Sunday, June 2, 2013

එහෙන් මෙහෙන්.....


     වෙනදා වගේම වැඩ ඉවර වෙලා මෙට්‍රෝ එකෙන් බැස්සා union එකෙන්.අප්පා... රස්නේ කාලේ පටන් අරන් නේ.ඒත් ඉතින් මොනවා කරන්නද? ගෙදර නොගිහින් ඉන්නද.බැහැනේ.

           හැමදාම වගේ හිතට නැඟෙන සිතුවිල්ල හිත ඇතුළේම හංගා ගෙන පයින්ම යන්න පටන් ගත්තා al-baraha අපේ පුංචි ගේ පොඩිත්ත හොයා ගෙන. Union ඉඳන් පයින් ගෙදර එන්න පටන් අරන් දැන් අවුරුදු 2කට කිට්ටුයි. කොටින්ම කිවුවොත් රස්සාවට ගිය දවසේ පටන්ම තමා.මුල් දවස් වල විනාඩි 20-25 අතරේ කාලයක් ඇතුළත ගෙදරට එන්න පුළුවන් වුණත්, දැන් නම් ආසාවටවත් ඒ කාලය ඇතුළත ගෙදරට යන්න බෑ.එකක් තමා එළියේ තියන රස්නය නිසා මගේ ගමන් වේගය අඩු වීම.අනික තමා ස්ටේෂන් එකෙන් එළියට එද්දිම හිතට දැනෙන දේ.ඒ කිවුවේ "අපෝ...දැන් ඉතින් පයින් යන්න ඕන නේ..."කියන මන්දෝත්සාහී හැඟීම.දැන් අනිවාර්යයෙන්ම පැය භාගයකට වඩා යනවා යනවා මයි.

                  ඔන්න ඔය වගේ මන්දගාමී ගමනින් ඊයේ වැඩ ඉවර වෙලා පයින් ගෙදර යන අතරතුරේ සිග්නල් එකක් ළඟදී නිළ ඇඳුමක් ඇඳලා ගියා කෙනෙක්. නිළ ඇඳුමේ විධියට නම් ඔහු Driving School එකේ instructor කෙනෙක්.ඒ නිළ ඇඳුමේ තියෙනවා ඊටම අදාලව බෙල්ට් එකක්.සමහරවිට ඒක ලොක් කරන්න ඕන එකක් වගේ වෙන්න  ඇති.අර මනුස්සයත් වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් බෙල්ට් එකත් ගලවාගෙන.ටිකක් මහත කෙනෙක් නිසා බෙල්ට් එක නිකම්ම ගැලවිලද දන්නෙත් නැහැ.ඒත් ඉතින් ඒක දැක්කාම මගේ මුවට සිනහවක් නැංවුණේ නිතැතින්මයි.

                  හිතනවා ඇති නේද ඇයි ඒ කියලා.එහෙනම් ඉතිරි ටිකත් කියවාගෙනම එන්නකෝ.

                         මුවට නැංවුණු සිනාවත් හා සමඟම ක්‍ෂණයකින් සිහියට ආවේ මගේ පාසල් සමය.ඒ මීට වසර ගණනාවකට පෙර බව සැබෑව.කුඩා දැරියකව සිටියදී මවු තුරුලේ හිඳිමින් පාසල් මවුන් හමුවට යා නොහැකි වුණත්,උසස් පෙළ පන්තියට ආවේ පවුලේ ඇත්තන් අතරේම හිඳිමින්.සාමාන්‍ය පෙළ කළාට පසුව වෙනත් පාසලකට ගිය නිසා නෙමෙයි.බාල නැගණිය නිසාවෙන් අම්මාටත් පාසල අසල නිවසක් බදු අර ගෙන ඉන්න වුන නිසා.ඉතින් පාසල් ගේට්ටුවෙන් එළියට බැස්ස ගමන්ම,ගෙදර දුවන්නේ නැතත් ගෙදරට ඇතුල් වෙන්නත් කලින්ම යුනිෆෝම් එකේ බෙල්ට් එක ගලවන එක තමා කරන්නේ. සමහර විට මඟදීම.හරියට ඒක තමයි ලොකුම කරදරය වගේ.

                   ඊට පස්සේ සපත්තු දෙක අව්වෙම ගලවලා දාලා කකුල් දෙක පිච්චි පිච්චි ගෙට දුව ගෙන එනවා.මොකද අපි හිටිය ගෙදර මිදුල වගේ තිබුණේ ඊට පහළ ගෙදර වහල.ඉතින් කොන්ක්‍රීට් එක දවල් 2.00 විතර වෙද්දී කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

                  සමහර දාට යුනිෆෝම් එක පිටින්ම දවල් කෑම එක ගිල දාලා ඊට පස්සේ තමයි නිදහසේ ඇඳුම් මාරු කරන්නේ.

               අතීත මතක අතරේ සැරි සරද්දී දන්නෙම නැතුව ගෙදරටම ඇවිත්. හ්ම්... ආයෙමත් පුරුදු ජීවිතය.රෑට ඉවීම.කෑම.වලං-පිඟන් සේදීම. නින්ද. පහුවදා උදේ ආයෙමත් කාර්යාල පැය 8.නැවත නිවස. ඉවුම්-පිහුම්,අස්  කිරීම්,පිරිසිදු කිරීම් හා පිරිසිදු වීම්.........







3 comments:

  1. අතිත මතකයත් එක්ක වත්මන් දිවියේ ඒකාකාරි බව මැනවින් පසක් වුණා.

    ReplyDelete
  2. අපිට කොයින්ද බෙල්ට් ශර්ට් එක ඉස්කෝලෙදිම ගලෝගෙන තමයි එන්නෙ

    ===================================
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.බාලිකාවන්ට විතරනේ පාසල් නිල ඇඳුමේ බෙල්ට් එකක් තියෙන්නේ....

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...