Tuesday, November 27, 2012

පුංචි මතකයන් 2




                   6 වසරට ජාතික පාසලකට යන්න ඕන කියන අදහසක් මගේ හිතේ තිබුණේ නැහැ. ආවත් මම ඕවට යන්නේ නැහැ කියලා තමයි මම ගෙදර අයට කියලා තිබුණේ. ඒ නිසා ශිෂ්‍යත්වය සමත් අයට පුරවන්න දුන්න පාසල් ප්‍රමුඛතා පත්‍රයේ අම්මා දැම්මේ මෙන්න මේ විධියට.

1.  සංඝමිත්තා බාලිකා විද්‍යාලය - ගාල්ල.
2.  වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය - වීරකැටිය.
3.තංගල්ල බාලිකා විද්‍යාලය- තංගල්ල
4. ශාන්ත මේරි විද්‍යාලය- හම්බන්තොට.

                 මොනවත් පුරවන්නේ නැතුව කොලය දුන්නොත් මිස්ලාගෙන් බැණුම් ෂුව(ර්) නිසා තමයි එහෙමවත් පිරෙවුවේ. නැත්නම් හිස් කොලය තමයි දෙන්නේ. ඒ කාලේ වෙද්දි මොනවාද හොඳ පාසල් කියලා අදහසක් තිබුණේ නැහැ. අපට දුරින් නෑ වෙන අක්කා කෙනෙක් ගාල්ල සංඝමිත්තාවේ ඉගෙන ගත්ත නිසා ඒ ගැන දැන ගෙන හිටියා. කොළඹ ස්කෝල වලට යන්න කොහොමත් මගේ කැමැත්තක් තිබුණෙත්,අම්මලාගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. අනික ලකුණු අනුව දන්න කියන මහා ලොකු කියන ස්කෝලයක් ලැබෙයි කියන අදහසක් තිබුණෙත් නැහැ. හදිසියේ වත් යන්න ඕන කියලා හිතුණොත්.... කියන අදහසින් තමයි 1,2 ට විතරක් වත් හොඳයි කියලා අම්මලාගේ හිතේ තිබුණ ස්කෝල දැම්මේ. (වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය තමයි අපේ මා-පිය පරපුරම ගිය ස්කෝලේ)

                          6 වසරට අළුත් ස්කෝල ලැබෙන තුරු ගෙදර ඉන්න බැරි කමට හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයට ඇතුල් වුණා.මගේ අදහස වුණේ කොහේවත් දුරකට යන්න බෑ කියන එක. ඉතින් මම සතුටින් ශාන්ත මේරියට ගියා. වාරයක් අවසාන වෙලා අළුත් අවුරුදු නිවාඩුවත් ආවා.නිවාඩු කාලය අතර තුර සංඝමිත්තා විද්‍යාලයට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න කියලා ලියුමක් ඇවිත් තිබුණා.

"අනේ මට නම් යන්න බෑ...."
 මගේ අදහස වුණේ ඒක. දිගින් දිගටම මම කිවුවේ යන්නම බෑ කියලයි.

ඒත්.... හදිසියේම,


මොනවා හරි පොඩි දෙයක් වුණා. ( සිද්ධිය මට හරියට මතක නෑ.)

ඒ කාලේ මම හරිම නපුරුයි. ( දැන් කියලත් ඕ.....නම නම් චු....ට්ටක් විතර ඊට වඩා අඩු ඇතී. 

             මට හිතුණා ගෙදර මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන. මම තවත් මේ ගෙදර ඉන්නේ නෑ කියලා. යන්න තැනක් කියලා තිබුණේ අළුත් ස්කෝලේ. ඔය විධියට බොහොම හදිසියේ කේන්තියට ගත්ත තීරණයක් අනුව මම සංඝමිත්තාවට යන්න කැමැත්ත පළ කළා.    (ඇත්තටම කැමැත්ත පල කළා නෙමෙයි.මට යන්නම ඕන කියලා කිවුවා, ගෙදර අය අකැමති වුණත් )

තියන හිතුවක්කාර කම නේ. 

"හරි කමක් නෑ. නැත්නම් පස්සේ කාලෙක අපටම දොස් කියාවි ඉගැන්නුවේ නෑ කියලා. ඕවා අහ ගන්නවාට වඩා හොඳයි යන්නම ඕන කියනවා නම් යවන එක."

ගෙදර අයත් එහෙම තීරණය කළා.ඔය විධියට බොහොම හදිසියේ ස්කූල් යුනිෆෝම් මහලා,හොස්ටල් නවතින්න ඕන කරන බඩු මුට්ටු අරගෙන, ඔක්කොම සූදානම් කර ගත්තා.


ලස්සනම ලස්සන දවසක අළුත් යුනිෆෝම් එකත් ඇඳ ගෙන මැයි මල් වැටුණ තාර පාර දිගේ අළුත් ස්කෝලෙට ආවා.


ඒ කතාව ආයෙමත් හමු වුණාම........


5 comments:

  1. බට්ටි වැඩ පටන් අරන් වගෙ. බලන් යනකොට මෙයා පට්ට නපුරුයි නෙ

    ReplyDelete
  2. හ්ම්ම්...... නැත්නම් ඉතින් ඉහ ගහ ගෙන ඉන්න අමාරුයි නේ, රටේ ලෝකේ.

    ReplyDelete
  3. ඇදෙ අපේ තාත්තාගේ සනුහරෙත් ගිහින් තියෙන්නේ ඔය ස්කොලේටම තමයි....

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මානවක ත් හම්බන්තොට දිස්ත්‍රික්කයේද?

      Delete
  4. ඔන්න මේකත් කියෙව්වා :)
    කෙටි වැඩිදත් මන්ද කියල හිතුන හැබැයි

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...