Saturday, September 17, 2016

දැන් හැදෙන උන් සහ අපට අමතක අපේ බාලේ...

අවසාන වතාවට බ්ලොග් එකට ගොඩ වැදුණේ කවදාද කියලා මටවත් මතකයක් නැහැ. ඒත්...හදිසියෙම වගේ මතක් වුණා මටත් බ්ලොග් එකක් කියලා එකක් තිබුණ බව. දැන් ඒකේ දූවිලි වැදිලා, මකුණු දැල් බැඳිලා ඇති ටිකක් බලන්න ඕන කියලා හිතුණා.

කම්පියුටරේ ළඟට ආවාම මට ඒකට කිසිම අයිතිවාසිකමක් නැහැ වගේ. සිංදු බලන්න ඕන, වීඩියෝ බලන්න ඕන කිය කියා මගේ පුංචි කෙල්ල ඒක අයිති කර ගෙන. අඩු තරමේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවත් දෙන්නේ නැහැ.ඒකටත් එයාගෙන් අවසර ඕන. "මං මේක බලලා දෙන්නම්" කියලා එයාගේ වීඩියෝ බලනවා අල්ලන්නවත් දෙන්නේ නැහැ. ටිකක් සැර කරන්නම ඕන ඒක ගන්න නම්.

එයාට දැන් අවුරුදු දෙකහමාරක්. ඇහෙන දකින දේ හරි  ඉක්මණට ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි කියන කතා. 

ඔක්කොටම හපන් කෑම කවන එක.එයාගේ පිඟාන අරන් හැම තැනම දුවන්න ඕන එයා පස්සේ. පැය එකහමාරක්- දෙකක් විතර.මම කාලා හිටියේ නැත්නම් එයාට කවලා ඉවර වෙද්දි මට කෑම එපා වෙලා.

කියවන කවුරුහරි ඉන්නවා නම් ප්‍රායෝගික අදහසක් ඉදිරිපත් කරන්නකෝ මේ පොඩ්ඩන්ට කෑම ටික කවන්න පුළුවන් විධියක් ගැන.

හැමදාම වගේ කෙල්ල මගෙන් ගුටි කනවා කෑම කන්න ගිහින්. කෝටුවට බයට මුලින් කෑවා. පස්සේ ගුටියක් ලැබෙන්නම ඕන බත් කටට ගන්න. අඬලා තමයි කන්නේ, බලෙන් වගේ.

ගහන්න දුකයි තමයි, ඒත්.. කෑම ටික කවා ගන්න ඕන නිසා කොච්චර දුක වුණත් ගහන්න කෝටුවට අත යනවා.

"අපෝ දැන් හැදෙන උන් නම්....." හැම කාලෙකම වැඩිහිටියෝ පොඩ්ඩන් ගැන එහෙම කියන්න ඇති. අපේ ආච්චි-සීයලා අපේ අම්මා-තාත්තලාට, අම්මා-තාත්තා අපට, අපි අපේ පොඩ්ඩන්ට...අපේ පොඩ්ඩොත් කවදා හරි අම්මා තාත්තලා වුණු කාලෙක එයාලගේ දරුවන්ට..

[මේ පුංචි වීඩියෝවේ ඉන්නේ මගේ චූටි කෙල්ල]



ටිකක් නිදා ගන්න වෙලාව තමයි කම්පියුටරයට මට අයිතිය ලැබෙන වෙලාව. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නයි මම මේ අකුරු ටික කොටන්න ගත්තේ.

අපේ අම්මලාට අපිව ලොකු මහත් කරන්න තවත් වැඩිහිටි අයගේ සහාය ලැබුණා අඩුවක් නැතුව. පුංචි අම්මලා- මාමලා හිටියා උදවුවට. ඒ කාලේ අපි වුණත් අම්මා පස්සේ ම දිවුවේ නැහැ, මගේ මතකයේ තරමට නම්. දැන් මගේ කෙල්ල සැරින් සැරේ දුවගෙන එනවා හොයා ගෙන, කාත් එක්කවත් ඉන්නේ නැහැ.

කෙටියෙන්ම කිවුවොත් නාන්න-මූණ හෝදන්න වෙන්නෙත් එයා ඒ දේට සූදානම් වුණාම තමයි. හදිසි අවශ්‍යතාවයකට දුව ගෙන ආවත් " මාත් එනවා " කියාගෙන එනවා, දොර වහ ගත්තම එළියට එනතුරුම දොරට ගහනවා.

" හප්පා.... දැන් හැදෙන ළමයි..."