Sunday, December 30, 2012

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ............2

පළමු කොටස මෙතැනින්


                             රාධිත් මාත් අපි දෙන්නාම බලා ගෙන හිටියා කොයියම්ම මොහොතක අපේ ගෙවල් වලිනුත් අපිව එක්ක ගෙන යන්න ඒවි කියලා. රාධි නම් කොහොමත් වාර අවසාන නිවාඩුවට විතරයි ගෙදර ගියේ. අතර මැද නිවාඩුවලට එයා ගියේ ලොකු තාත්තාගේ ගෙදර. මොකද දවසක්ම ගෙදර යන්න ගත වෙන නිසා දවස් 2-3ක නිවාඩුවකට එයා ගෙදර ගියා කියලා වැඩක් නෑ මගටම කාලය ඉවරයි නේ.

                      අම්මා එන එකක් නෑ දැන් නම් කියලා උඩු හිත කිවුවත් යටි හිත පිළි ගන්න සූදානමක් තිබුණේ නැහැ ඒ වගක්. ඉතින් 4.30- 5.00-5.30 බලා ගෙන හිටියා. මේට්‍රන් මිස්ටත් දැන් බලා ඉඳලා ඇති වෙලා. මිස්ට ගෙදර යන්න විධියක් නැහැ නේ අපි දෙන්නා ඉන්න නිසා.අන්තිමේ මිස් තීරණය කළා අපි දෙන්නාවත් මිස් ගේ ගෙදර එක්ක ගෙන යන්න. අපි දෙන්නා විතරක් නිසා එයාටත් හොස්ටල් එකේ නවතින්න පුළුවන් කමක් නැහැ නේ. දුකින් වුණත් බලාපොරොත්තු අත් හැරගෙන , ගෙදර ගෙනියන්න පැක් කර ගත් බෑග් ටික කරේ එල්ලා ගෙන අපිත් මිස්ගේ පස්සෙන් වැටුණා.6 වසරේ ස්කෝලෙට ඇවිත් දවස් කීයද වෙසක් එකට නිවාඩු ලැබෙද්දි. ඉතින් අපි මිස්ගේ ගෙදර කොයි තරම් දුරින්ද තිබුණේ කියලා දන්නේ නැහැ. පස්සේ කාලෙක තමයි දන්නේ ස්කෝලෙට බොහොම ළඟයි මිස් ගේ ගෙදර කියලා.

                       වටපිටාව ගැන බල බලා ඉන්න විධියක් නැහැ අපි එහෙට යද්දි බිම් කළුවර වැටිලා. මිස් ගෙදර දන්න නිසා යන්න ඇති. ඉස් ඉස්සෙල්ලාම අපි මිස් ගේ ගෙදරට යද්දි අපි දන්නවායැ ඒ ගෙදර ගැන. ඒ ගෙදර ට යද්දි දොර ඇරියේ මිස්ගේ පුතෙක්.මිස්ට ඉන්නේ පුත්තු දෙන්නෙක් කියලා අපි දැන ගෙන හිටියා. හිතට බයක් දැනුණත්, අපි දෙන්නෙක්ම හිටිය නිසා ඒක ඒ තරම් දෙයක් කියලා හිතුණේ නැහැ.කොහොම හරි මිස් අපට දුන්නා ගෙදර ඉස්සරහා කාමරේ. ඒක තිබුණෙත් ගේ ඇතුළටම තමයි. බයෙන් බයෙන් ඒ ගෙදරට ගොඩ වුණ අපි ගැන කවර කතා ද? අපි ආපු ගමන් මිස්ගේ පුත්තු කාමරේට වැදුණා වැදුණාම තමයි එළියට බැස්සේ වත් නැහැ.

                       ගෑණු ළමයි වුණාය කියලා ඉවුම් පිහුම් ගැන නම් ඒ වෙද්දි මෙලෝ සසර දෙයක් දන්නේ නැහැ.ඒ නැතත් මිස් අපිව කාමරේට එක්ක ආපු නිසා මිසක් ඒ ගෙදර ගැන අවබෝධයක් අපට තියන එකක්යැ.අපි කාමරේටම වෙලා හිටියා.මිස් ම ඇවිත් බාත් රූම් එකට අපිව එක්ක ගෙන ගියා. මාරුවෙන් මාරුවට දොර ළඟ තනියට අපි දෙන්නාම හිටියා ඇඟ හෝදා ගන්න තුරු. වෙනදා ඇඟ හෝදලා රෑ ඇඳුම ඇඳ ගත්තා වුණත්, අද පිටස්තර ගෙදරක  නේ ඉන්නේ කියලා ආයෙම ගවුමක් මයි ඇඳ ගත්තේ.ඉබ්බා කටුව ඇතුළට රිංගා ගන්නවා වගේ ආයෙම කාමරේ ඇතුළේ.

                  රෑට කෑම හදලා මිස් කතා කරාම ගිහින් කාලා ආවා. නිදා ගන්න කියලා මිස් ගියත් රාධිටත් මටත් නින්ද අහලකටවත් ආවේ නැහැ. නුපුරුදු ගෙදරක්, අළුත් ළමයි විධියට ස්කෝලෙට ඇවිත් ටික දවසයි ලැබුණ පළවෙනි නිවාඩුවේම මේට්‍රන් මිස්ගේ ගෙදර, අනික කොල්ලෝ දෙන්නෙක් ගෙදර ඉන්නෙත්. කාමරේ ලොක් කර ගත්තත් නින්ද යන්නේ නම් නැහැ. මොන කරුමයක්ද මන්දා. මුළු නිවාඩුවම මට මෙහේ ගෙවන්න වෙයිද මන්දා. දාහක් නෙමෙයි දහදාහක්. ලක්ෂයක්- කෝටියක් සිතුවිලි හිතේ සැරින් සැරේට මතු වෙනවා.රෑ නිසා මිස්ගේ පුත්තු දෙන්නා කාමරේ අස්සෙම රිංගා ගෙන හිටියත් හෙට උදේ එළියට ඒවි නේ. එතකොට හෙට දවසේ අපිට කාමරේ ඇතුළේම තමයි ඉන්න වෙන්නේ. 

                      ඔය වගේ නිමක් නැති සිතිවිලි අතරේ ඉඳෙද්දි පහුවදාටත් එළිය වැටුණා. කාමරෙන් එළියට එන්නත් බයයි. මිස්ගේ පුත්තු කවුරු හරි එළියේ හිටියොත් කියලා.අනේ හොස්ටල් එකේදි අපට සැර කරන මිස් ද මේ ඉන්නේ කියලා හිතෙනවා. තේ දෙකකුත් අරගෙන අපි ඉන්න කාමරයට ඇවිත් අපිව මුහුණ දීලා හිටිය අපහසුවෙන් මුදවා ගත්තා.වාසනාවට උදෙන්ම ඒ දෙන්නා ගෙයින් එළියට බැස්සා. ඊට පස්සේ මිස්ම ඇවිත් උදේට කන්නත් දීලා ඊට පස්සේ  අපි එක්ක මිස්ගේ වත්ත බලන්න යමු කියලා එක්ක ගෙන ගියා. ටිකක් ලොකු වත්තක්. කොස් ගහක ඉදුණු ගෙඩියක් තියනවා දැකලා මිස්ට ඕන කොහොම හරි කඩන්න.

                         කොල්ලෝ දෙන්නෙක් හිටියත් වැඩක් නැහැ නේ. මම ම එපායැ මේ ගහක කොලක තියන දෙයක් ගැන බලන්නත් ඕන. අපි වරකා ගෙඩිය කඩමු කියලා දිග කෙක්කක් අරගෙන මිස් ම ඒ වැඩේ පටන් ගත්තා.බටු ඇට වගේ ඉන්න අපි වරකා කඩන්නද? රාධි ගේ ලොකු තාත්තා ආවා උදේ 9.30 විතර වගේ වෙද්දි. ඒ නිසා එයත් ගියා. දැන් මම විතරයි. කොහොමත් අම්මාට නම් එච්චර උදෙන් එන්න බැහැ කියලා මම දැන ගෙන හිටියත් රාධි ගියාට පස්සේ මගේ ඇස් තිබුණෙත් ගේට්ටුව දිහාවේම තමයි.ඔය අතරේ මිස් දවල්ටත් උයලා , වෙලාව බලද්දි 12.00 ත් පහු වෙලා. 1.00- 1.30 විතර වෙද්දි ගේට්ටුව ලඟින් යාන්තමට ඔළුවක් පේන්න ගත්තා. මාත් ඉස්සි ඉස්සි බැළුවා මේ එන්නේ අම්මා ද කියලා. ඔවු නේ. අම්මා ගේට්ටුව ලඟට ආවාම තමයි පේන්නේ. 

                     හිටිය තැනින් ඉගිල්ලුනාද කියලා මම දන්නේ නැහැ. මේ තරම් වෙලා ඇස් දෙක පේන මානයකට වත් ඇවිත් නො හිටපු කඳුළු වැලක්ම කොහේ දෝ ඉඳන් ඇවිත් එකපාරටම අම්මාගේ ඇඳුම තෙත් කළා.අම්මාට ගෙට ගොඩ වෙන්නවත් ලැබුණේ නැහැ. උදේ ඉඳන්ම බස් එකේ ඇවිත් කොයි තරම් මහන්සියක් ඇද්ද කියන එක ගැන නිච්චියක් තිබුණේ නැහැ.උදේටත් හරි හමන් දෙයක් කුසට දා ගන්න නැතුව නේ එන්න ඇත්තේ. මොනවා හරි දෙයක් ඔතා ගෙන ඇවිත් බස් එකේදි කන්න ඇත්තේ.මිස්ගේ ගෙදරින් දවල්ට කෑවද නැද්ද කියලා මට මතකයක් නැහැ. හැබැයි කිරිල්ලියක් වගේ රූං ගාලා  ගිහින් ඉක්මණටම ඇඳ පැළද ගෙන ඇවිත් යන් කියා ගෙන අම්මා අතේ එල්ලුන බව මතකයි.

 ප.ලි.

ස්කෝලෙන් ළමයා එක්ක ගෙන යන්න එන්න කියලා එවපු ලිපිය වෙසක් නිවාඩුව ඉවර වෙලා ගෙදර ගිහින් ආයෙම හොස්ටල් ආවටත් පස්සේ ගෙදරට ලැබිලා තිබුණා. වෙසක් කාඩ් බෙදන නිසා ඒවාට ප්‍රමුඛ තාවය දීලා. ඔක්කොටම වඩා වැදගත් ඒ පෝස්ට් කාඩ් එක ගෙදරට ලැබුණේ නැහැ.

ප.ප.ලි.

අම්මා ඒ වස් වල මොන දුකක් විඳින්න ඇතිද අපි නිසා.හොස්ටල් එකට මාව ගන්න එදා යද්දි සිකුරුටි අංකල් අම්මාට කියලා හොස්ටල් ළමයි හැමෝම කලින් දා ගෙදර ගිය බවත්, යි දෙන්නෙක් මිස්ගේ ගෙදර බවත්. රාධිගේ ලොකු තාත්තාත් උදේ ස්කෝලෙට ඇවිත් නේ මිස් ගේ ගෙදරට ආවේ. ඒ බවත් කියලා. අම්මා හොඳටම බය වෙලා දුවගෙන වගේ ඇවිත් තියෙන්නේ.  පවු අම්මා. මොන මොන දේවල් එයාට හිතෙන්න ඇතිද?මම ඒ දවසේ විඳපු දුකට වඩා සිය දහස්, ලක්ෂ කෝටි වාරයක් එයා දුක් වෙන්න ඇති. 

වෙනදා ඇවිත් ටික වෙලාවක් වත් ඉන්නවා ස්කෝලේ ඇරිලා ළමයි ඇවිත් සූදානම් වෙන තුරු. ඒ ටික වෙලාව හරි මහන්සි නිවා ගන්න පුළුවනි. ඒත් එදා ආ පයින්ම අනිත් පැත්තට හැරෙන්න වුණා. කිසිම මැසිවිල්ලක් නැතුව, මහන්සි නො පෙන්වා මාත් එක්ක යන්න ආයෙම හැරුණා.අදටත් මගේ ඇස් දෙකට කඳුළු එනවා. එදා මම තනි වුණ එක මතක් වෙලා නෙමෙයි අම්මා ගැන මතක් වෙලා. එයා විඳපු දුක්-මහන්සිය ගැන මතක් වෙලා.


මගේ අම්මා මගෙත් ආයුෂ අරගෙන නිරෝගීව තව ගොඩා...ක් කල් ජීවත් වෙන්න ඕන.දුරු රටක ඉඳ මම අදටත් එයාගෙන් ඈත් වෙලා.

                  

Wednesday, December 26, 2012

අපේ ගෙදරට ගං වතුර ගලලා.....

                                                 මේ දවස් වල ලංකාවේ බොහොමයක් ප්‍රදේශ ගං වතුරෙන් යට වෙලා. කවුරු කවුරුත් කාශ්ටක පැත්තක් කියලා කට ඇරියොත් කියන හම්බන්තොටත් මේ වැස්සට යට වුණා. 1997 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වැස්සට ත් යට වුණ අපේ ගෙවල් ආයෙම වතාවක් යට වෙන්නේ නැතිවෙයි කියලයි මම හිතා ගෙන හිටියේ. ඒත්... අහම්බෙන් ඊයේ ගෙදරට කතා කරපු වෙලාවේ තමයි දැන ගත්තේ ගෙදරටත් ගලලා කියලා. ලංකාවේ හුඟාක් ප්‍රදේශ වලට වුන දේම අපේ ගෙදරත් වෙයි කියලා මම හිතුවේ නැහැ.පහු ගිය දවස් වල අන්තර්ජාල පහසුකම් නැතුව හිටිය නිසා වෙනදා වගේ ස්කයිප් මාර්ගයෙන් කතා කරන්න වුණෙත් නැහැ.

                                මට බලන්න කියලා එවපු ෆොටෝ ටිකක් මේකට අමුණලා දානවා. ඔන්න බලා ගන්න.

                           







                                 අනේ අපොයි කියලා කියන්න නම් එපා.එහෙම කියනවා නම් කියන්න ඕන  තරම් අය මේ වෙලාවේ වතුරට යට වෙලා ඇති. ගෙවල් වල වහලත් යට වුණ අය කොයි තරම් ඉන්නවද?

                                වාසනාවකට 1997 වගේ මාස ගණනක් ගං වතුර අල්ලලා හිටියේ නැහැ. උදේ ගෙවල් යට වුණත් හවස වෙද්දි ගං වතුර බැහැලා ගිහින්.

                              රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කිය කියා කොයි කවුරු කියෙව්වත්, මේ වෙලාවේ නම් කිසි කෙනෙකුට ප්‍රමාදයන් ගැ කතා කරන්න අයිතියක් නැහැ. බැකෝ යන්ත්‍ර 2-3ක්ම යොදා ගෙන මුහුදට වතුර බහින ඇළ හාරලා දාලා හවස් වෙද්දි ගං වතුර බැස ගිය එක වෙලාවේ හැටියට බොහොම වටිනා කමක් තියන දෙයක්. කෑම ටිකක් රත් කර ගන්න කුස්සියට යන්න විධියක් නැතුව- පවුලේ ඇත්තන් බඩේ ගින්රින් තියන්නේ කොහොමද කියලා හිතේ ගින්දරින් හිටිය බොහොමයක් මවු වරුන්ගේ හිතේ ගින්දර නිවා දමමින් කෑම පැකට් ආධාර වශයෙන් ලබා  දුන් සෑම සියළු දෙනාටමත් ස්තුතියි සිය දහස් වාරයක්.

ප.ලි.
රටේ අනිත් තැන් වල තත්ත්වය කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත්... අපේ ගමේ නම් තත්ත්වය මෙහෙමයි.

              

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ............


                             හොස්ටල් ජීවිතේට අහම්බෙන් එකතුවුණ වගක් ලිවුවේ ඇයි කියලා හිත කළබල කර ගන්නට කාරියක් නැහැ. මතකයක් තියේ නම් මගේ දෙවනි  කතා දන්නවා ඇති මම සංඝමිත්තාවට එන්න අදහසක් වත් හිතේ නො තිබි කෙනෙක් කියලා. හදිසි කෝපය නිසා සංඝමිත්තාවට පය තිබ්බ නිසා, හොස්ටල් ජීවිතේ දුක විඳින්න වුණා. මුල්ම දවස කියලා මහා මතකයක් හිතේ නැහැ. ඒ ඇයිද මන්දා. අපිත් එක්ක අළුත් අය විධියට හොස්ටල් එකටත් ආපු අය හැමෝටම එහෙම නැතුව ඇති.

                           මට සමහර විට මතකයක් නැත්තේ මම ඒ ගැන ඒ තරමට වද නොවුණ නිසා වෙන්න ඇති.
      
                                   කොහොම හරි හොස්ටල් එකේදි මට වුණ ලොකුම හොඳේ තමයි හොස්ටල් රෙජිස්ටර් එකේ නම් ලිවුවේ ඇතුළත් වීමේ අංක පිළිවෙලට. අළුත් අයගෙන් පළමු වැන්නා මම. 156ක් ලකුණු අරගෙන වැඩිම ලකුණු තියන කෙනා වුණේ මම නිසා ඒ තැන මට ලැබුණා. හරිම අපරාදයක් තමයි ශිෂ්‍යත්වයට සිංහල-ගණිතය විතරයි නේ ඒ කාලේ තිබුණේ. ඒ නිසා සැබෑ දක්ෂයා සමහර විට ශිෂ්‍යත්වය අසමත් වෙන්නත් පුළුවන්. බොහොමයක් දෙනෙකුට ගණිතය වහ-කදුරු වගේ. සිංහල වුණත් රචනා ලියන්න හුඟාක් අයට බැහැ. අනේ මම නම් අදටත් ආසම වැඩේ තමයි රචනා ලියන එක.11 වසරේ සිංහල සාහිත්‍යය තරම් ආසාවෙන් මම මොන විෂයක් වත් ඉගෙන ගන්න නැතුව ඇති.

                                         හොස්ටල් ජීවිතේ ගැන කියන්න ගිහින් වෙන වෙන පල් හෑලි කියවන්න ගත්තා නේ. මටත් ඉතින් කොණක් අහු වුණොත් ඇති.

              ඩෝම් එකේ ඇඳන් වලට අයිතිකාරයෝ ලැබුණෙත් මේ කියන රෙජිස්ටරේ පිළිවෙළටම තමයි. අවුරුදු 6ක් ම මේ පිළිවෙළට හුරු වුන නිසා වෙන්න ඇති, බෙඩ් පිළිවෙලට අදටත් නම් ටික මතකයි මගේ සගයන්ගේ.ඒත්.. මුලින් මුලින් හිටි හැම දෙනාම අවසාන වසර වෙන තුරා හොස්ටල් හිටියේ නැහැ.සමහරු හොස්ටල් එකෙන් අස් වෙලා බෝඩින් වල ඉඳන් ස්කෝලේ ආවා. තවත් සමහරු ස්කෝලෙන්ම අස් වෙලා ගියා.

              11 වසරට යද්දි අපේ වයස් කාණ්ඩයේ 22 ක් හිටියා.ඔන්න ඉතින් මම කියන්න යන්නේ 6 වසරේ ඉඳන් සිදුවුණ සිදුවීම් කිහිපයක්. මොකද හැම දේම මට මතක නැහැ. සමහර දේවල් වල ගත යුත්තක් නැහැ. ඒ ඒ කාලෙට අපට මැජික් වුණත් දැන් ගොඩයන්ට මැජික් කරන්න ඕන නැහැ නේ. 

                    හැම ඩෝම් එකකටම ඩෝම් ලීඩර් කෙනෙක් ඉන්නවා. වසරේ මැද  ස්කෝලෙටත්, හොස්ටල් එකටත් ආපු අපි නිසා කළින් 3,4 දෙනෙක් විතරක් හිටිය "නෙළුම්" ඩෝම් එකේ ලීඩර් වෙලා හිටිය අනුරාධාට ම ඒ බර අදින්න වුණා, ප්‍රයිවට් බස් එකකට පොල් පටවපු ගාණට සෙනඟ. මුල් කාලේ අනූ පුදුම දුකක් විඳින්න ඇත්තේ. පවු. ඇයි ඉතින් වැඩි පුර හොටු පෙරා ගත්ත අය නේ ඉන්නේ. ඔය හොටු කෙල්ලෝ නළවන්න තරම් පැහිච්ච කෙල්ලෙක් නෙමෙයි අනූ. එයත් අපේ වයසෙමයි. පොඩි කාලේ හොස්ටල් ඇවිත්. අපට කළින් ආපු එක විතරයි වෙනසකට තිබුණේ. 

                                   හොස්ටල් ඇවිත් වැඩි දවසක් ගත වෙන්න කලින් වෙසක් පෝය වෙනුවෙන් දවස් 3-4ක දිග සති අන්තයක් ලැබුණා මට මතක විධියට.සිකුරාදා හවස ගෙදර යන්න පුළුවන් සඳුදා-අඟහරුවාදා පෝය තියෙන්න ඇත්තේ. බ්‍රහස්පතින්දා හවස ගෙදර යන්න අවස්ථාව දීලා ස්කෝලෙන් හොස්ටල් ළමයින්ගේ ගෙවල් වලට ලියුම් යවලා.
            
                          හැමෝම වගේ මමත් සූදානම් වුණා වෙසක් එකට ගෙදර යන්න. බදාදා රෑ වෙද්දි ඇඳුම් බෑග් හදලා ඉවරයි හැම දෙනාම වගේ. උදේ නැඟිට්ටාම බෙඩ් ශීට් එකයි, කොට්ට උරෙයි අස් කරලා, මෙට්ටෙත් දෙකට නවලා තමයි ස්කෝලේ යන්නේ.ස්කෝලේ ඇරිලා එද්දිඇඳන් උඩ තියෙන්නේ ලෑස්ති කරපු බෑග් ටික තමයි.

                               අන්තිම බෙල් එක ගහනවා ඇහෙද්දි පන්තියෙන් එළියට එක කකුලක් තියා ගෙනයි ඉන්නේ. වෙනදා වගේ නෙමෙයි කොහොමවත් කන්ට්‍රෝල් කරනවා බොරු. ප්‍රිෆෙක්ට්ස්ලා කොච්චර හිටියත් ගාල කඩා ගත්ත හරක් රංචුව වගේ තමයි හොස්ටල් කෙල්ලෝ ටික නම්. බොහෝ දෙනා එන්නෙම හොස්ටල් එකේ විසිටර්ස් රූම් එක පැත්තෙන්.මමත් ඒ හරහා ආවේ නැතත් ඒ පැත්ත බලා ගෙනයි එන්නේ. උදෙන්ම ආවත් අම්මාට කළින්ම හොස්ටල් එකට එන්න බෑ කියලා මම දන්නවා.ඒ නිසා මම බෑග් එක ඩෝම් එකෙන් තියලා එළියට වෙලා බලාගෙන ඉන්නවා, ඕපන් කොරිඩෝර් එකක් නිසා දෙමවුපියෝ එද්දි පේනවා ඈතදිම.

                                 අනිත් අය වගේම මමත් කටට දෙකට හොස්ටල් බත් පත ඉවර කරලා දුවගෙන ආවේ පාර පේන තැනකට.ඩෝම් එකේ අය එකා දෙන්නා තම තමන්ගේ දෙමාපිය-භාරකාරයෝ එක්ක ගෙවල් වල යනවා.දැන් ඉතිරි වෙලා ඉන්නේ ටික දෙනයි. 11 වසරේ සුසන්ති අක්කා කතරගම. මම සහ අම්පාරේ රාධිකා. තවත් දුර අය කීප දෙනෙක් හිටියත් හවස 3.00-3.30 වෙද්දි හැමෝම ගියා සුසන්ති අක්කාත් ඇතුළුව. හොස්ටල් මේට්‍රන් මිස් රූම් එකෙන් එළියට ඇවිත් ඩෝම් එකින් එක ඇවිදින්නේ තව කී දෙනෙක් ඉන්නවාද ගෙදර යන්න ඉතිරි වෙලා කියලා බලා ගෙන යන්න.අනේ අවාසනාවට ඉතිරි වෙලා ඉන්නේ මායි- රාධියි විතරයි. මට දැන් නම් හිතෙන්නේ මාව එක්ක යන්න අම්මා අද එන්නේ නෑ කියලා. මොකද මේ තරම් පරක්කු වෙලා ආවොත් ගෙදර යද්දි හුඟාක් රෑ වෙනවා.ඒත් රාධි එක්ක යන්න එන්න තවමත් වෙලාව තියෙනවා. එයාගේ ලොකු තාත්තා හිටියේ ගාල්ලට කිට්ටුවමයි. වැඩි වෙලාවක් යන්නේ නැහැ.තත්පරෙන් තත්පරය විනාඩියටත්, විනාඩියෙන් විනාඩිය පැයටත් ගෙවිලා ගිහින් පැය ගාණක් ගත වුණා.... 

                                   දිග වැඩි කතාවක් නොකර ඊ ළඟ කොටසට ඉතිරි ටික දාන්නම්.

Monday, December 24, 2012

සැමට සුබ නත්තලක් වේවා....

2012 වර්ෂය ලෝක විනාසයෙන් බේරීමෙන් පසු එළඹෙන පළමු උත්සවය වන නත්තල, නත්තල සමරණ සියළුම කතෝලික සොයුරු සොයුරියන්ට ප්‍රීතිමත් නත්තලක් වේවා...!


ඉන් පසු උදා වන 2013 වර්ෂය සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා...



















Wednesday, December 19, 2012

පුංචි මතකයන් 4

නො කියවපු අයට කලින් කතා වලට යන්න පාර.

1.පුංචි මතකයන්
2.පුංචි මතකයන් 2
3.පුංචි මතකයන් 3


                                  අප් රිපෝර්ට් ගත්තාය කියලා මහා ලොකු වැදගත් කමක් නම් මගේ හිතට දැනුණේ නැතුවා වුණත්, මම නිසා හරි බෙස්ට් ක්ලාස් වලින් පිට කෙනෙකුත් ඒ දක්ෂ කම කළාය කියන ගෞරවය මගේ පංති භාර ගුරුතුමිය විඳ ගත් නිසා ඒ ගැන නම් මගේ හිතට මහා සන්තෝසයක් දැනුණා.කියලා පංති 7ක් තිබුණා වුණත් සාමාන්‍යයෙන් අනිත් පංති 5 ගැන ගුරුවරු වුණත් මහා ලොකු සැළකීමක් කරන්නේ නැහැ කියලයි  මට නම් හිතුණේ. එහෙම වෙලා තියෙද්දිත්,මම ඒ වගේ දස්කමක් කිරීම ගැන මිස් සතුටු නො වේවිද? 

                                    පංතියේ හිටිය අනිත් අය 1 වසරේ ඉඳලාම සංඝමිත්තාවන් බව තමයි මම දෙවන වාරය අසන් වෙද්දි දැන ගෙන හිටියේ. ඒත්.. දෙතුන්දෙනෙක් විතර අතරමැද කාලයේ පංතියට ආවත්,අන්තිමට ඉතුරු වුණේ හොස්ටල් හිටිය මාත්, මෙත්තාත් විතරයි, වසර අවසාන වෙද්දි. 

                             කොහොම වුණත් අවසාන වාරයේ මට වඩා වැඩිපුර හොඳට විභාගේ ලියලා මෙත්තා පළවෙනියා වුණත්, එයාට අප් රිපෝර්ට් ගන්න පුළුවන් වුණේ නැහැ.ඔය විධියට දෙවන වාරයේ පළමු වෙනියා වුණ මම, අවසාන වාරයේ දෙවැනියා වුණා. එච්චරම තමයි ආයේ කවදාවත් ඔය කියන ස්ථාන මගේ රිපෝර්ට් පොතේ ලියවුණේ නැහැ.

                                    ඇත්තටම ඒ වතාවේ දෙවැනියා වීම, කළින් වතාවේ පළ වෙනියා වීමට වඩා සතුටක් මගේ හිතට එක් කරලා තිබුණා.( කලබල වෙන්න එපා. මම කිවුවේ ඇත්ත. මොකද මම දැන් දන්නවා මට තරගකාරයෙක් ඉන්න බව. තරගකාරයෙක් නැත් නම් කවදාවත් දක්ෂයන් බිහි වෙන්නේ නැහැ.)ඇත්තටම මම ආපු ගමන් පළවෙනියා වුණ නිසා වෙන්න ඇති මට කිසි ආසාවක් තිබුණේ නැහැ විභාගය ගැන වුණත්,ඒ වතාවේ දෙවනියා මට වඩා බොහොමයක් ලකුණු අඩුවෙන් තිබුණේ.ඒත් අවසාන වාරයේ මම දෙවනියා වෙලා තිබුණේ ඒ තරමටම ලකුණු පරතරයක් තියාගෙන නෙමෙයි කියලා මට මතකයි.

                                   මෙත්තා, බලනවා නම් මේක අහිතක් හිතන්න එපා. ඔයාව අඩු තක්සේරුවක් කලා කියලා.

                                        ඉතින් හොස්ටල් ජීවිතෙන් මිදිලා ඉගිල්ලිලා ගියා අපේ පුංචි ගේ පොඩිත්තට.අම්මෝ.... මාසයක්ම නිවාඩුයි. ෂා......... දැනෙන සනීපේ.....හිතට දැනුණු හැමදේම මතක නැති වුණත්, බෝගම්බර හිර ගෙදරින් නිදහස් වෙලා ඇඟ බැඳලා ගෙදර ආවා වගේ. ආයේ හිරේට යන්නේ නම් වරදක් කළොත් විතරයි. ඒත්.. මට නම් කොහොමත් බෝගම්බර යන්න වෙනවා කියන එක විතරයි මට මතක් වුණේ.

                                      නිවාඩු මාසය පුරාම කළේ වැඩිපුර නිදා ගත්ත එක තමයි. ඇයි ඉතින් හොස්ටල් ඉඳිද්දි උදෙන් අවදි වෙන්න එපායැ. හොස්ටල් ජීවිතේ ගැනත් වෙනම ලියන්නම්. මේ අතරට එකතු නොකර.

                                      කරා නම් වැදගත් කියලා යමක් පර දේසක්කාර බාසාව ඉගෙන ගන්න පංතියකට ගිය එක විතරයි.ඒකත් පයින් යන දුරක. මුස්ලිම් මිස් කෙනෙක් ගෙන් තමයි ඉගෙන ගන්න ගියේ. කතා කරන්න නෙමෙයි විභාග ගොඩ දාගන්න. මොකද ඔය ඉංගිරිස් කියන්නේ මට නම් වහ කදුරු වගේ. මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ.ඔය මාසෙට පුළුවනෑ වාරයක් උගන්නන පාඩම් ටික කවර් කරන්න.අළුත් වාරෙට අයිති පාඩම් අමාරුයි කියලා මිස් හිතන ඒවා අපට කරනවා. ප්‍රශ්න කරන්න දෙනවා.රතු පාට ලොකු හරියක් එක්ක Good / Very Good ලැබෙනවා කියන්නේ ඊට වඩා දෙයක් නෑ.

                                        ( අපට නම් හැම පාඩම ම අමාරුයි කියලා මිස්ට කොච්චර කිවුවත්, මිස් උගන්නන්නේ තෝරා ගත් ටිකක් විතරයි ) ඒත්.. මිස් කිව්වේ 'ඔය ළමයා හොඳට වැඩ කරනවා නේ. බොරුවට බෑ කිවුවට' කියලා.අනේ මන්දා. මිස් ළඟට එන අනිත් උන් මටත් වඩා දුර්වලයි කියලා මම මැරෙන්නයැ.

                           නො දන්න වචන වල තේරුම් පැන්සලෙන් අච්චු පොතේම ලියා ගන්නේ පොත් වල වටිනාකම නොදන්න නිසා නෙමෙයි, ඉංගිරිස් බැරි නිසා.

                                     තුන් මාසෙකට වතාවක් ගෙදර එන නිසා ගෙදරිනුත් සැළකිලි.පහු පහු වෙන කොට කොහු කොහු කියනවානේ. නිවාඩුව ඉවර වේගෙන එද්දි සැළකිලිත් අඩුයි.

                                    අළුත් අවුරුද්දක් උදා වෙලා, ඉහළ පංතියට යන්න සූදානමෙන් ස්කෝලේ පටන් ගන්න දාට කලින් දා හොස්ටල් එකට එනවා. ඔය අතරේ සිද්ධ වෙන්නේ අළුත් පංතියක් ලැබෙන එක විතරක්ම නෙමෙයි. හොස්ටල් ළමයි වෙච්චි අපට 7 වසරට හිමි ඩෝම් එකට මාරු වෙන්නත් ලැබෙනවා.සමහරු ස්කෝල පටන් ගන්න දවසේ උදේම ආවත්, මම බොහෝ දුර බැහැර නිසා කලින් දා එනවා.ඒකෙන් වාසියකුත් තියනවා. විශේෂයෙන් අළුත් අවුරුද්දකදි. වෙන ඩෝම් එකකට මාරු වෙනවා කියන්නේ කළින් ගියොත් වාසි ගොඩයි. හොඳ කබඩ් එකක්, රැක් එකක් ගන්න පුළුවන්. ඒත් තනි තනි කබඩ් නම් ගන්න වෙන්නේ නැහැ. අළුත් අය එනතුරු, අළුත් ඩෝම් එකට ගියත්, අපි තමයි හොස්ටල් එකේ පොඩිම අය.ඒ නිසා.

                                            පළමු වාරය කියන්නේ බාහිර වැඩ වලට පෙරමුණ ලැබෙන කාලය. මේ තමයි අවුරුද්දක පළමු වාරයේ ඉඳන්ම ස්කෝලේ ඉන්න පළමු අවුරුද්ද. ඉතින් අපට හරි මැජික්. ස්පෝර්ට් මීට්, පිරිත තමයි ප්‍රධානම. ඔය දෙකෙනුත් මුල් තැන ලැබෙන්නේ පිරිතට. ස්පෝර්ට් මීට් එකට කළින් පිරිත තමයි පළමු කාරණාව වෙන්නේ.ඒ බොදුනුවන් වීමෙන් හිත් වලට ඇතුළු වූ සංකල්පනාවන්.අවුරුද්ද පුරාවට ආරක්ෂා සහිතව වැඩ කරන්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන් පිරිත් කියවලා, සාංඝික දානයක් පවා දෙනවා. දානය කෙසේ වෙතත් පිරිත් අහන්න කට්ටිය මහ ගොඩක් නො එන නිසා කොහොමත් පිරිත් ඇහීමට යොදවන්නේ වැඩි පුරම හොස්ටල් ළමයි වෙච්චි අපි.

                                                 ඕක අපට හරිම වදයක්. ඇයි අනේ හොස්ටල් එකට වෙලා නිදා ගන්න තියන එකේ, මොන කෙං ගෙඩියකටද ප්‍රධාන ශාලාවේ බිම පැදුරක් දාගෙන නිදා ගන්නේ.

                                               ඒත් ඉතින් මම නම් හරිම ආසයි උදේට අපට පිරිත් නූල් ලැබෙන නිසා කාටත් කලින්.පිරිත් නූලක් අතේ බැන්දොත් කළු පාට වුණත් හාර පස් මාසයක් විතර ඕක අතේ තියනවා. සමහර වෙලාවට සනත් ජයසූරියගේ අත වගේ පිරිත් නූල් පිරිලා.අදටත් පිරිත් නූලක් අතේ බැන්දාට පස්සේ සෑහෙන කලක් ඒක අතේ තියනවා,සබන් දාලා හෝදලා.

                                             පිරිත් පිංකමෙන් පස්සේ තමයි ස්පෝර්ට් මීට් එක පවත්වන්නේ. ඔය කාලෙට එපා වෙන එක තමයි සරඹ සංදර්ශනය. ඔන්න 6,7,8 වසර වල හැම දෙනාම සරඹ සංදර්ශනයට සහභාගි වෙන්න ඕනලු. මොන වාත කේස් එකක්ද?

                                             සමහරු හැංගි හැංගි ඉන්නවා මිස්ලට අහු වෙන්නේ නැතුව. මොකද අවුවේ කර වෙන්න තියන අකැමැත්ත නිසා.මිස්ලා වුණත් ඒ කාලේ කරන්න ඇත්තේ ඔය දේම නේ. ඒ නිසා එයාලා පන්ති වලට ගිහිල්ලා ළමයි හැමෝම ග්‍රවුන්ඩ් එකට එලවනවා.ඔතනින් පනින අයත් ඉන්නවා.කොහොම හරි ස්පෝර්ට් මීට් එක දවසට ඉන්නේ බොහොම ටික දෙනයි. අපට වඩා ඔය ගැන දැනුමක් මිස්ලාට තියන නිසා, සරඹ සංදර්ශනයට පවා නිවාස මට්ටමින් ලකුණු දෙන්න තීරණය කළා.ඉතින් එතකොට ළමයින්ගේ පස්සෙන් පන්නන්නේ නිවාස භාර මිස් ඇරුණාම නිවාස නායිකා-උප නායිකා සහ අනෙකුත් නිල-තල කරට ගත් අය.පී.ටී. මිස්ලාට කරදර වෙන්න දෙයක් නෑ ළමයි පස්සේ පන්නන්න.

                                             පළමු වාරය කියන්නේ අධ්‍යාපනය ගැන කිසිම සැළකිල්ලක් දක්වන කාලයක් නෙමෙයි කියලයි මට හිතුණේ. ඒකත් හොඳයි එක අතකට.හැමදාම ඉගෙන ගන්න ඕන නැහැ නේ.

                                  ස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කියන්නේ ස්කෝලේ මගුල් ගෙදර කියලයි මට හිතෙන්නේ.විහාරදේවි. විශාකා, මහාමායා සහ යශෝදරා කියන නිවාස හතරට වෙලා යාළුවෝ යාළුවෝ අතරේ ඇති වෙන සොඳුරු ගහ මරා ගැනිලි ගැන අදටත් සිහි වෙන්නේ හසරැලි මුවින්. 

                                                











Monday, December 10, 2012

පුංචි මතකයන් 3



               ලස්සනම ලස්සන දවසක අළුත් යුනිෆෝම් එකත් ඇඳ ගෙන මැයි මල් වැටුණ තාර පාර දිගේ අළුත් ස්කෝලෙට ආවා.

අද එතැන් සිට.පුංචි මතකයන් 02 කතාවට.


               මහා ලොකු දුරක් බස් එකේ ඇවිත් හරිම මහන්සියක් දැනුණත්, අළුත් ස්කෝලේ නිසාත්, වටපිටාවේ සුන්දරත්වය නිසාත් ඒ මහන්සිය අමතක වෙලා තිබුණේ.

             කහ පාට මැයි මල් පිපිලා ප්‍රධාන ගේට්ටුව ළඟ ඉඳන් යන්න තියන තාර පාර අයිනේ. හරිම ලස්සනයි. මැයි මල් ගස් යාය දැක්කාම හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි කහ පාටින් පාවඩ එලලා අපිව පිළි ගන්න වගේ මැයි මල් තාර පාර වහගෙන.

                     අම්මාගේ අතේ එල්ලිලා මැයි මල් වැටුණු පාර දිගේ එද්දි අපි දෙන්නාගේ තනියට අපේ ළඟින්ම හිටියේ ලොකු අම්මා.

                       කඩියා වගේ එහෙට මෙහෙට දුව පැනලා වැඩක් කර ගන්න ලොකු අම්මා කොහොමත් දක්ෂයි.තාත්තා නැති වුණ දා ඉඳලා අම්මා වුණත් එයාගේ වැඩ තනියම කර ගත්තා. තාත්තා ඉන්නකාලේ තනියම දුර ගමනක් නො ගියා වුණත් ඒ අහිමි වීමත් එක්ක ඒ හැම දේම වගකීම වැටිලා තිබුණේ අම්මාගේ කර පිටට.ඉතින් ඒවා නො කර කොහොමද?

                         ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්ත ගමන් හැම දෙනාම බලන්නේ ස්කෝල ලිස්ට් එකෙන් තමන්ගේ ලකුණු වලට ගැලපෙන හොඳම ස්කෝලෙට යන්න නේ. ඒත්.. මම මහා ස්කෝල ගොඩක් ඉල්ලලා තිබුණේ නැහැ. කොහොම හරි ඒ දවස් වල ස්කෝල ලිස්ට් එක අනුව මගේ ලකුණු වලින් ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට යන්තමින් යන්න හැකියාව මට තිබුණා. සංඝමිත්තාවේ ලකුණු තිබුණේ ඊට අඩුවෙන්. ඒ කියන්නේ මම තමයි සංඝමිත්තාවේ පිට ස්කෝලෙකින් ආපු වැඩිම ලකුණු තිබුණ කෙනා. 

                           සමහර විට මුළු ස්කෝලෙමත් වෙන්න ඇති. වැඩි ලකුණු අය කොළඹ ස්කෝල වලට යන්න ඇති නේ. මම ඕවා හොයන්න ගියේ නැහැ.

කොහොම හරි අළුත් ලමයි ඉඩ තියන තියන විධියට පන්ති වලට දැම්මා.

                             මම වැටුණේ 6-C එකට.වැඩේ කියන්නේ මාත් එක්ක අළුත් අය කවුරුවත්ම ඒ පන්තියට නො වැටුණ එක. ඒත් පහු වෙලා මෙත්තා මගේ පන්තියට ආවා. හරියට කැම්පස් වල බෝට්ටු වගේ වෙන්න ඇති.

                          අපි දුර අය නිසා ස්කෝලේ හොස්ටල් එකේ ඉන්න ඉඩ ලැබුණා. ඒ කාලේ හැටියට හොස්ටල් ෆීස් රු. තුන්සිය ගාණක්. (හරියටම මතක නෑ.) තව හාල් කිලෝ දහයක් හරි ඒ ගණනට හරි යන මුදල හරි දෙන්න ඕන. ඔය හාල් ගේන සිද්ධිය නිසා අඩු තරමේ හොඳ හාලක බත් ටිකක් වත් ඉඳලා හිටලා කෑවා. නැත්නම් හොස්ටල් ජීවිතේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ කියලා දන්නා අය ඇති නේ.

                         එක්දහස් නවසිය අනූව දශකයේ එක්තරා වර්ෂයක මැයි මස 5 වැනිදායින් ඇරඹුන නව පාසල් වාරය පෙර හිතවතුන් නෑ-සියන් නැති පාළු ජීවිතයකට උරුමකම් කියූවක්. 6 වසරටම හිමි වුණ ඩෝම් එකක් ( දිග හෝල් එකක් වගේ, හරියට ස්පිරිතාලේ ඇඳන් තියනවා වගේ දෙ පැත්තට ඇඳන්. රැක් එකක්, පොඩි කබඩ් එකක්) ඇතුලේ අළුත් අය අතරමං වුණා. පරණ අය කියලා හිටියේ ගයානි, අනුරාධා තමයි. ඒ හැර 7 වසරේ අංජනා අක්කාත් එයාගේ 4 වසරේ නිමේෂා නංගිත් හිටියා.එයාලත් අතරමැද ස්කෝලෙට ආපු නිසා ඉඩ තිබුණ ඩෝම් එකට දාලා තිබුණා.හොස්ටල් එකටත් රෙජිස්ටර් එකක් තිබුණා. ඒකේ තිබුණේ ආපු පිළිවෙළට තමයි නම්. මගේ ලකුණු ඉහලම වුණ නිසා මම තමයි අළුත් අයගෙන් ඉස්සර වෙලාම නම තිබුණේ.

                        අළුත් අයට ඇඳන් දෙන කොට රෙජිස්ටරේට ප්‍රමුඛතාවය ලැබුණ නිසා හැමදාකම වගේ ඉදිරි පෙළ ඇඳක් මටත් හිමි වුණා.

                         හොස්ටල් එකේ කොහොම හිටියත් ස්කෝලෙට ගියාම නම් සසරම එපා වෙනවා. කොහේදෝ අස්සක තිබුණ පන්ති කාමරයක් තමයි 6-C පන්තිය වුණේ. ස්කෝලෙන් කොන් කරපු පන්තියක් වගේ හරියට. කොටින්ම කියනවා නම් මැඩම් ගේ නිල නිවාසයට යන පාර ලඟ නිල නිවසට ආසන්නයේ තමයි පන්තිය තිබුණේ.මැඩම් ගෙදරින් ඇවිත් පඩි පෙළ නැඟලා ස්කෝලෙට යන්න පටන් ගනිද්දි ඉස්සර වෙලාම පේන්නේ අපේ පන්තිය. නිදහස්ව තිබුණ පන්තියක් නිසා අපේ කෑ කෝ ගැහිල්ල අනිත් කාටවත්ම බාධාවක් වුණේ නෑ.

                      ඒ වගේම කවුරු හරි හදිසියේම කඩා පාත් වෙන තුරුම අපි දන්නේ වත් නෑ.

                         ඔය විධියට 6 වසර දෙවන වාර විභාගයත් ඉවර වුණා. පේපර්ස් බෙදුවා.ලකුණු ගත්තා. මහා දෙයක් දැනුණේ නැහැ.සමහර පරණ ළමයි ඇවිත් අර විෂයට කීයද.. මේකට කීයද... කිය කියා හාර හාර ලකුණු හොයනවා. මමත් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා මගේ ලකුණු කිව්වා. ඔක්කොම ලකුණු ලැබුණාට පස්සේ කණින් කොණින් ආරංචි එන්න ගත්තා. ............ තමයි පළවෙනියා.

                         ඔය හිස් තැන් දැම්මේ ඒ කිව්වේ මම ගැන නිසා. (හිතුවාද මම සතුටින් උඩ පනින්න ඇති කියලා. එහෙම වුණා නම් වැරදිලා.) මට දැනුණේ මහා හිස් බවක්. මොකක්දෝ මන්දා කියා ගන්න නො තේරෙන අමුතු හැඟීම් ගොඩක්.


" ඇයි යකෝ මේ මොන පුදුමයක්ද? මම ගමේ ස්කෝලේ වත් පළ වෙනියා වෙලා නැහැ නේ."

"මදැයි මාත් මහ ලොකු ස්කෝලයක් කියලා ඇවිත් තිය තැන."

                       මට හිතුණේ එහෙමයි.

                       "90% ට වැඩි ප්‍රතිශතයක් තියන අයට උදේ රැස්වීමේදී මැඩම් අතින් රිපෝර්ට් එක දෙන්නේ. මේ තරම් කාලයකට බෙස්ට් ක්ලාස් වල ළමයි හැර වෙන කවුරුවත් අප් රිපෝර්ට්ස් අරන් නැහැ. ඔයාට පුළුවන් නම් තව ලකුණු දෙක තුනක් මිස්ලාගෙන් එකතු කර ගෙන අප් රිපෝර්ට්ස් ගන්න."

                           අළුත් පන්තියේ  අළුත් ස්කෝලේ යාළුවෝ මට එහෙම කිවුවා. මට 89% කට වඩා ලකුණු ප්‍රතිශතයක් තිබුණා මතකයි. ඒත් මට මිස්ලා පස්සෙන් ගිහින් ලකුණු හිඟා කන්න හිත දුන්නේම නැහැ. මම හැම දෙනාගේම ඉල්ලීම් අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දැම්මා.


                              වසර මැද නිවාඩු දෙන දවසේ පුරුදු පරිදි උදෑසන රැස්වීම ඇරඹුණා. මමත් අනිත් අය එක්ක උදේ රැස්වීමට සහභාගී වුණා. 


          "මුළින්ම 6 වසර ඉහල ළකුණු ලබා ගත් ශිෂ්‍යාවන්ට හිමි ප්‍රගති වාර්තා පොත් විදුහල්පතිතුමිය අතින් ප්‍රධානය කරනවා ඇති"

කවුදෝ යකඩ කටින් කිවුවා.

ඊ ළඟට යකඩ කට අතට ගත්තේ අපේ අංශ භාර ගුරුතුමිය. 6-A පන්තිය.
..................
......................
.........................
..........................
..............................
..................................
........................
...........................
............................

                         ඔය විධියට නම් ලිස්ට් එකක් කියවා ගෙන කියවා ගෙන ගියා. අදාළ ළමෝ පේළියට ගිහින් තමන්ගේ රිපෝර්ට් එක මැඩම් අතින් ගත්තා.
                 
                             6-B  පන්තිය.
..................
......................
.........................
..........................
..............................
..................................
........................
...........................
............................

6 C  පන්තිය.

...............................................................

                        මහා දිගට මගේ නමත් කියෙව්වා. ළඟදි බඳින්න ඉන්න මනමාලියක් වගේ මහා ලැජ්ජාවක් මගේ හිතට දැනුණේ. ආඩම්බරකමක් නෙමෙයි. හරියට මම මහා වරදක් කරලා සභාවක් මැද දඬුවම් දෙන්න සූදානම් වෙනවා වගේ මට දැනුණේ. ලඟ හිටපු අය මාව තල්ලු නො කරන්න අදටත් මම එතැන ගල් ගැහිලා  ඉඳීවි හරියට පිළිමයක් වගේ.

                                                       මේ අපේ බුදු මැදුරේ බුදු පිළිම වහන්සේ.
                                මැයි මල් වැටුණ පාර. ( ඒත් මේ පින්තූරේ නම් ඒ තරම් මැයි මල් වැටිලා නැහැ )

                               අපේ ක්‍රීඩා පිට්ටනිය. උදේ රැස්වීම් තිබුණේ මෙතැන තමයි.
                                        සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පිළිමය
                  උදේ රැස්වීම තියෙද්දි ක්‍රීඩා පිට්ටනියේ  ඉන්න කෙනෙකුට මිස්ලා ඉන්න තැන, රැස්වීම මෙහෙයවන අය ඉන්න තැන පේන්නේ මෙහෙමයි.


                           කොහොම හරි බලද්දි වෙලා තියෙන්නේ අපේ පංති භාර ගුරුතුමිය බන්දුමතී මිස්ට හැමෝම කියලා මගේ ළකුණු ගැන. මිස්ගේ විෂයන් දෙකට ලකුණු එකතු කරන්න බැළුවත් කොහොමවත් කරන්න පුළුවන් කමක් තිබිලා නැහැ. මිස් ටත් හෙන අප්සට් එකේ ඉඳලා තියෙන්නේ. ඒත් මිස්ට ආරංචිය ඇවිත් මේ පාර 85% ට වැඩි අයටයි අප් රිපෝර්ට් ලැබෙන්නේ කියලා. කාටත් නො කියා මිස් මගේ රිපෝර්ට් එක උදේ රැස්වීම පටන් ගන්න කලින් අංශ භාර ගුරුතුමියට දීලා
              නම් ලිස්ට් එකට මේ නමත් දාන්න. මේ පාර මගේ පන්තියේ ළමයෙකුත් අප් රිපොර්ට් ගන්නවා කියලා මහා ආඩම්බරකමකින්. 


ආයෙමත් දවසක් හමු වෙන තුරු අදට සමු ගන්නම්. ආයෙම පුංචි කාලේ මතකයන් එක්ක එකතු වෙන්නම්.

Monday, December 3, 2012

ඔබට සුබ උපන්දිනයක්.............


                  හැමදාමත් වගේ අදත් උදේම නුඹ ව සිහි වුණා. අද නුඹේ ජීවිතයට විශේෂ දවසක්.ඉතින් මුලින් ම නුඹට සුභ උපන් දිනයක් වේවා කියලා කියන්නම්. ඒත් මං දන්නවා නුඹ ආයෙමත් කවදාවත් ඒ සුබ පැතුම පිළි ගන්න, හිනා වෙලා " තෑන්ක්ස් මචෝ..." කියන්න එන්නේ නැති බව.

                       එහෙම වුණා කියලා කොහොම නුඹව අමතක කරන්නද?

                   එදා වගේ නරක දවසක්....

               යාළුවෝ කතා කරලා කියද්දි "ඩොකාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ" කියලා.හිතට දැනුණ අවිනිශ්චිත හැඟීම අදටත් දැනෙනවා වගේ. පැය 24 ම වගේ වැඩ කරපු ඒ ෆෝන් එක එදා විතරක් වැඩ නො කර තියෙන්නේ කොහොමද?

                   කවුරුත් ජීවිතේ ගැන බලාපොරොත්තු අත් හැරලා හිටපු කාලයක් ඒක.උදේට ගෙදරින් යන කෙනා හවසට ගෙදර එනතුරු කී දෙනෙක් පපුව පිච්චි පිච්චි හිටියාද?

                    කොළඹ යනවා කියන්නේ ඒ කාලේ මාරයාගේ කටට යනවා වගේ වැඩක්. 

                           
ඒත්.. ගම්පොළ ගෙවල් තිබුණ නුඹ, අවසාන ට්‍රේනින් පීරියඩ් එකට කොළඹ අවටම ඉන්න තීරණය කරලා තිබුණා.රත්මලානේ වැඩට ගිය නුඹ නැවතිලා හිටියේ මොරටුවේ. තවත් බැචාලා කීප දෙනෙක් එක්කම. කවදාවත් පරක්කු වෙලා නො යන නුඹ, එදත් උදේම බෝඩිමෙන් පිටත් වෙලා තියෙන්නේ අනිත් වුන්ට බැන බැන. පරක්කු වෙලා වැඩට එන බව කියලා.



                 කිසි දවසක ප්‍රමාද නො වුණ නුඹ,අද වෙද්දි ජීවිතෙනුත් ගිහින්. ඩොකා... උඹත් එක්ක හිටපු උඹේ යාළුවෝ, උඹේ නෑදෑයෝ, අම්මා-මල්ලී, මේ හැම දෙනෙක්ම දාලා උඹ යන්න ගිහින්.

හිටියා නම් උඹත් අද.......... 


                   මට මතකයි උඹේ තාත්තා  නැති වුණ වෙලාවේ අපි- උඹත් එක්ක එකටම හිටිය අපි,වාහනයක් අරගෙන ගම්පො

ළ 
 ආවේ-දවස් දෙක-තුනක් ගෙදර නැවතිලා උදවු කළේ ඒ තරමට උඹව අපේ හිත් වල හිටපු නිසා.
 





                       ඒ හැම බැඳීමක් අද උඹට අමතක වෙලා. එහෙම කරේ ඇයි කියලා කොච්චර උඹෙන් ඇහුවත්, උඹ උත්තර දෙන්නේ නෑ කියලා මම දන්නවා.

 සංජු ... මගේ ආදරය.

                     තවත් කීප දෙනෙක් එක්කම උඹේ රද්දොළුවේ තිබුණ ගෙදර සංජුත් හිටියා.හොස්ටල් හිටපු මම ලෙක්චර්ස් වලට පැය එකහාමාරක් විතර කලින් එන්න පුරුදු වෙලා හිටියා. අපට කතා බහ කරන්න, උදේට කන්න (කියව කියව කන්න ගියාම කොච්චර වෙලා යනවද?)

                         

උඹත් කිසිම කතාවක් නැතුව එනවා සංජු එක්කම.උදේ 6.30- 6.45 විතර වෙද්දි. ගේට්ටුව ළඟ මම බලා ගෙන ඉන්නවා දෙන්නා එක්ක එන හැටි.අපිත් එක්කම කැන්ටිමට එන උඹ උදේට කන්නේ අපේ බලේට අපි ළඟ ඉඳන්. කීමට කියන්නා වගේ උඹ අපට උදළු දාන්න කැමති වුණේ නැහැ. ඒත්.. උඹ වගේ යාළුවෙක් ලඟ නැති වුනාම කිසිම ගතියක් නෑ.




ඒ නිසා අපි උඹව ප්‍රිය කළා. 

                   හැමදාමත් සිහි කර කර ඉන්න අතීතයක් විතරක් ඉතුරු කරලා උඹ ගියේ ඇයි ඩොකා.

                    කැන්ටිමේ ජරාව කාලා කාලා පුරුදු වෙච්ච බඩට, ගෙදර ගිහින් මොනවා හරි පිරිසිදුවට හොඳ දෙයක් කාලා ආවොත් උඹට බඩ අවුල්.

                                " මේ ටික උඹලාගේ පන්තියෙන් තියා ගනින්. මං ඇවිත් ගන්නම් " කියලා උඹ උඹේ පර්ස් එක, ෆෝන් එක, ඔරලෝසුවත් එක්ක බෑග් එකත් දෙනවා.

                              කාලා ඉවර වෙලා උඹේ බඩු මුට්ටු ටිකත් අරගෙන තමයි අපි පන්තියට යන්නේ.

                                  

කොයි තරම් මහන්සි වුණත්, කතා කළොත් කවුරු හරි මචං ටිකකට වරෙන්කෝ ළඟකට ගිහින් එන්න කියලා හරි මචං තමයි.




                             ඒකම තමයි උඹ ඌට කිව්වෙත්. මම දන්නවා උඹ කාගේවත් හිත රිදවන්න කැමති නැති බව. ඒ නිසා වෙන්න ඇති කතා කරද්දි මාරයා, කිසිම කතාවක් නැතුවම ගියේ.

                            2008.ජුනි මාසේ 06 වැනිදා. මොරටුවේ බස් බෝම්බය පුපුරද්දි උඹත් ඒ බස් එකේ පිටිපස්සේ දොරට කිට්ටුවෙන් ඉඳලා තියෙන්නේ.

                   .........." ඩෝං.."...............

                       සද්දයක් ඇහුණා කියලා ආරංචි වෙද්දි පුරුද්දට වගේ කොළඹ ඉන්න අයට කතා කරලා බලලා ඉවර වුණාම තමයි නිදහසේ හුස්මක් වැටෙන්නේ.

ඒත්.. එදා...

               

                  සංජු කතා කරලා කිව්වේ ඩොකාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ටයිම් තමා එයා එළියට බහින්නේ කියලා. ඩොකාගේ පෙම්වතිය රෝස්. එයාත් හිටියේ අපේ බැච් එකේමයි. බැරිම තැන මම කතා කරේ රෝස්ට. 




"මොකද වෙලා තියෙන්නේ. ඩොකාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ නේද?"

" ඒක තමයි මාත් උදේ ඉඳන්ම 
ට්‍ර
යි කරනවා. ඉස්සර වෙලා රින්ග්ස් ගියා. දැන් නම් රින්ග්ස් යන්නෙත් නෑ."



"මාත් 
ට්‍ර
යි 
කරන්නම්. මොකක් හරි නිව්ස් එකක් ලැබුණොත් මට කතා කරන්න"



              
ඔය විදියට කාලය ගෙවිලා ගියා. 10 විතර වෙද්දි ආරංචියක් ලැබුණා. 

                ජෙනරල් හොස්පිට්ල් I.C.U එකේ ඉන්නවා.

            හුස්මක් වැටුණා. ඒත්... සිහිය නෑ. දන්න කියන දොස්තර මහත්තුරු- දොස්තර නෝනලා ඔක්කොටම කතා කළා. මම හිතන්නේ බැච් එකේ බොහොමයක් අය තම තමන්ගේ නෑ-හිතවත් කම් මුල් කරගෙන ඩොකා ගැන හොයලා බැලුවා.තුන් වරුවටම කවුරුම හරි උඹව බලන්න ආවා.


                  උඹ බෝම්බෙට අහු වුණා කියලා මට අහන්න ලැබුණාම හිතා ගන්නත් බැරි වුණා මොකද කරන්නේ කියලා. දරා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සයිට් එකේ අඬන්න බැරි කමට හිත තද කර ගෙන හිටියත්, ගෙදර ආපු ගමන් ඒ සේරම හයිය කැඩිලා බිඳිලා ගියා.

                         ඉකි ගහ ගහා උඹ වෙනුවෙන් මම අඬන කොට අම්මා ඇහුවේ 

"මොකද මේ" කියලා.

" අනේ අම්මේ ඩොකා බෝම්බෙට අහු වෙලා."

                             අම්මා වුනත් උඹව දැන ගෙන හිටියා. අපේ යාළුකම දැන ගෙන හිටියා. ඒත්.. අම්මා කාත් එක්කදෝ කිව්වා " සංජු එක්ක සම්බන්දේ තියන බව දන්න නිසා මිසක් නැත්නම් හිතන්නේ මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා නේ. මේ අඬන හැටියට "  


                               ඒ හින්දාම අම්මා මම හොස්පිට්ල් යන එකට විරුද්ධ වුණා. මග දිගට අඬ අඬ යන්න බෑ. ගෙදර ඉන්න කියලා.

                          මොනවා කරන්නද ඩොකා. මට උඹව බලන්න එන්න බැරි වුණා. ඒත් මම උඹ වෙනුවෙන් බෝධි පූජා කළා. උඹට ඉක්මණට සනීප වෙන්න කියලා. දවස් 4ක් සිහිය නැතුව හිටපු නුඹට 2008 ජුනි 10 වැනි දා බට වලින් පෝෂ්‍යදායක පිටි එකක් බොන්න දීලා තිබුණා. උඹේ තත්ත්වය ටිකක් හොඳයි කියලා.

                              ඒත්.. හවස් වෙද්දි තත්තවය එන්න එන්නම නරක අතට හැරිලා. හොස්පිට්ල් එකෙන් ඩොකාගේ අම්මාට කිව්වාලු " එයාට ඇහෙනවා. කණ ළඟට කරලා පිරිත් කියන්න කියලා."

                                රෑ වෙද්දි නරක මූසල ආරංචියක ආරම්බයක් ලැබුණේ


" ඩොකාගේ මොළේ මැරිලා"

                                හිත පිළි ගන්න කැමත්තක් තිබුණේම නෑ. දොස්තරලා මොනවා හරි කරලා ඩොකාව බේර ගනීවි. මෙච්චර දවසක් අල්ලගෙන හිටියා නේ. අපි බෝධි පූජා කරපු ඒවායේ ගුණයත් එක්ක එයා සනීප වේවි. හිතට බොරු කර කර රෑ නිදා ගන්න හැදුවත් නින්ද ගියේම නෑ.

                                        ඔවු. ඇත්තටම 2008 ජුනි 11 වෙනිදාට එළිය වැටුණේ අවිනිශ්චිත හැඟීමකින්. ඒත්.. වැඩට නොගිහින් බෑ. එක එක්කෙනා ගෙන් විස්තර ඇහුවත් හරි ආරංචියක් ලැබුණේ නෑ. 12.00 ට විතර ලැබුණා අහන්න අමිහිරි, කටුක, දුක් බර ආරංචිය.

"අපිව දාලා ඩොකා ගිහින්..........."

                                  මන් දන්නවා දැන් අවුරුදු 4 කටත් වැඩියි. ඒත්........ තවමත් උඹේ කට හඬ ඇහෙනවා. මගේ ෆෝන් එක මාරු කරන තුරු මේ මෑතක් වෙන තුරුම උඹේ ෆෝන් නම්බර් එක මං ළඟ තිබුණා. ඒක මකලා දාන්න හිත දුන්නේම නෑ.අදටත් උඹේ ගෙදර දුරකතන අංකය එහෙමමයි.



                                 උඹ නො එන්නම ගිහින්. ඒත්.. යාළුවේ  මේ හිත් වල උඹේ සුවද හැමදාමත් රැඳිලා තියෙනවා. සුබ ගමන් යාළුවේ....


නුඹට සුබ උපන්දිනයක් ම වේවා.....සමරන්න බැරි වුණත් උඹේ උපන් දිනය  මතක් කරන්නම් මෙහෙම හරි.

( ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ 2003 කණ්ඩායමේ තිවංක තුෂාන් අමරසිරි දයාබර සොයුර මේ සටහන උඹටමයි.) 


Thursday, November 29, 2012


දඹදිව සිහිනය

                                               ලොකු අම්මා කළින් වතාවක දඹදිව වන්දනාවේ ගිහින් තිබුණ නිසා මේ වතාවේ ලොකු තාත්තා එක්ක යන්න සූදානම් වුණේ බොහොම කැමැත්තෙන්.කසාද බැඳලා අවුරුදු බර ගාණක් ගියත්, ලොකු තාත්තා ට තාමත් ලොකු අම්මා කෙල්ල කාලේ වගේ. දැන් දරු දෙන්නා ගේ මංගලෝත්සවත් අහවර කරලා, එක් මිනිපිරියකට ආච්චි- සීයා වෙලා , රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහින් දෙන්නා නිදහසේ මේ ගමන යන්න සූදානම් වුණේ.
                                            
                                                  දින නියම වෙලා තිබුණේ නොවැම්බර් මාසේ 09 වෙනිදා ගිහින් 22 වෙනිදාට නැවත පැමිණෙන්න. අදාළ පැමිණිමේ දිනයත් දැන් පහුවෙලා සතියක් .
                                            
                                                      ඔය චාරිකාවට ලොකු අම්මා, ලොකු තාත්තා, ලොකු තාත්තාගේ එකම නංගි ( නැන්දා)ත් යන්නයි බලාපොරොත්තුව තිබුණේ.
                                            

                                                ඉස්සර දුෂ්කර පළාත් වලට කියලා මාරු වීම් දුන්න අපේ පැත්තට දැන් මිනිස්සු බොහොමයක් කතා කියනවා. කොළඹ මෙහෙට මාරු වේවි කියලා. එහෙම කිවුවාම ලංකාවේ ඉන්න අය නම් දන්නවා ඇති මේ කියන්නේ කොහේ ගැනද කියලා. නො දන්න සහ දන්නා බව නො පෙන්නා දැන ගැනීමට කැමති අය වෙනුවෙන් කියන්නම් අපේ ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට කියන ප්‍රදේශය. අපේ ගෙදර පිටිපස්සේ තිබුණේ කාලයක් ලුණු ලේවායක් වෙලා තිබුණ "කරගන් ලේවාය ". දැන් මහ ලේවාය විතරයි ලුණු ලේවාය විධියට භාවිතා කරන්නේ. ඒත්.. කරගන් ලේවායෙත් කරදිය මිශ්‍ර ජලය තමා තිබුණේ. කලපුවක් වගේ.


කාලයක් මිනිස්සු ලේවායේ ඉස්සෝ ඇල්ලුවා. ඉස්සො කොටු දාලා නෙමෙයි.
                                             දැන් ඒ ලේවායට බහින්න වත් බෑ.වරායට ඔය ලේවායෙත් කොටසක් ගත්තා. කොටසක් ගොඩ කරා. දූපතක් වගේ වෙන්න. තෙල් ටැංකි ගහලා, තව මොනවාදෝ ගොඩනැඟිලි වගයක් තියනවා.අපේ ගෙදර පිටි පස්සෙමයි. නැව් ආවම ගෙදර ඉඳන් බලන්න පුළුවන්.



                                      මේක අපේ ගෙදර පිටි පස්සට ගිහින් ගත්ත පින්තූරයක්







මේ පින්තූර දෙකම ගත්තේ හම්බන්තොට බෝඩ් එක තිබුණ තැන ඉඳන් ( පරණ පාරේ)


කතාව සෑහෙන්න පිට පැන්නා. ඔන්න ආයෙමත් කතාවට. ( ඇඩ් එක ඉවරයි )


                                       ඉතින් ඔන්න 07 වෙනිදා හවස 5.00 ට විතර ලොකු අම්මා ගෙදරින් එළියට බැහැලා තියෙන්නේ උදේ 3.00 ට තියන බස් එකේ කොළඹ යන්න ඕන නිසා ත්‍රී වීල් එකකට එන්න කියන්න,උදේ බස් එකට යන්න.

                                      ගෙදර කිට්ටුවම ගෙදරක ත්‍රීවීල් එකක් තියන නිසා එතැනට තමයි යන්න ගියේ. මඟදී හමු වුණ ලමයි දෙන්නෙක් එක්ක පාර අයිනේ කතා කර කර හිටියේ ළඟ එන කඨින පිංකම ගැන.

                                         ඔය අතරේ තවත් ත්‍රීවීල් එකක් සර්පයෙක් එනවා වගේ zසිග් zසැග් තාලෙට පාරේ ආවත්, පාර අයිනටම වෙලා හිටිය නිසාත්, යන්නට ඕනෑ තරම් ඉඩක් තිබුණ නිසාත්, තවත් අයින් වෙන්න තරම් ඉඩක් නො තිබුණ නිසාත් තුන් දෙනාව එතැනට වෙලා හිටියේ මේ ත්‍රී වීල් එක පහු වෙන තුරු.


                        පාර පුරා එහේ මෙහේ දුවමින් ආපු ත්‍රී වීල් එක නතර වුණේ ලොකු අම්මාගේ ඇඟේ හැප්පුණාට පස්සේ. එයාගේ නළල පැත්ත සයිඩ් කණ්ණාඩියේ වැදුණාම ලොකු අම්මා බිම වැටිලා. හොඳටම බීපු මිනිහෙක් තමයි ඒ විධියට එයාව හප්පා ගෙන ගිහින් තිබුණේ. ගමේම දන්න කියන මනුස්සයෙක්.

                                    කතා කර කර හිටපු පිරිමි ළමයි දෙන්නාත් එක්කම ලොකු අම්මා ගෙදරට ඇවිත්. කිසි අමාරුවක් තිබිලා නැහැ.

                                     ඒත්. 6.00 -6.30 විතර වගේ වෙද්දි දෙ පාරක්ම එයා වමනේ කරලා.

ඒ වගේම අහන දේවල් වලට උත්තර දෙන එකත් ටික ටික අඩු වෙලා. ගෙදර අය ඔක්කොම තීරණය කරලා තිබුණා ලොකු අම්මාව ස්පිරිතාලේ ගෙනියන්න. ලොකු නංගි වැඩ කරන්නේත් හම්බන්තොට ලොකු ස්පිරිතාලේ නිසාත්, ඒ වෙද්දි එයා ගෙදර හිටිය නිසාත්, අම්මා කියලා තිබුණා නංගිට ලොකු අම්මා එක්ක හොස්පිට්ල් යන්න.


                                  හැමදාම වගේ එදත් අපේ ගෙදරින් ස්කයිප් මාර්ගයෙන් කතා කළා. එහෙම කතා කරද්දි නංගි ව නොදැක්ක නිසා මං ඇහුවා "කෝ පොඩී..?" කියලා.

"එයා ස්පිරිතාලේ" බාලයා එහෙම කිවුවේ හොරෙන් වගේ. රෑට නංගි හොස්පිට්ල් ඉන්න එකේ ලොකු දෙයක් නැති වුණත්, ඒ කිවුව විධිය මට වෙනසක් දැණුනා.

"ඇයි ඒ...?"

"ලොකු අම්මා ස්පිරිතාලේ"

" ඒ මොනවා වෙලාද?"

"ලොකු අම්මා ත්‍රී වීල් එකක් හප්පන්න ගිහින් නේ."

" මොකක්.........?"


' ඒ කියන්නේ නවත්තලා තිබුණ ත්‍රීවීල් එකක ලොකු අම්මා හැප්පිලාද?'
මට මහා ප්‍රශ්නයක් මෙයාලා මොනවා කියනවාද කියලා.
ටිකකින් තමයි මම ඉහතින් කියපු කතන්දරය මට අහන්න ලැබුණේ.



                                      ඒ වෙලාවේ ලොකු තාත්තාට කතා කරලා තේරුමක් නෑ කියලා මට තේරුනා. එයා දැන් හොඳටම අවුල් වෙලා ඇති. මම කතා කරා සුදූට. ( සුදූ කිව්වේ ලොකු අම්මාගේ දුව.)


                             එයාගෙන් විස්තරය අහගෙන, හිත ටිකක් සනසලා, ලොකු තාත්තා එක්කත් කතා කළා.ලොකු අම්මා ළඟ ඉන්නේ නංගි නිසා එයාට කථා කළේ අළුත්ම තත්ත්වය දැන ගන්න.එතකොට ලංකාවේ වෙලාවෙන්  12.00 යි.

"දැන් ලොකු අම්මා කරාපිටියේ ( ගාල්ල )අරන් යන්න හදන්නේ. සී.ටී ස්කෑන් එකක් කරන්න ඕනලු. මෙහේ මැෂින් එක කැඩිලා"

"හරි එහෙනම් අපි තව ටිකක් රෑ වෙලා ගන්නම්."

"ලොකු තාත්තා දන්නේ නැහැ කරාපිටි ගෙනියන බව. එයාට කියන්න ඕන නැහැ." අම්මාගේ අදහස වුණේ ඒක. 

ඒත් මම ආයේ සුදූට ගත්තා. ලොකු තාත්තාත් සීන් එක දන්නවා.

                                             එයාලත් ගාළු යන්න සූදානම. ගෙදර කාර් එකක් තියෙන නිසා හොඳයි. ඒත්.. මේ වෙලාවේ ලොකු තාත්තා ඩ්‍රයිව් කරනවා කියන්නේ ලොකු රිස්ක් එකක්.'පුංචි මාමාට වාහනේ ගෙනියන්න දෙන්න. ලොකු තාත්තාට දෙන්න එපා.' මං සුදූට කිවුවා.


                                      පහුවදා ඔපරේශන් එකක් කරලා. මොළයට ලේ බැහැලා තිබුණාලු. ලේ අයින් කරලා හැම තැනින්ම බට එල්ලලා, සිහි නැති වෙන්න බෙහෙත් දීලා. බට විතරයිලු පේන්නේ එයාව බලන්න ගියාම.මුත්‍රා බටය, සේලයින් බටය, තව ඔක්සිජන් දෙන්නත් බටයක්, තව මොන මොන දේවල් වලට බට දාලා තිබුණාද මන්දා.


                                            කතාව ගොඩක් දිග වුණා. නොහිතපු විධියට . ඒත්.. අදටත් ලොකු අම්මා ස්පිරිතාලේ. එයාගේ වම් අත-පය වැඩ කරාට, තවම දකුණ දුර්වලයි. තවම කතා කරන්නෙත් නැහැ. සමහර විට කතා කරන්න බැරි වෙයි කියලා දොස්තර මහත්තුරු කිව්වාලු.අනේ එහෙම නම් වෙන්න එපා.තවම එයා ශක්තිමත්, දුවලා පැනලා වැඩක් කර ගන්න එයාට පුළුවන්. ඒ හිතේ හයිය හින්දා වෙන්න ඇති දැන් ටික ටික දකුණු පැත්තත් අත-පය හොලවන්නේ.කොහොම වුණත් දැනට දවස් 22ක් එයා ස්පිරිතාලේ. තනියට කවුරු හරි ළඟ ඉන්න ඕන. අම්මා, නංගිලා, සුදූ, පුංචි අම්මලා,තව නෑ හිතවතුන් මේ දවස් ටිකේම මාරුවෙන් මාරුවට එයා ළඟ තනි රැක්කා. මම ඈත රටක තනි වෙලා එයාට දැන් කොහොමද.. දැන් කොහොමද.. මොකක්ද අළුත්ම තත්ත්වේ අහ අහා ඉන්නවා.

Tuesday, November 27, 2012

පුංචි මතකයන් 2




                   6 වසරට ජාතික පාසලකට යන්න ඕන කියන අදහසක් මගේ හිතේ තිබුණේ නැහැ. ආවත් මම ඕවට යන්නේ නැහැ කියලා තමයි මම ගෙදර අයට කියලා තිබුණේ. ඒ නිසා ශිෂ්‍යත්වය සමත් අයට පුරවන්න දුන්න පාසල් ප්‍රමුඛතා පත්‍රයේ අම්මා දැම්මේ මෙන්න මේ විධියට.

1.  සංඝමිත්තා බාලිකා විද්‍යාලය - ගාල්ල.
2.  වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය - වීරකැටිය.
3.තංගල්ල බාලිකා විද්‍යාලය- තංගල්ල
4. ශාන්ත මේරි විද්‍යාලය- හම්බන්තොට.

                 මොනවත් පුරවන්නේ නැතුව කොලය දුන්නොත් මිස්ලාගෙන් බැණුම් ෂුව(ර්) නිසා තමයි එහෙමවත් පිරෙවුවේ. නැත්නම් හිස් කොලය තමයි දෙන්නේ. ඒ කාලේ වෙද්දි මොනවාද හොඳ පාසල් කියලා අදහසක් තිබුණේ නැහැ. අපට දුරින් නෑ වෙන අක්කා කෙනෙක් ගාල්ල සංඝමිත්තාවේ ඉගෙන ගත්ත නිසා ඒ ගැන දැන ගෙන හිටියා. කොළඹ ස්කෝල වලට යන්න කොහොමත් මගේ කැමැත්තක් තිබුණෙත්,අම්මලාගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. අනික ලකුණු අනුව දන්න කියන මහා ලොකු කියන ස්කෝලයක් ලැබෙයි කියන අදහසක් තිබුණෙත් නැහැ. හදිසියේ වත් යන්න ඕන කියලා හිතුණොත්.... කියන අදහසින් තමයි 1,2 ට විතරක් වත් හොඳයි කියලා අම්මලාගේ හිතේ තිබුණ ස්කෝල දැම්මේ. (වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය තමයි අපේ මා-පිය පරපුරම ගිය ස්කෝලේ)

                          6 වසරට අළුත් ස්කෝල ලැබෙන තුරු ගෙදර ඉන්න බැරි කමට හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයට ඇතුල් වුණා.මගේ අදහස වුණේ කොහේවත් දුරකට යන්න බෑ කියන එක. ඉතින් මම සතුටින් ශාන්ත මේරියට ගියා. වාරයක් අවසාන වෙලා අළුත් අවුරුදු නිවාඩුවත් ආවා.නිවාඩු කාලය අතර තුර සංඝමිත්තා විද්‍යාලයට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න කියලා ලියුමක් ඇවිත් තිබුණා.

"අනේ මට නම් යන්න බෑ...."
 මගේ අදහස වුණේ ඒක. දිගින් දිගටම මම කිවුවේ යන්නම බෑ කියලයි.

ඒත්.... හදිසියේම,


මොනවා හරි පොඩි දෙයක් වුණා. ( සිද්ධිය මට හරියට මතක නෑ.)

ඒ කාලේ මම හරිම නපුරුයි. ( දැන් කියලත් ඕ.....නම නම් චු....ට්ටක් විතර ඊට වඩා අඩු ඇතී. 

             මට හිතුණා ගෙදර මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන. මම තවත් මේ ගෙදර ඉන්නේ නෑ කියලා. යන්න තැනක් කියලා තිබුණේ අළුත් ස්කෝලේ. ඔය විධියට බොහොම හදිසියේ කේන්තියට ගත්ත තීරණයක් අනුව මම සංඝමිත්තාවට යන්න කැමැත්ත පළ කළා.    (ඇත්තටම කැමැත්ත පල කළා නෙමෙයි.මට යන්නම ඕන කියලා කිවුවා, ගෙදර අය අකැමති වුණත් )

තියන හිතුවක්කාර කම නේ. 

"හරි කමක් නෑ. නැත්නම් පස්සේ කාලෙක අපටම දොස් කියාවි ඉගැන්නුවේ නෑ කියලා. ඕවා අහ ගන්නවාට වඩා හොඳයි යන්නම ඕන කියනවා නම් යවන එක."

ගෙදර අයත් එහෙම තීරණය කළා.ඔය විධියට බොහොම හදිසියේ ස්කූල් යුනිෆෝම් මහලා,හොස්ටල් නවතින්න ඕන කරන බඩු මුට්ටු අරගෙන, ඔක්කොම සූදානම් කර ගත්තා.


ලස්සනම ලස්සන දවසක අළුත් යුනිෆෝම් එකත් ඇඳ ගෙන මැයි මල් වැටුණ තාර පාර දිගේ අළුත් ස්කෝලෙට ආවා.


ඒ කතාව ආයෙමත් හමු වුණාම........