Sunday, October 1, 2017

ශලනි දසුන් සහ සන්දීපනී

       පහුගිය දින කීපය පුරාවටම මුහුණු පොතේ හැම තැනම වගේ දකින්න ලෑබුණේ මේ කාරණාව ගැන.එයින් හුඟාක්ම අය කතා කළේ ශලනි ගැන. මම කැමතියි ඇයට මේ ලිපිය දකින්න ලැබෙනවා නම්.. ඇයට මෙය දකින්නට හැකිවෙන්න මේ ලින්ක් එක යොමු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එය කරන්න.

        ගොසිප් සයිට් එකක මම දැක්කා ශලනිටත් සිය දිවි හානි කර ගන්නට හිතෙන තරමටම මානසිකව වට්ටවලා තියෙන බව.
    
             ඇත්ත. ඇය මහා විශාල ලෙස ඇද වැටෙන්න ඇති. ඒත්.. ශලනි මම ඔබට කියන්නේ හිත හයිය කර ගන්න .ඔයා දන්නවා ඔයාගේ ක්ෂේත්‍රයේ කොහොමද කට කතා හැදෙන්නේ කියලා. ඒවායින් හිත රිදෙනවා තමයි. මහාමෙරක් තරම් ආදරය කළ කෙනාගෙන් මේ සා විශාල හිත් රිදීමක්, මේ තරම් ලොකු බොරුවක් ඔයාට කරාවි කියලා කොහොමටවත් බලපොරොත්තු නො වෙන්නට ඇති.

          හැමදාම එකට ඉන්න මහා ප්‍රාර්තනාවන් හිතේ පුරව ගන්න ඇති. ආදරය එහෙමයි. හදිසියේම වගේ මහ මෙරක් තරම් ආදරය කළ කෙනා විවාහකයෙක් කියලා දැන ගත්තාම හිතට දැණෙන දුක දසුන් හිතන්න නැතුව ඇති. තමන් විවාහකයි කියලා ඔයාට නො කියන්න හිතුවේ ඔහුට ඔයාව නැති වෙයි කියන බයට වෙන්නත් ඇති.

           ඒත්... ඒ නිසාම ඔයාට "දසුන් ගේ අනියම් පෙම්වතිය " කියන හිත පාරවන වචන ටික අහන්නට වුණා.ඔයා වගේම දසුන් ගේ බිරිඳ සන්දීපනී (ගොසිප් සයිට් එකකින් නම හොයා ගත්තේ, සමහරවිට වැරදි ද දන්නේ නෑ) පවා දසුන් නිසා නොසෑහෙන්න හිතින් විඳවන්න ඇති. පාසල් කාලයේ පටන් අවුරුදු 13 ක ප්‍රේමයක්, විවාහ වෙලත් වසරක් ගෙවී යද්දී කෙළවර වෙන්න හදන කොට සන්දීපනී කොහොම දරා ගන්නද? ඇයත්, ඔබත් දෙදෙනාම ගැහැණු න්. රටේ ලෝකේ කොයි කවුරුත් ප්‍රේම සම්බන්ධ වලදී බනින්නේ ගැහැණුන්ට. පිරිමි සම්බන්ධතා 100ක් ඇති කර ගත්තත්, ඔහුගේ වරදක් දකින්නේ නැහැ. ඔහු මහා වීරයෙක්. කීමට කියන්නේ රස්තියාදු බසින් " ඌ ගෑණු 4 -5 ක් රන් කරනවා කිසි ගේමක් නැතුව " කියලා. හැබැයි කෙල්ලෙක් එහෙම වුණොත් ** බැ**, ගණිකාව, බඩුව... නො සෑහෙන්න නරක වචන... 

         තව ටික කාලයක් ගත වෙද්දී ඔය දේවල් මිනිස්සුන්ට අමතක වේවි. හැමෝටම ජීවිතේ දුෂ්කර කාලයන් එනවා. ඒ කාලය ගෙවී ගියාම ඔයා ගැන මිනිස්සුන්ගේ හිත්වල තියෙන කහට නැති වෙලා යාවි. කාලය ඔයා නිවැරදි පුද්ගලයෙක් කරාවි.

     දසුන් ට ඔහුගේ බිරිඳ අවසන් ගෞරව දක්වන පින්තූරයක් මුහුණු පොතට එක් කරලා සටහනක් යොදලා තිබුණේ " අවසාන මොහොතේ තනි රකින්න ඉන්නේ කසාද බිරිඳ මිස අනියම් පෙම්වතිය නොවේ " කියලා. ඒක දැක්ක වෙලාවේමයි මට හිතුණේ මේ ගැන ලියන්න.

        ශලනිට එතැන ඉන්න කොයි තරම් වුවමණා වුණත් මේ කට කතා නිසා ඇය කොහොමද ඉන්නේ කියන දේ මට හිතුණා. මේ වගේ දේවල් හුඟාක් ලියන්නේ පිරිමි අය. ඒ වගේම මේ වෙලාවේ ශලනි එක්ක සුන් ට අවසන් ගෞරව දක්වන්න කාවිංග ගිය බව ත් දැක්කා.

      ශලනි වගේම ශලනි නිවැරදි කියලා හිතන හැමෝම මේ වෙලාවේ කාවිංග ට ස්තුති කළ යුතුයි. ශලනිගේ තනියට ඇය ළඟ ඉන්නවාට. ඒත්.. මේ වෙලාවේ කාවිංග බොර දියේ මාළු බාන්න හදනවා නම් ඒක බොහොම නරකයි. මම හිතනවා අයියා කෙනෙක් විධියට ඔහු මේ වෙලාවේ ශලනි ළඟ ඉන්න ඇති කියලා, එයාටත් ඉන්නේ නංගි කෙනෙක් විතරයි නේ.

       කාලය ත් එක්ක ශලනිට තේරුම් ගන්න පුළුවන් වේවි කොහොම කෙනෙක්ද එයාට ගැලපෙන්නේ කියලා.දසුන් නිසා ශලනි හුඟක් ජීවිතේ තේරුම් ගනීවි කියලා හිතනවා, ආදරේ නාමෙන් බොරු කියන අය, ඇත්තම කියලා ජීවිතේට ළං වෙන්න හදන අය කවුද කියලා අත්දැකීමෙන් දැන ගනීවි.

         ඒ අත්දැකීම් කටුකයි. හුඟක් වේදනාකාරියි. ඒත්... දසුන් ජීවිතෙන්, ඒ ප්‍රශ්න වලින් පලා ගියා. ගැහැණු අපේ හිත් හයියයි කියන කාරණාව ලෝකෙටම පෙන්නන්න. ශලනි වගේම සන්දීපනීටත් මේ කියපු දේ අදාළයි.