Saturday, September 17, 2016

දැන් හැදෙන උන් සහ අපට අමතක අපේ බාලේ...

අවසාන වතාවට බ්ලොග් එකට ගොඩ වැදුණේ කවදාද කියලා මටවත් මතකයක් නැහැ. ඒත්...හදිසියෙම වගේ මතක් වුණා මටත් බ්ලොග් එකක් කියලා එකක් තිබුණ බව. දැන් ඒකේ දූවිලි වැදිලා, මකුණු දැල් බැඳිලා ඇති ටිකක් බලන්න ඕන කියලා හිතුණා.

කම්පියුටරේ ළඟට ආවාම මට ඒකට කිසිම අයිතිවාසිකමක් නැහැ වගේ. සිංදු බලන්න ඕන, වීඩියෝ බලන්න ඕන කිය කියා මගේ පුංචි කෙල්ල ඒක අයිති කර ගෙන. අඩු තරමේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවත් දෙන්නේ නැහැ.ඒකටත් එයාගෙන් අවසර ඕන. "මං මේක බලලා දෙන්නම්" කියලා එයාගේ වීඩියෝ බලනවා අල්ලන්නවත් දෙන්නේ නැහැ. ටිකක් සැර කරන්නම ඕන ඒක ගන්න නම්.

එයාට දැන් අවුරුදු දෙකහමාරක්. ඇහෙන දකින දේ හරි  ඉක්මණට ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි කියන කතා. 

ඔක්කොටම හපන් කෑම කවන එක.එයාගේ පිඟාන අරන් හැම තැනම දුවන්න ඕන එයා පස්සේ. පැය එකහමාරක්- දෙකක් විතර.මම කාලා හිටියේ නැත්නම් එයාට කවලා ඉවර වෙද්දි මට කෑම එපා වෙලා.

කියවන කවුරුහරි ඉන්නවා නම් ප්‍රායෝගික අදහසක් ඉදිරිපත් කරන්නකෝ මේ පොඩ්ඩන්ට කෑම ටික කවන්න පුළුවන් විධියක් ගැන.

හැමදාම වගේ කෙල්ල මගෙන් ගුටි කනවා කෑම කන්න ගිහින්. කෝටුවට බයට මුලින් කෑවා. පස්සේ ගුටියක් ලැබෙන්නම ඕන බත් කටට ගන්න. අඬලා තමයි කන්නේ, බලෙන් වගේ.

ගහන්න දුකයි තමයි, ඒත්.. කෑම ටික කවා ගන්න ඕන නිසා කොච්චර දුක වුණත් ගහන්න කෝටුවට අත යනවා.

"අපෝ දැන් හැදෙන උන් නම්....." හැම කාලෙකම වැඩිහිටියෝ පොඩ්ඩන් ගැන එහෙම කියන්න ඇති. අපේ ආච්චි-සීයලා අපේ අම්මා-තාත්තලාට, අම්මා-තාත්තා අපට, අපි අපේ පොඩ්ඩන්ට...අපේ පොඩ්ඩොත් කවදා හරි අම්මා තාත්තලා වුණු කාලෙක එයාලගේ දරුවන්ට..

[මේ පුංචි වීඩියෝවේ ඉන්නේ මගේ චූටි කෙල්ල]




ටිකක් නිදා ගන්න වෙලාව තමයි කම්පියුටරයට මට අයිතිය ලැබෙන වෙලාව. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නයි මම මේ අකුරු ටික කොටන්න ගත්තේ.

අපේ අම්මලාට අපිව ලොකු මහත් කරන්න තවත් වැඩිහිටි අයගේ සහාය ලැබුණා අඩුවක් නැතුව. පුංචි අම්මලා- මාමලා හිටියා උදවුවට. ඒ කාලේ අපි වුණත් අම්මා පස්සේ ම දිවුවේ නැහැ, මගේ මතකයේ තරමට නම්. දැන් මගේ කෙල්ල සැරින් සැරේ දුවගෙන එනවා හොයා ගෙන, කාත් එක්කවත් ඉන්නේ නැහැ.

කෙටියෙන්ම කිවුවොත් නාන්න-මූණ හෝදන්න වෙන්නෙත් එයා ඒ දේට සූදානම් වුණාම තමයි. හදිසි අවශ්‍යතාවයකට දුව ගෙන ආවත් " මාත් එනවා " කියාගෙන එනවා, දොර වහ ගත්තම එළියට එනතුරුම දොරට ගහනවා.

" හප්පා.... දැන් හැදෙන ළමයි..."


13 comments:

  1. ළමයින්ට කවන්න දගලනන් එපා කියලයි ඩොක්ටර්ලනම් කියන්නේ.. උන්ට බඩගිනිනම් කයි කියලා තමා කියන්නේ...

    ඔය "දැන් හැදෙන ළමයි" කියලා පුශුම වෙන්නේ, අපි එද හැදිච්ච ළමයි කරපු කියපු දේවල් අපිට අමතක නිසා...

    ReplyDelete
  2. "අපෝ දැන් හැදෙන උන් නම්....." හැම කාලෙකම වැඩිහිටියෝ පොඩ්ඩන් ගැන එහෙම කියන්න ඇති. අපේ ආච්චි-සීයලා අපේ අම්මා-තාත්තලාට, අම්මා-තාත්තා අපට, අපි අපේ පොඩ්ඩන්ට...අපේ පොඩ්ඩොත් කවදා හරි අම්මා තාත්තලා වුණු කාලෙක එයාලගේ දරුවන්ට..

    ReplyDelete
  3. බට්ටි, මුලින්ම කෑම කවන වෙලාව විනාඩි 15- 30 අතටර අඩු කරන්න. එක තැනක ඉඳන් කවන්න මොකක් හරි ක්‍රමයක් ( සින්දු , විඩියො බලන්න දෙන්න කැම කන විට. ඒක කරන්න එක බත් කටක් කෑවම විඩියෝ එක පටන් ගන්න විදිහට, අනිත් කට දෙන්න කලින් විඩියෝ එක ස්ටොප් කරන්න. ) හදා ගන්න. දුව දුව කවන වැඩේ වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තලා දාන්න.. ඔය දූ සිඟිත්ත නිතර ඉල්ලන පාලනය කල යුතු දේවල් යොදා ගන්න කෑම කෑවොත් දෙන පොඩි අල්ලසක් විදිහට.. හැබැයි ඔය අල්ලසට වඩා කෑම වල රසයි බඩගින්නයි එයාට දැනෙන්න වග බලා ගන්න...

    දූ ආසම කෑම වර්ග හොයා ගන්න, විනාඩි 15 - 20 ක් අතර කන ප්‍රමානේ පොඩ්ඩ උනත් නවත්තලා ආපහු බඩගිනි වෙන වෙලාව බලලා දෙන්න. තුන් වේලට අමතරව දෙන අනන් මනන් සම්පූර්ණයෙන් නැවැත්තුවොත් බඩගිනි දැනෙන කොට කන්න හුරු වේවී...

    ReplyDelete
    Replies
    1. රෑට නම් වීඩියෝ හරි සිංදුවක් හරි දාලා දීලා කවනවා ඔයා කිවුවා වගේ ඊළඟ කට ගන්න කට අරින තුරු වීඩියෝ ස්ටොප් කරලා. සමහර වෙලාවට ඒ දේ ගැන තඹයකටවත් මායිම් නො කර එයා මාරු වෙලා යනවා.

      Delete
    2. බට්ටි ඔයාගේ හිතේ ප්‍රශ්නේ මට ගොඩක් හොඳින් තේරෙනවා.. මගේ පුතා මාස 8ක් වෙන්කන් දෙන දෙන දේ කැව බබෙක්.. ඒ උනාට අපි එයාවත් අරන් ඔසී ආව දා ඉඳලා එයා කිසිම දෙයක් කෑවේ නැ.. මෙහෙ තියන සේලයින් වගෙ වතුර ජාතියකුයි , පලතුරු ටිකකුයි විතරයි කැවෙ මාස ගානක් හෙම නෙමේ අවුරුද්දක්ම..

      මෙහෙ කොහොමත් කෑම ගැන ඒ තරන් පන්නනේ නැ..කිව්වේම එයාට බඩගිනි උනාම කයි , බල කරන්න එපා කියන එක.. කැමති දේවල් දීල හිමින් පුරුදු කරන්න කියලා.. ඔයාට වගේම මටත් ලොකු බයක් තිබ්බා එහෙම කරන්න ගිහින් පුතා ලෙඩ වෙයි.. නිරෝගීව හැදෙන එකක් නැ කියලා. ඒත් බට්ටි ඒ කියන ක්‍රමේ හරි.. පස්සෙන් පන්නල අපි පෝෂනය ඕන කියල කවන්න ගියොත් දරුව දිගින් දිගටම කෑම ප්‍රතිශේප කරන්න පෙළබෙනවා.

      ඒ නිසා කන දෙයක් දීල අතරින් පතර තුන් වේල බත් එක්ක සමබර පෝෂනයක් එන්න ටික ටික කවන්න පොඩි ප්ලැන් එකක් හදා ගන්න මාස 6කට වගේ..දියර ජාති තුන් වෙල කිට්ටුව දෙන්න එපා..බඩගින්න කියන දේ නොදැනෙන්න අපි එයාලට කැම දෙන නිසයි තේරුන් ගන්න අමාරු .. කන්න ඕන කියන එක.. එක හිමින් හිමින් තේරුන් ගන්න දෙන්න..

      මං මේ කිව්වෙ මගෙ ඇත්තම අත්දැකීම. අද මගෙ පුතාට අවුරුදු 5යි.. එයාට දැන් බඩගිනි දැනෙනවා .. එතකොට ඉල්ලන කන් මම ඉන්නවා. ලැබුන උපදෙස් අනූව අමතර කැම ජාති ගොඩක් අඩු කරලයි මේ විදිහට හදාගත්තේ..

      Delete
    3. නාට්‍යයක් වගේ රඟපාලා කවන එකටත් හරි ආසයි .. කුරුල්ලො වගේ පුංචි පුංචි බත් ගුලි හදලා ඔන්න කුරුල්ලෙක් එනවා කට අරින්න වගේ.. මොනවා උනත් එක තැනක තියාගෙන කවන්න..

      Delete
    4. ආයෙම උත්සාහ කරන්නම් ඔයා කියන දේවල්. ඔයාට බොහොම ස්තුතියි

      Delete
  4. ඉතාම පොඩි කාලෙකින් ඉගිල්ලිලා යයි. එතකොට හිතෙයි මොන වද දිදී හරි හිටියනන් කියලා, එතකොට තමයි අද තරවටු කරපුවට දුක හිතෙන්නෙ. ඔය කෑම ටිකක් අඩුවෙන් කෑව කියල ළමයට වෙන ප්‍රශ්ණයක් නැහැ. එයා කැමති පළතුරු බීම, අයිස්ක්‍රීම්, චොකලට් කියන්නෙත් කෑමම තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මලාට එහෙම හිතන්න බෑ ඉයන්. හැම කෑමක්ම හැදෙන දරුවෙකුට කෑම ම නෙමෙයි.

      Delete
  5. නැවතත් දකින්නට ලැබීම සතුටක්...

    ReplyDelete
  6. නැවතත් දකින්නට ලැබීම සතුටක්...

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...