Monday, September 30, 2019

මුහුණු පොතේ වික්‍රමය

   මුහුණු පොත.. එහෙමත් නැත්නම් දන්න භාෂාවෙන් කිව්වොත් facebook යනු කාලය කා දමන්නට බිහිවුණු කරුමයක් ලෙස බහුතරයක් වැඩිහිටි මතයයි. ඉන් තරුණ තරුණියන් වැනසී යනු ඇති බවට නිරන්තරයෙන්ම චෝදනා නැගේ.

අසන්නට දකින්නට ලැබෙන දේ අනුව එහි වරදක් නැත්තේමද නොවේ... එනමුදු මෙය ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවකි.

දිනය       : 2019 සැප්තැම්බර් 08 වන ඉරු දින
ස්ථානය  : බත්තරමුල්ල  අවකාශ ශාලාව 
නිමිත්ත  : මුහුණු පොතේ අකුරු අමුණන 24                      දෙනෙකුගේ කතා එක් කොට                            බිහිවුණු " සංකලන නව්‍ය කෙටිකතා                   "  පොත දොරට වැඩුම

එකිනෙකා නාඳුනන අය එකා දෙන්නා අදාළ ස්ථානයට ඇදෙමින් සිටී... අළුතින් එන තැනැත්තා තමා කවරෙක්දැයි අනෙක් අයට හඳුන්වා දෙයි. එය සැබෑවටම උප්පැන්නයේ සඳහන් නම නොවේ... එදින සැබෑ නමින් සැඟවී මුහුණු පොතේ ආරූඪ නම් වලින් ලියු බහුතරයකගේ වෙස් මුහුණු ගැලවුණු දිනයක් විය. මුහුණු පොතේ බෙහෙවින්ම ජනප්‍රිය කතා ලියන්නන්, ලියන්නියන් ආරාධනා ලැබ පැමිණි අය අතර වූහ. එසේම facebook හි page admin වරු කිහිප දෙනෙකුද ඒ අතර වූහ.

එදින උදයේ පටන් උත්සවය වෙනුවෙන් එකිනෙකා මුණ නොගැසී ඒ මොහොතේ ම දැන හඳුනා ගත්, එක පොතක ලේඛකයන් ලෙස රොද බැඳුණු සියල්ලෝ ලහි ලහියේ සූදානම් වූහ. කිහිප දෙනෙක් පොල්තෙල් පහන සැකසූහ. තවත් අය සංග්‍රහ කටයුතු වෙනුවෙන් වෙන් වූහ. ස්වාමීන් වහන්සේ වැඩම කරවීමට යාමට තවත් අයෙකුට සිදු විය.

එහා මෙහා යමින් ,එක් එක් රාජකාරීන්හි නිරත වූ "සංකලන"යෝ ස්වාමීන් වහන්සේ ගේ වැඩමවීමෙන් පසු අවකාශ ශාලාව තුළට රොක් වූයේ උත්සවයේ කටයුතු ඇරඹෙන බව දන්නා බැවිනි .

මේ සියල්ලෙහිම මූලාරම්භකයා දෝනා ත්‍රිමා නම් වූ අන්වර්ථ නාමය හිමි සොඳුරු හදවතකි.

මාස නවයක කාලයක් පුරා පෙරුම් පුරමින් බිහි වූ සංකලන ළදරුවාගේ දොරට වැඩුම දෙස පොතට හිතැති බොහෝ දෙනෙක් නොඉවසිලිමත් දෙනෙතින් බලා සිටියහ.

කුළුඳුල් පොතේ දොරට වැඩුම වෙනුවෙන් ඒ අළුත් සුවඳ විඳිමින් පොත අතට ගන්නට, පොත පෙරළා කියවන්නට සංකලනයෝම බලා සිටියහ. තමා හැර තවත් 23 දෙනෙකුගේ අකුරු මුසු වූ සුන්දර "සංකලන" කියවන්නට නොඉවසිලිමත් වූහ.




අති සුන්දර පොල්තෙල් පහනේ තිර දැල්වෙමින් අවකාශ ශාලාවේ සංකලනය කළඑළි දැක්විණ.

සංකලන වෙනුවෙන් බොහෝ වෙහෙස වූ ඉරංගි ජයවර්ධන පිළිගැනීමේ කතාව කරමින් සංකලනය ඇරඹුවාය.

කෙටිකතාවක් ලිවිය යුතු අයුරු කියවෙන අපූරු දේශනයක් දිලීප ජයකොඩි මහතාගෙන් ඉදිරිපත් වූයේ ලේඛන කලාවේ අංකුරයන්ට මහා දිරියක් වෙමිනි.

සිසිර යාපා මහතාද අනගි දේශනයක් කරමින් සංකලනය සුවඳවත් කළේය.

සැඟවී හුන් මුහුණු පොතේ සුන්දර ලියන්නියන් ද වේදිකාවට ගොඩ නැඟුණද , සැඟවී සිටීමටම රිසි බැවින් නම සඳහන් කිරීමෙන් වැළකෙමි.

පුරා පැය දෙකකට ආසන්න කාලයක් තුළ උත්සවය පැවැති අතර සඳලි අනුත්තරා ස්තුති කතාව ඉදිරිපත් කළාය. එමෙන්ම වික්ටෝරියා ස්වීනිගේ හඬද වේදිකාව මත කිංකිණි නඟනු ඇසිණ.

නිවේදක කටයුතු කළ ලක්ශ්‍රී රත්නායක මෙන්ම , සංකලන වෙනුවෙන් වෙහෙසුණු තිළිණ විරාජ් දෙදෙනාද සිහි කළ යුතුමය.


විශේෂයෙන්ම මුහුණු පොත දෙස වපර ඇසින් බලන වැඩිහිටියන්ට මුහුණු පොතෙහි මෙවන් වූ මනු ගුණ පිරි බෝසත් මිතුරන්ද සිටින බව සිහිපත් කරමින් සංකලන ඔබට පුද කරමු...







Tuesday, August 27, 2019

නිවාඩු දවසක....

ස්කෝලේ 9 වසරේ ඉන්න කාලේ වෙච්චි සිදුවීමක් කාලෙකට පස්සේ ගොඩ වැදුණු මගේ බ්ලොග් එකෙන් කියවන ඇත්තන්ට ඉඩක් දෙන්න හිතුවා. හොස්ටල් ජීවිතේ ගෙවෙද්දී 9 වසරට හිමි වෙලා තිබුණේ  'සේපාලි' නම් ලැබුණු මරු කටේ තිබුණු ඩෝමෙට්‍රි එක. මරු කටේ කිව්වේ මේට්‍රන්ගේ ඇස් -කන් මානයේම ඉන්න සිද්ධ වීම නිසා.

එහෙම වුණා කියලා කෙරෙන්න ඕන විසේකාර කම් වල අඩුවක් නම් තිබුණේ නැහැ.

මේ කියන්න යන්නෙත් ඒ වගේ දවසක් ගැන.
සති අන්තය කියන්නේ හොස්ටල් ජීවිතේ කාල සටහනින් ටිකක් විතර බැහැරට යන්න පුළුවන් දෙදවසක්. සාමාන්‍යයෙන් 

උදේ 5.00 - අවදි වීම 
උදේ 6.00- පාඩම් කිරීම 
උදේ 7.00- උදෑසන ආහාරය 
උදේ 7.15- පාසල වෙත....

.
.
.
.
.
ඊට පස්සේ පාසල් කාලසටහන.පාසල නිම වුණාම 

දිවා ආහාරය, තේ පානය, ක්‍රීඩා....බුදුන් වැඳීම ....ඔය වගේ රෑ නින්දට යන්න කළින් පිරිත් කියන්න පවා වෙලාවක් වෙන් කරලා තියෙනවා.

නිවාඩු දවසට උදේ 5.00ට නැගිටින එක නම් කරන්නෙම නෑ වගේ.හැබැයි 11 වසරේ අක්කලා නම් උදේ පාඩම් කරන්න අවදි වෙනවා.සමහරු උදේම නාන්න යනවා අනිත් අය අවදි වෙන්න කලින්. නාන්න හැමදාම අවස්ථාව ලැබෙන්නේ නැහැ.6 වසරේ ඉඳන් 11 වසර වෙන තුරුම හැම ඩෝමෙට්‍රියකම ළමයි 20-25-30 වගේ ඉන්නවා. හැම අවුරුද්දෙම ශිෂ්‍යත්ව ළමයි එනකොට 40කට වඩා එනවා. ටික දවසක් යද්දී 20කට විතර අඩු වෙනවා.ඉතින් ටැප් 2ක් වගේ තමයි මුලින් තිබුණේ. පස්සේ කාලෙක බාත් රූම් 1ක් හැදුවා. ඒත් ඉතින් 7-8 දෙනෙකුට නාන්න බෑ එක සැරේට.වතුර හෙමින් එන්නේ.අර ටැප් 2 තියෙන කාලේ 4 දෙනෙක් නාන්න යනවා,දෙන්නා බැගින්. ඉක්මණට නාලා ඉවර වෙද්දීම ඊළඟ දෙන්නා යනවා. එතැන හිස් වුණොත් කවුරු හරි පැන ගන්නවා. ඉතින් යුද්දේ 

ඔන්න කියන්න ගිය කතාවෙන් පිට පැන්නා නේ.

ගයානි තමයි අපේ ඩෝම් එකේ පැරණිම සාමාජිකාව.ඒ ගෞරවයට එයාට පළමු ඇඳ දීලා තියෙන්නේ.සාමාන්‍යයෙන් කෙනෙක් ආපු ගමන් එයාව පේන්නේ නෑ. දොර ඇරලා තියෙද්දී දොරට ටිකක් කවර් වෙලා හින්දා.

ඉතින් මෙන්න මේ කියන දවසේ අපි කවුරුත් වගේ උදේ අවදි වෙලා.. එතකොට ත් වෙලාව උදේ නමයටත් කිට්ටුයි වගේ... හොස්ටල් මේට්‍රන් මිස් ඩෝමෙට්‍රි ගානේ එනවා වෙනදාට නම්... ඒත් එදා මොනවා හරි හේතුවක් නිසා නෑ.... 

" ගයානි... නැගිටින්න .. ඔන්න මිස් එනවා...." කියලා මොනවා කිව්වත් මෙයා නෙමේ අවදි වෙන්නේ... 
මිස් එන්නෙත් නැති එකේ කරමුද වැඩක් කියලා හොරෙන් හොරෙන් කතා වුණා ... හොරෙන් කතා වෙන්න දේකුත් නෑ... මේ නිදාගෙන ඉන්න හැටියට එකෙක් මළා කිව්වත් මෙයා නම් නැගිටින පාටක් නෑ... 

කතා කර ගත් විදියට අපි හතර දෙනෙක් ආවෙ ගයානිගෙ ඇඳ වට කරන්න... 

හතර කොණෙන් අල්ලලා උස්සන්න බැලුවේ මෙට්ටය ... අපෝ... මේක හතර දෙනෙකුට උස්සන්න බෑ... මේකි එක්ක නම්... හෙමින් ටිකක් ඇද්දා... තව දෙන්නෙක් සෙට් කරගෙන හෙමි     හෙමින් ඩෝමෙට්‍රි එකෙන් එළියට ආවෙ කතා කරගත්ත විදියට . දොර ළඟම නිසා ගොඩක් දුර අරගෙන එන්න ඕනත් නැහැ නේ... යන්තමට පොළවේ ගෑවී නොගෑවී මෙට්ටය පිටින්ම ගෙනත් දැම්මේ කොරිඩෝවට.

අපේ නමය වසර ඩෝමෙට්‍රි එකට ආසන්නවම ප්‍රති විරුද්ධ පැත්තෙ තියෙන්නෙ එකොළහ වසර. සමාන්තරව තියෙනවා හය වසර. එකොළහ වසරට සමාන්තරව අට වසරත්, කොණේම හත වසරත් විදියට තමා උඩ තට්ටුවේ ඩෝමෙට්‍රි තිබුණේ ... පහළ දහය වසර...

ඔන්න දැන් එළියට එන එක එක්කෙනා හිනා වෙවී ඇතුළට යනවා.. ආයෙ තව කවුරු හරි දෙතුන් දෙනෙක් එක්ක එනවා. අපි මේ මජර නසරානි වැඩේ කරලා හෙමිහිට ඩෝමෙට්‍රි එක ඇතුළට වෙලා හිටියේ ... 

ටික වෙලාවක් යද්දි කොරිඩෝ එකේ කීපදෙනෙක්ම හිනා    වෙන සද්දෙ ඇහෙනවා... මේ හිනාවට වෙන්න ඕන ගයානි අවදි වුණා... ඇඳේ වගේ නෙමෙයි බිම නිසා වෙන්නත් ඇති ....

වටපිට බලද්දි කීප දෙනෙක් වට වෙලා... ලැජ්ජාව .....

ඇස් ඇරෙන්නෙත් හෙමින් .. ඇයි ඉතින් කන ළඟ බෙර ගැහුවත් අවදි නොවුණට පරිසර තත්ත්වය වෙනස් වෙලා නේ.. ඒකත් හේතුවක් වෙන්න ඇති ....

මෙට්ටෙත් එළියේ.. කොරිඩෝවේ... හැමෝටම බැන බැන ඇතුළට ආවේ... 

අනේ ඉතින් මේ නසරානි වැඩේ කරේ කවුද කියලා කොහෙන් හොයන්නද.... කතා කරේ නෑ හැමෝම එක්ක ... ඒත් ඒක ටික වෙලාවයි... තරහා වෙලා හිටියට හරි යන්නෙ නැහැනේ ....

ඔක්කොම තරහා අමතක කරලා ආයෙම යාළු වුණා...

අද ඉන්නෙ කොහේද කියලා වත් දන්නෙ නෑ ... මේක දැක්කොත් බනින්නේ නැතුව කතා කරන්න කෝ