Thursday, December 18, 2014

රෑ ස්කෝලේ ....

හොස්ටල් ජීවිතේ මොන වගේද කියලා අහන්න ඕනෑ ඒක විඳපු කෙනෙක් ගෙන්ම තමයි. ඒ කාලෙට හිතෙනවා මොකක්ද මේ විඳින කරුමය කියලා. හරියකට කන්න බොන්න නෑ . ලුණු ඇඹුල් ඇතුව කටට රසට කෑම ටිකක් ලැබෙන්නේ නැහැ. ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. ඒ මදිවාට කප්පරක් විතර නීති රීති. කාල සටහනට වැඩ කරන්න ඕන. අමාරුම කාරිය තමා උදෙන් නැගිටින්න ඕන. අපෝ..... ඒ කාලේ  විඳපු දුකක්.

ඒ ඔක්කොමත් ඉවසුව හැකි. සමාජය හොස්ටල් ළමයි දිහා බලන කැත ඇස් දිහා තමා බලාගෙන ඉන්න බැරි. ඒ කාලේ ඔය දේවල් ගැන ඒ හැටි දැනුම් තේරුම් තිබුනේ නැහැ. ඒත් ටික ටික ලොකු වෙන කොට, හොස්ටල් ජීවිතෙන් මිදිලා සමාජය ඇතුලේ කරක් ගහන කොට මොන ජරා අදහස් තියාගෙනද මුන් ඒ කාලේ අපි දිහා බැලුවේ කියලා දැනෙන කොට, සමාජය ගැන මහා අප්පිරියාවක් දැනෙන්න ගත්තා. 

කොහේ කොතැනක හරි සිද්ධ වුන නරක දේවල් නිසා, සමස්ථ හොස්ටල් ප්‍රජාව දිහාම නරක ඇහින් බලන්න මිනිස්සු පුරුදු වුණා. හොස්ටල් ජීවිතෙන් මිදිලා දැන් අවුරුදු 15කටත් වැඩියි. තවමත් මගේ කණට ඇහිලා තියෙනවා මොනවා හරි දෙයක් කිවුවාම " ආ.... හොස්ටල් නේ. අපි නො දන්න හොස්ටල්......." කියන කතාව.

සිද්ධ නොවෙනවා කියලා මට කියන්න බැහැ. සමාජය දැන් හොඳටම අපිරිසිදු වෙලා. දියුණු තාක්ෂණයත් එක්ක දැන් කාලේ ළමයි හැදෙන්නේ...එයාලා ඉන්ට'නෙට් වලින් බොහෝ දේ හොයා ගෙන යනවා.වගේම ඒකෙන් ජීවිතේ විනාස කර ගන්නවා.

මේ කියන්නේ දියුණු තාක්ෂණය ගැන වත්, විනාස කර ගත්ත ජීවිත ගැන වත් කතාවක් නෙමෙයි.

කවුරුත් වපර ඇහින් බලන, හොස්ටල් ඇතුළට කොටු වෙලා නීති ගොඩකට හිර වෙලා දුක් වින්ද අපේම අතීතයේ කතාවක්. එකම වයසේ කෙල්ලන් රොත්තක් අතරේ සිදු වුණ.

බට්ටි ඒ කාලේ වෙද්දී 11 වසරේ. අ.පො.ස. (සා/පෙළ) ට නැහී ගෙන පාඩම් කරන කාලේ. ඔය වයස කියන්නේ හොස්ටල් එකේ ඉන්න වැඩිමල් ම ළමයි. එයාලට ටිකක් නිදහස තිබුණා කාලසටහනට පිටින් වැඩ කරන්න. ඒ කිව්වේ ගේම්ස් පීරියඩ් එක, බුදුන් වඳින වෙලාව වුණත් ඒ දේවල් වලට නො ගිහින් පොතක් පතක් බලා ගන්න. සමහර විට රෑ පිරිත් කියන වෙලාවට නිදා ගන්න ඉඩක් තිබුණා. මොකද මේට්‍රන් වුණත්  දැන ගෙන හිටියා ළමයි ගොඩක් රෑ වෙනතුරු පාඩම් කරන බව. එතකොට සමහර අය ගේම්ස් වෙලාවට නිදා ගන්නවා. රෑ කෑම වෙලාවට අවදි වෙලා කෑම කාලා එක දිගට පාඩම් කරනවා.

ඩෝමෙට්‍රිය ඇතුළේ හැමෝම ඉන්නෙත් නැහැ. කොරිඩෝ එකේ පුටු තියා ගෙන තැන තැන තමුන්ටම අනන්‍ය වූ ස්ථාන වලට වෙලා කට්ටිය පාඩම් කළා. පන්ති කාමර වලින් ඩෙස්ක් එකක් ළඟ තියා ගන්නත් 11 වසර ළමයින්ට තහනමක් තිබුණේ  නැහැ. ඒ නිසා රෑට 12 .00 - 1.00 වුණත් හැමෝම නිදි නැහැ.

මේ කියන දවසේ නම් වෙලාව රෑ 7.00 ට විතර ඇති. නීලිකා වේලාසන නිදා ගත්තා හවස බුදුන් වඳින්න ගියෙත් නැතුව. හැබැයි දීපිකාට කිවුවා 7.00ට විතර අවදි කරන්න කියලා. සාමාන්‍යයෙන් එක් කෙනෙකුට විතරක් කිව්වොත් එයාට අමතක වුණොත් දිගටම නිදා ගන්න හින්දා මොළේ කල්පනා කරපු නීලිකා ,නිරෝෂා ටත් කිවුවා එයාව අවදි කරන්න කියලා මතක ඇතිවම.

ඔය විධියට කිහිප දෙනෙක් වම දැනුවත් කරලා නිදා ගත්තේ පාඩම් කරන්න ඕන නිසා. අ.පො.ස. (සා/ පෙළ) විභාගය නිසා හැමෝම හිටියේ ටිකක් තැති ගැන්මකින්. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මුණ දෙන ලොකු විභාගය නේ. ඕක පාස් වෙන්න බැරි උණොත්  උසස් පෙළත් කරලා හමාරයි. අනික විලි ලැජ්ජාව. ඈත ගම් වලින් ඇවිත්, හොස්ටල් එකේ නැවතිලා කට්ට කන්නේ කොහොම හරි විභාගේ ගොඩ දා ගන්න නේ.

කට්ටිය බුදුන් වැඳලා ඇවිත් හවස් වරුවේ පාඩම් කරන්න තියන වෙලාවට ස්ටඩි හෝල් එකට යන්න ඕන.ස්ටඩි  හෝල් එක කිවුවාට ඩයනින් හෝල් එක විධියට පාවිච්චි කරන්නෙත් ඒකමයි . 11 වසරේ සමහර අය ස්ටඩීස් වලට ස්ටඩි හෝල් එකට යන්නේ නැහැ, ඩෝමෙට්‍රියේ ඉඳන්ම පාඩම් කරනවා. උදේටත් ස්කෝලේ  යන්න කලින් පැයක් පාඩම් කරන්න ඕන. ඉතින් පරිසර තත්ත්ව සලකා බලද්දී සමාන තත්ත්වය න් තමයි අවටින් පෙන්නුම් කරන්නේ.

නීලිකා අවදි කරන්න කියලා කියපු වෙලාවත් ඇවිත්. කෙටි නින්ද වල් ගන්න නිසාද මන්දා දීපිකා ලොකු උත්සාහයක් ගත්තා නීලිකා ඇඳෙන් නැගිට්ටවන්න, ඒත් බැරි වුණා . කතා කළා කළා. නීලිකා නෙමෙයි අවදි වුණේ .මොනවා කරන්නද? ඒ වුණත් දීපිකා පරාජය පිළි ගන්න කැමති කෙනෙක්  නම් නෙමෙයි. කීප වතාවක් කතා කරලත් බැරිම තැන ඩෝමෙට්‍රියේ හිටි කීප දෙනා එක්ක රහසේ කතාවක් කළා.

හදිසියේම වගේ

 "නීලිකා  නීලිකා නැගිටින්න.මොකද අද ස්කෝලේ යන්නේ නැද්ද? දැන් හොඳටම පරක්කු වෙලා.ස්ටඩීස් වෙලාවත් ඇවිත්."

ස්කෝලේ නොගිහින් නවතින වැඩේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති දඩි බිඩියේ නීලිකා අවදි වුණා. ඇත්තටම නැගිට්ටා නෙමෙයි ඇඳෙන් පැන්නා. 

වටපිට බැලුවා. සාමාන්‍යයෙන් පරක්කු වෙලා යුනිෆෝම් දාගන්න සෙට් එක තමයි ඉන්නේ. සමහර අය කොණ්ඩේ පීරනවා . සමහරු පොත් හදනවා ටයිම් ටේබල් එක බල බලා.ඩෝමෙට්‍රියේ ඉන්නෙත් ටික දෙනයි. නිලීකා නො දන්නවා වුණාට 11 වසරේ අය බොහෝ දෙනෙක් ඒ වෙද්දී එහෙන් මෙහෙන් හොරෙන් එබිකම් කරමින් හිටියා. තැන් තැන් වල පාඩම් කරමින් හිටි අය වගේම, ස්ටඩි හෝල් එකේ හිටි අයත්.

 හැමදාම වගේ බාගෙට පියවුණ ඇස් දෙකත් අරගෙන, ඇත්තම කිවුවොත් තනි ඇහෙන් දත් බුරුසුවට දත් බෙහෙත් දාගෙන, සබන් කෑල්ලත් ,තුවායත් අරන් නීලිකා පහළට ගියා. බොහොම ඉක්මණට මුණ කට හෝදගෙන ඇවිත් යුනිෆෝම් එක දා ගත්තා. තකහනියෙම කොණ්ඩෙත් පීරා ගත්තේ පරක්කු වෙලා නිසා. 

හැමෝම උදේට කන්නේ නැහැ. සමහර අය ඉන්ටර්වල් එකට ඇවිත් කන්නේ උදේ කෑම එක. එහෙම හිතලා වෙන්න ඇති, සමහර විට පරක්කු නිසාත් වෙන්න ඇති පොත් ටිකත් සුදානම් කරගෙන නීලිකා ඩෝමෙට්‍රියේ දොරෙන් එළියට එන්න ආවා.

එහෙන් මෙහෙන් හැංගිලා හිටි අය ඔක්කොම මහා හයියෙන් හිනා වෙවී හූ සංග්‍රහයක් එක්කම ඩෝමෙට්‍රියේ ඇතුළට ආවා. මීටර් අවුට් වෙච්ච නීලිකා තුෂ්නිම්භූත වෙලා වගේ බලා ගෙන ඉන්නවා.

ස්ටඩිස් වලට බාධා වෙන්න මහා හයියෙන් හූ තියන 11 වසරේ ඇත්තන් මට්ටු කරන්න මේට්‍රන් මිස් වේවැලත් අතින් අරන් ආවේ දෙතුන් දෙනෙක් වත් කෝටු මස් කරන්න හිතාගෙන වෙන්න ඇති.

නීලිකා වට කරගෙන හිනා වෙවී ඉන්න මේ වදකාරයන් ටිකට කෝටු පාරවල් දෙන්න හිතා ගෙන එතැනට කඩා පාත් වුණ මේට්‍රන් මිස් ටත් අන්ද මන්දයි.

යාන්තමට කට කොණට මෝදු වෙච්ච නෝන්ඩි හිනාවෙන් මේට්‍රන් මිස් 

"මොකද නීලිකා මේ. ඇයි රෑටත් ස්කෝලේ තියනවාද ඔයාට විතරක්....."