Thursday, June 18, 2015

ඩක්වත් ලුවිස්‌

                      ඒ 2008 වසරයි. ජනවාරි-මැයි අතර කාලයේ එක්තරා ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට ඇවිත් ගාල්ලේ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් තිබුණු දවසක්. [එක්තරා ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ලියා දක්වන්නට වුයේ ඒ කුමන කණ්ඩායම දැයි මේ වන විට මතකයෙන් ගිලිහී ගොස් ඇති බැවිනි.]
                      එවකට ගාල්ලේ තාවකාලික පදිංචි කරුවන් වූ අප නිවසේ ඇත්තන් ස්ථිර පදිංචියට හිමිකම් කිවූ රුහුණු මාගම්පත්තුව වෙත ගොස් සිටි බැවින්, පුංචි අම්මාගේ තාවකාලික නිවසේ මටද නවාතැන් ලැබී තිබූ සමයයි. කළගුණ සලකනවා වෙනුවට මෙලෙස මඩ ප්‍රහාර දියත් කරනු ඇතැයි මා හට රොස් පරොස් එල්ල නොවනු ඇතැයි සිතමි.

                        පුංචි අම්මාට දුවෙක් හා පුතෙක් සිටිනා අතර, ඔවුන් දෙදෙනාම මට වඩා අඩුම වශයෙන් තනි ඉලක්කමෙන් ලිවිය හැකි සංඛ්‍යාවටත් වඩා වැඩි වයස් පරතරයකින් බාලයෝ වූහ. මා රැකියාවට යද්දී ඔවුහු පාසල් ගියහ. නැගණිය වැඩිමහල් වූ අතර , මලයා ඈට තෙවසරකින් බාල විය. දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු නිසාම, ගුරුවරියක වූ පුංචි අම්මා ස්ථාන මාරුවක් ද ලබා ගෙන, ඔවුන් හා බදු ගෙයක සිටියේ සති අන්තයට බාප්පාට ද ඒ වෙත එන්නට යැයි පවසමිනි. ඔහු ද රැකියාව නිසා ම, හදා ගත් නිවසට වී තනිව පුරා සතියක් ගෙවා දමා සිකුරාදාවේ සිය පවුල වෙත පැමිණෙන්නේ සතියකට සෑහෙන කළමනා ගෙන ඒම ද කළ යුතු බැවිනි.

                                අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දැඩි ලෙස උත්සුක වුයේ දෙදරුවන්ටත් වඩා පුංචි අම්මා ය. එසේ හෙයින් ගෙදරට රූපවාහිනියකට ඉඩක් නම් ලැබුණේ ම නැත. යාන්තමට ප්‍රවෘත්ති වලට පින් සිදු වන්නට රේඩියෝවක් පමණක් ඉඩ හසර වෙන් කර ගත්තේය.නො එසේ නම් පුංචි වුන් දෙන්නා මෙලහකටත් අංගොඩ මහ ස්පිරිතාලේ නතරව ප්‍රතිකාර ගනු ඇත. දෙදෙනාම උසස් පෙළ අවසන්ව යන තුරාවටම තත්ත්වය පැවතියේ එලෙසිනි. වාසනාවට මා එහි කල් ගෙව්වේ කෙටි කාලයක් පමණි. මොන තරම් බාධක පැමිණියද මැච් එකක් ඇති දවසට වෙන කිසිවක් ඇසීමට මල්ලී ගෙන් ඉඩක් නො ලැබේ.

                                පෙර සිදුවීමට අදාළ වුයේ සෙනසුරාදාවක් විය යුතුය. මක් නිසාද යත් එදින මා නිවසේ සිටි බැවිනි.නිවාඩු දවස යැයි මා හට කම්මැළි කම පහව යනු පිණිස වත් TV බලන්නට නොහැකි වීමත්, මෙතරම් ගාල්ලටම ආ මැච් එක බලන්නට නොලැබීමත් මා කණස්සල්ලට පත් කොට තිබුණි.නමුත් මැච් පිස්සියක වූ මා එදින රේඩියෝවේ එල්ලී ම සිටියෙමි. මගේ සහයට මල්ලීද වූ බැවින් කිසිවෙක් රේඩියෝවට අයිතිවාසිකම් කියන්නට ආවේ නැත. හවස් වරුවේ මල්ලී යා යුතුම පන්තියක් විය. මැච් එක අත් හැර ඊට යාමට මල්ලිගේ සිතේ ද කැමැත්තක් නැති සේය.එනමුදු කළ හැකි දෙයක් නැත.අකැමැත්තෙන් වුව පන්තියට යාමට හිත හදා ගත් මල්ලී,

" මැච් එකේ විස්තරය අහගන්න හරි පුළුවන් නේ" 
කියමින් පිටව ගියේය.

                                  බට්ටි ද නිවසින් පිටත් වූයේ අත්‍යාවශ්‍ය කටයුත්තක් වූ බැවිනි.නැතිනම් ඇද හැලුණු වර්ෂාව නිසා ගෙයින් එළියට බහින්නට නම් සිත් දෙන්නේම නැත. මෙය තරගයට පවා බාධා ඇති කරාවිදෝ යන බය මුසු සැකයක් ද සිතෙහි විය. කෙසේ හෝ බට්ටි නිවසට පැමිණියේ මල්ලී ද සමගිනි. ඇතැම් දින වලදී මල්ලී එන්නේ බට්ටි එන වෙලාවටමය.ඒ ද එවැනි දිනයක් විය. බසයෙන් බැස ගත් අප දෙදෙනාටම වුයේ මැච් එකට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමේ නොනිම් ආශාවයි. 

                                නංගි මැච් එක ගැන විස්තරයක් දන්නා බව අපි දෙදෙනාම දැන සිටියෙමු.අප පිටව ගියේ විස්තරය අපට සවිස්තරාත්මකව කිව යුතු යැයි ඇයට තර්ජනයක් වැනි අණක් නිකුත් කරමිනි. කෙසේ හෝ ඇය මැච් එක අසා තිබුණි.

මල්ලී : මැච් එකට මොකද වුණේ .......?
නංගී   : අපි දිනුම් 
මල්ලී : එතකොට  ඩක්වත් ලුවිස්‌ .......?
නංගී   :  ආ... එයාද?
              එයා ලසිත් මාලිංග ගේ බෝල් එකකට අවුට් වුණා. 

අපි දෙදෙනා එකිනෙකා ගේ මුණු බලා ගතිමු. කුමක් කිව යුතු දැයි නො තෙරේ. ඔබ කුමක් කියන්නේ ද ...?


                                    

Tuesday, June 9, 2015

බයි බායි ඩුබායි .....

තැනක් නැතිව හරි හමන් 
ගෙවූ අහිකුණ්ටක ජීවිතය 
කරන්නට සිතා, නිමා 
කීවෙමි බයි බායි කියා 

ගෙවුණු වසරට දුවට 
හැම තැනම ඇවිද්දට 
තේරුමක් වෙද ඇයට 
'බායි ඩුබායි ' කියන්නට.
වුණත්  විඳවන්නට දැනට
දෙපසකට වී ප්‍රේමය 
දරා ගන්නම් කඳුළ 
දෙනෙතේම කරන් හිර 

පරිගණක තිරය මත 
ඇඳෙන විට නුඹේ රුව 
මුහුණ අත ගාමින් ම 
උම්මා දෙන දෝණි දැක 

හිර වෙච්චි කඳුළු කැට 
හංගන්නේ කොහොම මම 
කියන් පෙම්බර සබඳ 
දැනෙද සියුමැලි පහස 

විඳවනා ජීවිතය 
විඳින්නට එක්ව අප 
සරි කරන් මිල මුදල් 
එන්න අප වෙත හනික 

යාන වාහන නැතත් 
වැටී ඉන්නට එකට 
හිසට වහලක් තනා 
ගනිමු හැකි ඉක්මණට 

උණුහුමට ගුලි වෙන්න 
තාත්තට ලං වෙන්න 
පොඩි දෝණිට ත් ඕන 
අම්මාට වාගේම.

දුරකතන නද ඇහෙන 
හැම වෙලාවකදීම 
"තාත්තා  තාත්තා"
විතරමයි දෝණිට 

නොතේරුම් කමට ඇය 
කියනවා සිතුවාට 
තාත්තාගේ ඕනකම 
කියනවා නේද දුව 

හැම දේම යළි සිතා 
විඳින දුක් ඉවසලා 
හැකි තරම් ඉක්මණට 
එන්න මේ අප සොයා 

Wednesday, May 20, 2015

පුංචි සුරංගනාවී....

මග බලා ගෙන හිටිය කාලය අහවර කරලා පුංචි සුරංගනාවියක් මේ ලෝකෙට වඩින්න පෙර මං බැලුවා , බොහෝ දෙනෙකුගේ හිත් වලට සන්තෝසය පුරවාලමින්.දවසින් දවස ගණන් කරමින් කාලය ගෙවා දැමුවේ හරිම නොඉවසිල්ලෙන්. කැලැන්ඩර් දින එකින් එක ගෙවී ගියා.

තවත් මාස එකහමාරක්....

හදිසියේම පුංචි සුරංගනාවියට මේ ලෝකෙට ගොඩ බහින්න ඕනෑ වුණා. අනේක විද අමාරුකම් මැද්දේ. 



කැලැන්ඩර් දින ගැන අමතක කරලා පුංචි සුරංගනාවි හෙමින් හෙමින් මේ ලෝකේ ලස්සන බලන්න ඕන.......මයි කියලා සුදානම් වුණා. ඒත් ඉතින් හදිසියේම එනවා කිවුවාම කිසිම දෙයක් සුදානමින් නැහැ නොවැ. 

'තව ටිකක් ඉන්න ' කියලා කියන්නද එහෙමයි කියලා.අපිට ඕන වෙලාවට සුරංගනාවියන් එන්නේ නැහැ නේ. 

එයා සුදානම් කිවුවාට එහෙම බවක් ඇත්තෙත් නැහැ. බලා ඉන්න පුළුවන්කමක් නොතිබුණ නිසා එහෙන් මෙහෙන් වද දෙන්නේ මොකටද කියලා මිහිපිට දෙවියන් ටික රැස් වෙලා සුරංගනාවිය හෙමීන් දෑතට ගත්තා.

යන්තමට වගේ මටත් ඒ සුරංගනාවිය දැක ගන්න හැකි වුණා. දවසක් විතර විවේක ගන්න වුණා සුරංගනාවි ආයෙම දැක ගන්න. තවත් දවස් 13ක් එහෙන් මෙහෙට - මෙහෙන් එහෙට ඇවිදිමින් සුරංගනාවි දැක බලා ගෙන විතරක් සැනසෙන්න සිද්ධ වුණා .

ඔන්න වාසනාවට 14වන දවස සුරංගනාවි මගේ ළඟට ගන්න, ළඟින් තියාගෙන ඉන්න ඉඩ ලැබුණා.

සන්තෝසය කියලා නිමක් කරන්න බැහැ. අළුත් නෑකම් ගොඩක් එකතු කර ගත්ත සුරංගනාවි අපේ චූටි දෝණි වෙලා ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔන්න අපේ පුංචි සුරංගනාවියේ, හැමදාම අපේ ලෝකේ ලස්සන කරන්න ඕන හොඳද?



Saturday, May 16, 2015

නංගියේ...............

පතිකුලයට පිය නගලා නිවසින් මං පිටවෙලා යද්දී, මට මහා වෙනසක් දැනුණේ නැහැ. ඒ සමහර විට මම ගෙදර හිටි කාලය බොහොම සීමිත නිසා වෙන්න ඇති.ඒ වගේම වසර ගණනක් පෙම් කරපු පෙම්වතා ළඟට යන්න, අපේම කියලා ලෝකයක් ගොඩ නගා ගන්න තිබුණ ඕනෑ කම හින්දා වෙන්නත් ඇති. ඒත් ..... නංගියේ නුඹ මහා කාලයක් හිටියේ ගෙදර. රස්සාවට ගියෙත් ගෙදර ඉඳන්මයි.   

"පවු අපේ චුටි කෙළි පැටියා." කියලා අත දික් කර කර යන්න පෙන්වන හැම පැත්තටම නුඹ අපේ චුටි කෙල්ලව අරගෙන යනවා.මගේ අතේ හිටියත් පොඩි අම්මා දැක්ක ගමන් අතට පනින්න චුටි කෙල්ල පුරුදු වෙලා. මනමාලි වෙලා නුඹ හැඩ වෙලා ඉන්න වෙලාවෙත් ............


ඔන්න දැක්කනේ .........

නුඹ ගෙදර නැති කමේ ලොකුම පාඩුව මේන් මේ චුටි බට්ටිට තමා.

කොහොම වුණත් අළුත් ජීවිතේ නුඹේ සතුටම රජයන වාසනාවන්ත එකක්ම වේවා..............

බුදු සරණයි නංගියේ.........


මගුලයි- දෙවැනි දවසයි එකටම කරා  ඔන්න 


සිනහව සතුට හැමදාකම              ඇති වේවා.
සුසුමන් කඳුළු හිත් ඇතුළට         නොම ඒවා.
දෙන්නාට දෙන්නා ගේ ආදරේ     වැඩි වේවා.
නව ජීවිතය සන්තෝෂෙන්             ඉතිරේවා....