්ට මේ තරම් සලකන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ මදිවාට උගේ වල්ගෙත් හරිම පොඩියි.

             ඔය අතරේ කුණු ලොරිය,පාර අතු ගාන අය කඩ වලට උදේම කෑම ජාති(බේකරි කෑම) සහ බීම (කිරි,පළතුරු බීම වගේ) දාන වාහන එකම වෙලාවට එකම තැන දී දකින්න ලැබෙනවා.

                8.00 ට වැඩ පටන් ගන්න මම කොහොමත් උදේ 7.00-7.20 අතරේ ඔෆිස් එකට ඇවිත් ඉවරයි. මට මතක තියන කාලයේ ඉඳන්ම මම හරිම අකැමැතියි පරක්කු වෙලා යන්න. ඒක යන තැන අනුවම නෙමෙයි. ස්කෝලේ යද්දී, පන්ති යද්දී, රස්සාවට යද්දී කවමදාවත් පරක්කු වෙලා යන්න මට හිත දුන්නෙම නැහැ. එහෙම පරක්කු වෙනවා නම් මට යන්න හිතෙන්නේ නැහැ. දැන් රස්සාව කරන නිසා මොනම හරි හේතුවක් මත පරක්කු වෙනවා නම් ලොක්කා දැනුවත් කරනවා මයි. අනික මම හරිම අකැමැති දෙයක් තමයි නිවාඩු දාන එක.පන්ති ගිහින් කලින් ගෙදර එන එක, ස්කෝලෙන් කලින් එන එක වගේම පීරියඩ් කට් කරන එක.

          කට්ටිය කියාවි ස්කෝලේ කාලේ ඔය පීරියඩ් එකක් වත් කට් කරන්නේ නැති නම් මොකටද කියලා.එහෙමත් කළා උසස් පෙළ කරද්දී.ඒත්..එහෙම කළේ නොකරම බැරි වුනොත්.සමහර විට ස්පෝර්ට් මීට් කාලෙට. හවුස් එකේ දර දිය අදිනවා නම් ඉතින් කරන්නම වෙනවා නේ. ඒ හැර සමහර විට ලයිබ්‍රි පීරියඩ් එකට ආවාම ආයේ පන්තියට යද්දී ඊළඟ පීරියඩ් එකෙන් භාගේකට වඩා ගිහින්. හේතුව තමයි උසස් පෙළ කරන කාලේ අපේ පන්ති තිබුණේ කන්ද උඩ. පුස්තකාලේ තිබුණේ පහළ. ඉතින් හෙමින් හෙමින් කට්ටිය එක්ක පච මල්ල මග දිගට හල හලා යද්දී පන්තියට ළඟා වෙන්න නො සෑහෙන්න කාලයක් ගත වෙලා.හැබැයි පන්තියේ හිටියට ඉංග්‍රීසි නම් ඉගෙන ගත්තෙම නැති තරම් උසස් පෙළදී.

                  උසස් පෙළ කාලේ ඉතින් ළමයි ස්කෝලේ එන්නෙම නැහැ වගේනේ. ඒත් මම නම් ගියා.අපේ පන්තියේ මම වගේ තවත් කිහිප දෙනෙක් හිටියා. සමහරු විභාග කාල වලට විතරක් ආවා.80% කතාවක් තිබුණා වුණත් කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ.

                       ඔන්න ලියන්න ගත්ත දෙයින් වෙනමම කතාවකට ගියේ.එහෙම නම් ආයේ වෙන වල්  බූත ඕන නැහැ.ඔන්න නැවැත්තුවා.

Sunday, February 2, 2014

මායිම් ප්‍රශ්න...

         

                          මේ තරම් කාලයක් දුරු රටක දුක් විඳගෙන හරි හම්බ කර ගත් මුදලින් මිලදී ගත්ත ඉඩම් කෑල්ලේ නව නිවසක් ඉදි කරන්නට පෙර, මායිම් සීමා නිවැරදිව හඳුනාගෙන තාප්ප කෑල්ල ඉවරයක් කර ගන්න ඕන කියන අදහස අපි දෙන්නාටම තිබුණා. මොකද කීවොතින් ඔය ඉඩම මිළදී ගනිද්දී අපි දැන ගෙන හිටියා,ඉඩමේ එක් පැත්තකින් යන්න තියන අඩි 10 පාර වෙනුවෙන් තව අඩි 2ක්  ඒ පාරේ ගෙවල් වල අය  ඉල්ලලා තිබුණ බව.අපි මිළදී ගන්න පෙර ඉඩම අයිති වෙලා තිබුණ, දැනට කොළඹ පදිංචි වෙලා ඉන්න ගෑණු කෙනා ඔය වෙනුවෙන් නඩු කියලා එයා දිනලා. නගර සභාවෙන් කියලා තියෙනවා වැට මායිමට කරලා ගෙයක් හදන්න කියලා.එයා ඒ නිසා කාමර 2ක පොඩි ගේ කෑල්ලක් වැට මායිමේ හදලා,ඉස්සරහා කොටසේ තාප්ප කෑල්ලත් බැඳලා ම තිබුණේ.

                              ගෙදර වැඩ පටන් ගන්න කලින් තාප්පේ හදන්න මුල ඉඳන්ම අදහස තිබුන නිසා පහුගිය සතියේ එයා ලංකාවට ගියා දවස් දෙකක් වෙනුවෙන්. ලණු අදින්න,  ගෙපල කපන්න (වචනය හරිද මන්දා - කොහොම හරි ලණු ඇද්දට පස්සේ පොලව හාරන එක ) සහ මුල් ගල තියන්න වෙන වෙනම නැකැත් හදලා තිබුණා. මායිම් කණුව ලඟට කරලා කුඤ්ඤ ගහලා වැඩේට ලක ලැහැස්ති වෙලා.

                         ඔය අතරේ පිටි පස්සේ ගෙවල් වල එකා-දෙන්නා වැට මායිමේ කැරකෙන්න පටන් අරන්.සමහරු වටෙන් ගොඩින් කියනවාලු 

           "මහත්තයා තාප්පේ ගහද්දි ටිකක් වත්ත ඇතුළට කරලා ගැහුවා නම් කවදා හරි පාර වල ලොකු කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.නැත්නම් අපරාදේ තාප්පේ කඩන්න වෙනවානේ..."

          " කමක් නැහැ ඉතින්. ඕවා සිද්ධ වෙන්නේ තව කාලයක් ගිහින්  නේ."

         " අපේ ගෙවල් වලට ප්ලෑන් එකක් වත් පාස් කර ගන්න බෑ මහත්තයා අඩි 12ක පාරක් නෑ කියලා."
                  "මහත්තයා සල්ලි දීලා ගත්ත ඉඩමෙන් ඉල්ලන්න අපට අයිතියක් නැහැ.ඒත් ඉතින් සාධාරණයක් කරන්න පුලුවන් නම් ..."
           
           " ඔයාලාට තියන ප්‍රශ්නේ ඒක නම් මම සාධාරණයක් කරන්න බලන්නම්"

              ඔය වගේ දෙබස් හුවමාරු වෙද්දී කොට කලිසමක් ඇඳ ගත් අවුරුදු 45-50ක විතර කෙනෙක් මහා උජාරු ලීලාවෙන් වත්තේ මායිම් කණු ළඟ කැරකෙමින්,
         "මේ ..... තාප්පේ කොහොමද ඔය විධියට ගහන්නේ මේ මේ කණුවට ගන්න." 

"ඔයා කවුද?"
"මම කවුරු වුණාම මොකද ?මේ තාප්පේ එන්න ඕන මෙතැනට.හරියට තාප්පේ ගහන්න "

"මගේ ඉඩමේ තාප්පේ ගහන විධිය කියලා දෙන්න ඕන නෑ.මම හරියට තමයි කොහොමත් තාප්පේ ගහන්නේ"

"ඔයා හිටියද ඉඩම මනින වෙලාවේ? "

"නෑ.ඔයා හිටියෙත් නැහැ නේ. "

"ඔයා හිතනවා මෙතන තමයි කණුව තියෙන්නේ.මම හිතනවා මේක තමයි කියලා."
"එහෙම කොහොමද පාරේ තාප්ප ගහන්නේ.? "
"ඒකට තමයි ආණ්ඩුවේ ඔෆිස් තියෙන්නේ.පොලිසි තියෙන්නේ.ඔයාට එහෙම ප්‍රශ්නයක් තියනවා නම් පොලිසි යන්න.මම මේක නවත්තන්නේ නෑ.මොකද මම නීති විරෝධී විධියට නෙමෙයි තාප්පේ ගහන්නේ.නගර සභාවෙන් තාප්පේ ප්ලෑන් එකත් පාස් කරගෙන සල්ලි ගෙවලා තමයි වැඩේ පටන් ගත්තේ."

                     ටික වෙලාවකින් ලොකු පොර වගේ හිටි මනුස්සයා මාරු.

ආයෙම ඇවිත් වතාවක් රණ්ඩුවට ඇවිත් තිබුන වෙලාවේ අපේ නෑණා පොඩ්ඩ කියලා තිබුණේ "හරි අයියේ..ඔයා ඔය වැට පහු කර ගෙන වත්තට එන්නකෝ.ඇවිත් මල්ලිට එක පාරක් හරි ගහන්න බලන්න.ඊට පස්සේ අපි ඉතුරු ටික බලා ගන්නම් " කියලා.

ඔය ඔක්කොම චණ්ඩි කම් කටින් විතරයි.බයක් වගේ පෙන්නුවා නම් මුළු ඉඩමම දීලා අත පිහ දා ගන්න තමයි වෙන්නේ.

       ඒ මගේ මහත්තයාගේ උපන් ගම.දැන් ලංකාවේ නැති නිසා වෙන්න ඇති පිට ගං කාරයෝ කියලා හිතාගෙන සද්ද දාන්න එන්න ඇත්තේ.  අනික නෑණා බැඳලා ඉන්නෙත් අපේ ඔය ගත්ත ඉඩමට බොහොම ළඟින්. 

        ඔය ලොකු කම් කතා කළ කෙනාට සල්ලිය බාගේ තියනවාලු.හයි-බ්‍රිඩ් වාහනයක් තියා ගෙන ගමට සල්ලි බලෙයි-කටේ බලෙයි විතරක් නෙමෙයි,ඔය මනුස්සයාගේ තාත්තා ඉස්සර චණ්ඩියෙක් ලු.ඒ ලොකු කමත් එක්ක තමයි අපට සද්ද දාන්න ඇවිත් තිබුණේ.

         කොහොම හරි තාප්පේ හදන්න ගත්තාට පස්සේ සද්ද වහ ගෙන, පැත්තකට වෙලා හිටියාලු. තවමත් තාප්පේ වැඩ කටයුතු කරදරයකින් තොරව කර ගෙන යනවා කියලයි වරින් වර ලංකාවට දුරකතන ඇමතුම් ලබා ගනිමින් මට තොරතුරු කිව්වේ.




         පහලින් තියෙන්නේ අපේ තවමත් ඉදි වෙමින් පවතින තාප්පය. මේ පින්තූර අනුග්‍රහය  බාල මස්සිනා ගෙන්.  






  




Thursday, January 23, 2014

නුඹ නැතිව...

නොගිහින්ම බැරි නිසා ගියත් නුඹ මා නැතිව
හිඳින්නේ කෙලෙසින්ද රෑ දෙකක් නුඹ නැතිව
හැර ලන්න ආ පසුව නෙත නැඟුණ කඳුලැල්ල
පිස ගතිමි නුඹේ ඇසට ඒ වගක් නො පෙනෙන්න

තනිව ඉන්නා විටදී නිවසේ දොර වසා ගෙන.
වාව ගෙන ඉන්න බෑ නැතිව නුඹ මගේ ළඟ.
වැඩ ඇරී ආ පසුව ගෙදර නුඹ නොමැති වග
හදවතට පහදන්න ක්‍රමය කියලා දෙන්න.
     
අසීරුම තව රැයක් එලෙසින්ම ඉතිරි වග.
මතක් වෙන විටත් නෙත කඳුළු පිරෙනා අරුම.
නුඹේ සුවඳ රැඳී ඇති කාමරයේ හැම තැනම
පෙනෙනවා මට නුඹව ඉවසන්නේ කොහොම මම

අද රැයත් ගෙවීයන් ඊයේ රැය වාගේම.
හෙට දවස උදා වී නුඹේ මුව දැක ගන්න.
නුඹේ සුවඳ විඳගන්න, නුඹේ තුරුලේ ගුලි වෙන්න.
ඉක්මණට මේ කරුම අද දිනය නිම වන්න.

තනිව ඉන්නට බයක් හිතට නොම දැනුනාට 
පාළුවක් දැනෙනවා නුඹ නැතිව හිඳින විට.
වෙනදා මෙන් කඳුළු කැට නුඹේ ඇස නො ගැටුනාට 
බලා ඉන්නේ නුඹව දැක ගන්න ඉක්මණට. 



Monday, January 13, 2014

දන්නෙත් නැති නො දන්නෙත් නැති ක්‍රිකට්.

               මේ දවස් වල අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායි දේශයේ කරක් ගහනවා.කට්ටිය කීමට කියන්නේ ඩුබායි කියලා නේ. ඒත් ඇත්තම කිව්වොත් මේ රටේ නම එක්සත් අරාබි එමීර් රාජ්‍යයය.ප්‍රාන්ත 07කින් සමන්විත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කියන්නෙත් එක ප්‍රාන්තයක් පමණයි. 

  • අබුඩාබි
  •  සාජා
  •  ෆුජෙයිරා (ෆුජේරා )
  •  රස් -අල්-කයිමා
  •  අජ්මාන්
  •  උම්-අල්-ක්වීන් යනු අනෙකුත් ප්‍රාන්තයන්.
             



              20- 20 තරගයක්, එක් දින තරගයක් සහ ටෙස්ට් තරගයක් ඩුබායි වල පැවැත්වූ අතර, තරගාවලියට අයත් වූ අනෙකුත් 20-20  තරගය සාජාහිදීත්, එක දින තරග 2 බැගින් සාජා සහ අබුඩාබි වලත්,පළමු ටෙස්ට් තරගය අබුඩාබි වලත් පැවැත්වූ බව ක්‍රිකට් වලට ඇළුම් කරන අය දන්නවා ඇති. ඒ වගේම 16 වනදා ඇරඹෙන අවසාන ටෙස්ට් තරගය සාජා වල පැවැත්වෙන බවත් ඒ සමගම නොදැන ඉන්න විධියක් නැහැ නේ.


                 

   මෙතැනදී මට දකින්න ලැබුණ දේ තමයි ඩුබායි වල තිබුණ සෑම තරගයක්ම අපේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කළත්, අනෙකුත් තරග වලදී අපේ ක්‍රීඩකයන් දැක්වූ දුර්වල තරග රටාව.විශේෂයෙන්ම සාජා තරග වලදී.එක් දින තරගාවලිය පරාජය වීමට ලොකුම හේතුවක් විධියට මට පෙනෙන්නේ සාජා හිදී ලද අමිහිරි පරාජයන්.පකිස්තානු කණ්ඩායම දිගට හරහට හතරේ සීමාවට ඉහළින් ලකුණු ලබා ගනිද්දී, අපේ කණ්ඩායමට සිදු වුනේ එකින් එක ලකුණු එකතු කර ගන්න. ඒකත් හරිම මහන්සියෙන්.

                 කාලයක් ජාත්‍යන්තර තරග වලටම විතරක් වෙන් කළ සාජා ක්‍රීඩාංගනය පහු කාලයක ආසාවට වත් ජාත්‍යන්තර තරග වලට දුන්නේ නැහැ.ඒ නිසා ඒ තරම් හොඳ නඩත්තුවක් කෙරුණේ නැති බව මම දැක්කා මගේ දෑ හින්ම. පහු ගිය වසරක ඕල්කට් පාසල්  ක්‍රිකට් තරගාවලිය සාජා ක්‍රීඩාංගනයේ පැවැත්වුන නිසා. (මගේ මහත්තයා ඕල්කට් පාසල්  තරගාවලියට සහභාගී වුන නිසා එයා යන යන තැන මාත් යනවා හරියට ඉදිකටුවයි -නුලයි වගේ.)එහි හතරේ සීමාව පවා ඒ හැටි දුරක් නැහැ. ක්‍රීඩාංගනය පොඩි නිසා.ඩුබායි වල හෝ අබුඩාබි වල ක්‍රීඩාංගනයන්හි විශාලත්වය ගැන මම නොදන්නවා වුණත් සියලුම තරග අන්තර්ජාලයෙන් පමණක්ම නැරඹු නිසා අනෙක් සෑම ක්‍රීඩාංගනයකටම වඩා සාජා ක්‍රීඩාංගනය කුඩා බව අවබෝද වුණා.

                 ඉතින් පකිස්තානුවන් හතර අතට වනද්දී, අපේ අයට මොකද වුණේ...? මට තියන ප්‍රශ්නය ඒකයි. අපේ කිසිම ක්‍රීඩකයෙක් විශාල ලකුණු ප්‍රමාණයකට ගියේ නැහැ.සාජා හි පැවැත්වුන 

පළමු එක් දින තරගයේදී 
කුසල් ජනිත් 64 (68), 
දිනේශ් චන්දිමාල් 46 (50),
සීක්කුගේ ප්‍රසන්න 42 (52) සහ 
සචිත්‍ර සේනානායක 42 (40) 

සහ තෙවන එක් දින තරගයේදී ඩිල්ෂාන් 59 (62)  ලෙස ලකුණු ලබා ගත්තා.ඒ කිසිවක් ජයග්‍රහණය කරා යන්නට සෑහුනේ නැහැ.

        පළමු එක්  දින තරගය ලකුණු 11 ක් වැනි සුළු ගණනකින්  පරාජය වුණේ ප්‍රසන්න සහ සචිත්‍ර ගේ නො පසුබට උත්සාහය නිසා.නැතිනම් එහි පරතරයත් බොහොම ඉහල අගයක් ගන්න තිබුණා.කොහොම වුනත් පරාජය කියන්නේ පරාජයමයි.ඒ නිසා අපි එක් දින තරගාවලිය පැරදුනා.මුල් පෙළ පිතිකරුවන් වගකීමෙන් පන්දුවට පහර දුන්නා නම් ප්‍රසන්නට හා සචිත්‍ර ට ලොකු පීඩනයක් එන්නේ නැහැ වගේම ඒ තරගය අපට දිනා ගන්න තිබුණා.

      ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කිවුවට ඊළඟට සාජා හි පැවැත්වුන තෙවන එක්  දින තරගය පරාජය වුනේ ලකුණු 113 කින්.

    සාජා ක්‍රීඩාංගනය ගැන අපේ ක්‍රීඩකයන්ට තියෙන්නේ බියක්ද නැතිනම් එහි තණ තීරුව ඔවුන්ට ක්‍රීඩා කිරීමට අපහසු තණ තීරුවක්ද කියන දේ දන්නේ ඔවුන් මයි.




     කෙසේ වෙතත් ලබන 18 වැනිදා ඇරඹෙන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කරන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සාජා වලට ඇති  හුඹස් බිය නැති වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මයි.එවිට ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වේවි.