Friday, June 16, 2017

දැන ගන්න කියනවද....?

පහුගිය දවසක මම පෞද්ගලික බැංකුවකට ගියේ මගේ නමට බැංකුවෙන් එවන ලියුම් වලට එඩ්‍රස් එක මාරු කරන්න.

මම: මිස්, මට එඩ්‍රස් එක මාරු කරා කියලා දන්වන්න ඕන, අළුත් එඩ්‍රස් එක දෙන්න ආවේ එහේට ලිපි එවන්න කියලා..

ඇය:ෆෝම් එකක් තියනවා ඒක ෆිල් කරලා දෙන්න මම හෙඩ් ඔෆිස් එකට යවන්නම්.

එහෙම කියලා ඇය පරිගණකයෙන් ඈ සතුව තිබූ හැම ෆෝල්ඩ (ර් ) එකක්ම පරික්ෂා කළා. ඒත්.. ඇයට එය හමු වුණේ නැහැ. ඇය කාටදෝ ඇමතුමක් අරගෙන විස්තරය කිවුවා. ඇමතුමට සම්බන්ද වුණු කෙනාගේ උපදෙස් මත ඇය මගෙන් ලිපියක් ගත්තා,පැරණි ලිපිනයෙන් නව ලිපිනයට මාරු කරන්නැයි ඉල්ලමින්.

බැංකුව ඇතුළේම තවත් වැඩක් තිබූ නිසා ඇයට ස්තුති කොට මම ඒ වෙත ගියා. බැංකුවෙන් එළියට යන්න හැදූ මාව ඇමතූ ඇය,

" මිස්,ෆෝම් එකටත් අත්සනක් දාලා යනවද" අසමින් මාව නැවතුවා.


අවශ්‍ය ලිපි නොලැබී යනවාට වඩා ඒවා ලැබීම අත්‍යාවශ්‍ය නිසා මම නැවතුණා. 

ඒත්... ෆෝම් එක ඇයට හමු වෙලා නැහැ, කළින් කතා කළ කෙනාගෙන් එය ඇත්තේ කොහිදැයි නැවතත් අසන්නට ඇති. මොකද ඇය බැංකුවට අළුත්. අනික එය බැංකුවේ වුණත් රක්ෂණයක් සම්බන්ද කතාවක්. ඒ සම්බන්දයෙන් බැංකුව තුළ විස්තර අසා ගන්නටයි ඇය ඉන්නේ. තුළේ ඉන්න වෙන කෙනෙකුගෙන් ඇහුවත් ඇයට ඒ ගැන දැන ගන්න බැරි, ඒ කාර්යය වෙනුවෙන් ඉන්නේ ඇය විතරක් නිසා. ඒකයි ඈ දුරකතන ඇමතුමක් ගත්තේ..

ඉක්මණට වැඩේ කර ගෙන යන්න ආපු මට ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් ගත කරන්න වුණා.
අවසානයේ සෑහෙන වෙලාවක් ගෙවලත් මට සිද්ධ වුණේ කළින් ලියූ ලිපිය වෙනුවට අළුතෙන් ලියුමක් ලියා අත්සන් කර දී එන්නයි.

ඇය මගෙන් ඉල්ලා හිටියා ලිපිනය සනාථ කරන්න අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කරන ලෙසට.


මම: මම මේ එඩ්‍රස් එක මාරු කරන්නේ ඒ ලියුම් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා දන්න තැනට. හැබැයි එතන මගේ නමට එන ලයිට් -වතුර බිල් නැහැ.ඉතින් කොහොමද එතකොට ඒක ඔයාලාගේ අවශ්‍යතාවයට හරියන්නේ..

ඇය: හෙඩ් ඔෆිස් එකෙන් ඉල්ලනවා නේ. ඒකයි.

මම: ඉතින් අපි කියනවා නම් මේ එඩ්‍රස් එකට ලියුම් එවන්න කියලා, අත්සනත් තියනවා නම් බැංකුවට මොකක්ද තියන ප්‍රශ්නේ..

ඇය: නිරුත්තරයි..

මේ මට සිද්ධ වුණ දෙයක්.
මේ වගේම දෙයක් අපේ අම්මටත් වෙලා තිබුණා. 

වරායේ ආරක්ෂක හේතූන් නිසා අපේ ගෙවල් වලින් ඉවත් වෙන්න කිවුවා අපට, ඒ වෙනුවෙන් ඉඩම් දීලා ගෙවල් හදා ගන්න කීවා.

තිබුණ ගෙදර 2008 ඉඳන් වරායට ගන්නවා- අයින් කරනවා කිය කියා කිසිම අළුත්වැඩියාවක් කරන්න පවා ඉඩක් දුන්නේ නැහැ. ඒ ගෙදරට ඇස්තමේන්තුවක් හදලා 2014 විතර බඩු මිළට. 2015 වගේ අළුත් රේට්ස් දාලාද කොහේද වන්දියක් අනුමත වෙලා තිබුණා. ඒකත් දෙන්නේ කොටස් වශයෙන්. වහලත් ගලවලා අයින් කරාට පස්සෙයි 100% වන්දිය ලබා දෙන්නේ..


ඉතින් ඔය දුක්බර දවස පහුගිය දාක අපේ පරණ ගෙදරටත් උදා වුණා. ඒ කිවුවේ වහල ගලවලා දාන්න වුණා. ඉතින් දැන් එතැන පස් ගොඩක් විතරයි..

                                          මෙන්න එතැන


ඉතින් අළුත් තැනට ලියුම් ගෙන්න ගන්න තැපැල් කන්තෝරු- බැංකු හැමතැනටම අම්මාට යන්න වුණා. "ඒක නෙමෙයි මේකයි දැන් ලිපිනය" කියමින් ලියුම් ලියාගෙන.

මට ඉහත සිදුවීමට අදාළ බැංකුවෙන්ම අම්මාටත් ඒ ප්‍රශ්නයම ඇවිත්. ලයිට්- වතුර බිල් අම්මා අරන් ගියත් එතැනත් ප්‍රශ්නයක් වෙලා. වරිපණම් අංක කලින් ලබා දීලා තිබිලා නැහැ. ලයිට්- වතුර දීලා තියෙන්නේ ඉඩම් ඛාණ්ඩයට.දැන් ලිපිනය තියෙන්නේ වරිපණම් අංකයට. බැංකුවෙන් ඔය ගැන අහලා. ආයතන වලින් දුර දිග නොබලා කරන දේවල් වලින් නිකන් ප්‍රශ්න ඇති වෙන්නේ අහිංසක මිනිස්සුන්ට.


ඔය මිනිස්සු, දීපු ඉඩම් වල පදිංචි වෙන කොට වරිපණම් අංකය මුලින්ම දුන්නා නම් ඔය දේවල් නැහැ නේ.

අනික එහෙම ලිපිනය මාරු කරද්දී අදාළ පුද්ගලයා නමට සාක්ෂි (ලයිට්-වතුර බිල් ) අහනවලු. එහෙම නම් එක ගෙදරකින් බැංකු පොතක් ගන්න පුළුවන් ගෘහ මූලිකයාට විතරයි. අම්මා ඇහුවලු එතකොට අළුතින් පොතක් ඕපන් කරනවා නම්.... කියලා

එතකොට අයිඩෙන්ටියේ තියන එඩ්‍රස් එකටලු ඕපන් කරන්නේ...

මේ සම්බන්ධව දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න...

* ගෑණු ළමයෙක්ට ඉපදෙද්දි බැංකු ගිණුමක් ඇරඹුවොත්.....

1. එයා ට විවාහයෙන් පසුව නව හැඳුනුම්පතක් ගත යුතුද...( සැමියාගේ ගමට ගිහින් ඒ බැංකුවකින් ගිණුමක් විවෘත කරන්න )
2. නැතිනම් මම දාලා තියනවා වගේ පස් ගොඩක් තියන තැනකට ඒ එඩ්‍රස් එක දානවද....


*තව සමහර බැංකු තියනවා වෙන ප්‍රදේශයකින් තව තැනකට එයාලගේ අකවුන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ නෑ. අදාළ ප්‍රදේශයෙන් අකවුන්ට් එක ඕපන් කරගෙන කලින් එකේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නම් කියනවා.

ඒ මදිවාට දැන් සල්ලි දාලා විතරක් මදි, ගන්නත් ඕනලු. නැත්නම් ඒකත් ක්‍රියාවිරහිතයි....


අනේ අපොයි හිඟන්නන්ගේ පාත්තරේටමයි හෙනහුරා කඩා පාත් වෙන්නෙත්.....

Sunday, June 11, 2017

අහිමි වී ගිය මිතුර...

අදින් හරියටම වසර 09 කට පෙර අද වගේ දවසක් උදා වුණේ නුඹේ මිතුරු හැම දෙනාගේම නෙත් කෙවෙණි තෙත් කරමින්. බලාපොරොත්තු එකින් එක එක් කරගෙන බලා ගෙන හිටියා නුඹ ඇඳෙන් නැගිටලා පුරුදු විධියට " කොහොමද මචං " කියලා කතා කරන තුරු. 

" දැන් ටිකක් ගුණයි"

"අද කෑම (ඝණ ආහාර ) දුන්නා"

අපිට අහන්න ලැබුණ බලාපොරොත්තු එක් කළ දේවල්...

2008 ජුනි මාසේ 06 වෙනිදා සමහර අයට විතරක් මතක ඇති. ඒ නපුරු ඛේදවාචකයෙන් විඳවපු අයට විතරක් මතක ඇති, අනිත් හැමෝටම නිකම්ම නිකන් අතීතයක් විතරක් වුණු එක්තරා දවසක් විතරයි. 

"මොරටු බස් බෝම්බය"

තවමත් මට අදහා ගන්නට බැරි -අමතක නොවෙන දුක්බර දවසක්

පුරා දින 05ක් සිහිසුන්ව සිටි බව...

සිහිය නො ලබා ම නො එනා ගමන් ගිය බව...
නුඹේ මවු දරා ගත නොහැකි දුක් කන්දක් පපුවේ හිර කරගෙන, හිස අතගාමින් නුඹේ කණට මුව තියාන පිරිත් කියූ බව....දන්නවාද යාළුවේ.

ඔවු 

සමහරවිට දන්නවා ඇති.
බලාන ඉන්න ඇති, අවකාශයේ සැරිසරමින්.....
නුඹ බනිනවා ඇති මට, ආවේ නෑ නුඹව බලන්න ස්පිරිතාලෙටවත් කියලා

දන්නවා නම් නුඹ, අනතුරට ලක් වුණ බව දැන ගත් මොහොතේ මහා හයියෙන් හඬමින් ගෙදර කල් ගත කළ හැටි...
මගේ අම්මා බය හින්දාමයි නුඹව බලන්න නො එව්වේ..
ඒක නුඹටත්, මටත් දෙදෙනාටම නොහොඳක් වේය බයට...

කෙල්ලෝ 05 ක්...
කණ්ඩායමේ හිටියා,
කඳුළු පුරවාන හඬන විට....
දකින අය නුඹ ගැන වැරදි වැටහීම් තියා ගනීය බය...

කවුරුත් නුඹව දැන ගෙන හිටියා හැම ගෙදරකම....
මොකද හැමෝම නුඹ ගැන කතා කළා..

යාළුවේ.... නුඹ හොඳ තැනක ඇති...

තෙරුවණ් සරණයි නුඹට..

(මං නිවන් සුව පතන්නේ නැහැ නුඹට ) සමාවෙන්න ඒ වෙනුවෙන්..