Sunday, October 1, 2017

ශලනි දසුන් සහ සන්දීපනී

       පහුගිය දින කීපය පුරාවටම මුහුණු පොතේ හැම තැනම වගේ දකින්න ලෑබුණේ මේ කාරණාව ගැන.එයින් හුඟාක්ම අය කතා කළේ ශලනි ගැන. මම කැමතියි ඇයට මේ ලිපිය දකින්න ලැබෙනවා නම්.. ඇයට මෙය දකින්නට හැකිවෙන්න මේ ලින්ක් එක යොමු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එය කරන්න.

        ගොසිප් සයිට් එකක මම දැක්කා ශලනිටත් සිය දිවි හානි කර ගන්නට හිතෙන තරමටම මානසිකව වට්ටවලා තියෙන බව.
    
             ඇත්ත. ඇය මහා විශාල ලෙස ඇද වැටෙන්න ඇති. ඒත්.. ශලනි මම ඔබට කියන්නේ හිත හයිය කර ගන්න .ඔයා දන්නවා ඔයාගේ ක්ෂේත්‍රයේ කොහොමද කට කතා හැදෙන්නේ කියලා. ඒවායින් හිත රිදෙනවා තමයි. මහාමෙරක් තරම් ආදරය කළ කෙනාගෙන් මේ සා විශාල හිත් රිදීමක්, මේ තරම් ලොකු බොරුවක් ඔයාට කරාවි කියලා කොහොමටවත් බලපොරොත්තු නො වෙන්නට ඇති.

          හැමදාම එකට ඉන්න මහා ප්‍රාර්තනාවන් හිතේ පුරව ගන්න ඇති. ආදරය එහෙමයි. හදිසියේම වගේ මහ මෙරක් තරම් ආදරය කළ කෙනා විවාහකයෙක් කියලා දැන ගත්තාම හිතට දැණෙන දුක දසුන් හිතන්න නැතුව ඇති. තමන් විවාහකයි කියලා ඔයාට නො කියන්න හිතුවේ ඔහුට ඔයාව නැති වෙයි කියන බයට වෙන්නත් ඇති.

           ඒත්... ඒ නිසාම ඔයාට "දසුන් ගේ අනියම් පෙම්වතිය " කියන හිත පාරවන වචන ටික අහන්නට වුණා.ඔයා වගේම දසුන් ගේ බිරිඳ සන්දීපනී (ගොසිප් සයිට් එකකින් නම හොයා ගත්තේ, සමහරවිට වැරදි ද දන්නේ නෑ) පවා දසුන් නිසා නොසෑහෙන්න හිතින් විඳවන්න ඇති. පාසල් කාලයේ පටන් අවුරුදු 13 ක ප්‍රේමයක්, විවාහ වෙලත් වසරක් ගෙවී යද්දී කෙළවර වෙන්න හදන කොට සන්දීපනී කොහොම දරා ගන්නද? ඇයත්, ඔබත් දෙදෙනාම ගැහැණු න්. රටේ ලෝකේ කොයි කවුරුත් ප්‍රේම සම්බන්ධ වලදී බනින්නේ ගැහැණුන්ට. පිරිමි සම්බන්ධතා 100ක් ඇති කර ගත්තත්, ඔහුගේ වරදක් දකින්නේ නැහැ. ඔහු මහා වීරයෙක්. කීමට කියන්නේ රස්තියාදු බසින් " ඌ ගෑණු 4 -5 ක් රන් කරනවා කිසි ගේමක් නැතුව " කියලා. හැබැයි කෙල්ලෙක් එහෙම වුණොත් ** බැ**, ගණිකාව, බඩුව... නො සෑහෙන්න නරක වචන... 

         තව ටික කාලයක් ගත වෙද්දී ඔය දේවල් මිනිස්සුන්ට අමතක වේවි. හැමෝටම ජීවිතේ දුෂ්කර කාලයන් එනවා. ඒ කාලය ගෙවී ගියාම ඔයා ගැන මිනිස්සුන්ගේ හිත්වල තියෙන කහට නැති වෙලා යාවි. කාලය ඔයා නිවැරදි පුද්ගලයෙක් කරාවි.

     දසුන් ට ඔහුගේ බිරිඳ අවසන් ගෞරව දක්වන පින්තූරයක් මුහුණු පොතට එක් කරලා සටහනක් යොදලා තිබුණේ " අවසාන මොහොතේ තනි රකින්න ඉන්නේ කසාද බිරිඳ මිස අනියම් පෙම්වතිය නොවේ " කියලා. ඒක දැක්ක වෙලාවේමයි මට හිතුණේ මේ ගැන ලියන්න.

        ශලනිට එතැන ඉන්න කොයි තරම් වුවමණා වුණත් මේ කට කතා නිසා ඇය කොහොමද ඉන්නේ කියන දේ මට හිතුණා. මේ වගේ දේවල් හුඟාක් ලියන්නේ පිරිමි අය. ඒ වගේම මේ වෙලාවේ ශලනි එක්ක සුන් ට අවසන් ගෞරව දක්වන්න කාවිංග ගිය බව ත් දැක්කා.

      ශලනි වගේම ශලනි නිවැරදි කියලා හිතන හැමෝම මේ වෙලාවේ කාවිංග ට ස්තුති කළ යුතුයි. ශලනිගේ තනියට ඇය ළඟ ඉන්නවාට. ඒත්.. මේ වෙලාවේ කාවිංග බොර දියේ මාළු බාන්න හදනවා නම් ඒක බොහොම නරකයි. මම හිතනවා අයියා කෙනෙක් විධියට ඔහු මේ වෙලාවේ ශලනි ළඟ ඉන්න ඇති කියලා, එයාටත් ඉන්නේ නංගි කෙනෙක් විතරයි නේ.

       කාලය ත් එක්ක ශලනිට තේරුම් ගන්න පුළුවන් වේවි කොහොම කෙනෙක්ද එයාට ගැලපෙන්නේ කියලා.දසුන් නිසා ශලනි හුඟක් ජීවිතේ තේරුම් ගනීවි කියලා හිතනවා, ආදරේ නාමෙන් බොරු කියන අය, ඇත්තම කියලා ජීවිතේට ළං වෙන්න හදන අය කවුද කියලා අත්දැකීමෙන් දැන ගනීවි.

         ඒ අත්දැකීම් කටුකයි. හුඟක් වේදනාකාරියි. ඒත්... දසුන් ජීවිතෙන්, ඒ ප්‍රශ්න වලින් පලා ගියා. ගැහැණු අපේ හිත් හයියයි කියන කාරණාව ලෝකෙටම පෙන්නන්න. ශලනි වගේම සන්දීපනීටත් මේ කියපු දේ අදාළයි.

  




Friday, June 16, 2017

දැන ගන්න කියනවද....?

පහුගිය දවසක මම පෞද්ගලික බැංකුවකට ගියේ මගේ නමට බැංකුවෙන් එවන ලියුම් වලට එඩ්‍රස් එක මාරු කරන්න.

මම: මිස්, මට එඩ්‍රස් එක මාරු කරා කියලා දන්වන්න ඕන, අළුත් එඩ්‍රස් එක දෙන්න ආවේ එහේට ලිපි එවන්න කියලා..

ඇය:ෆෝම් එකක් තියනවා ඒක ෆිල් කරලා දෙන්න මම හෙඩ් ඔෆිස් එකට යවන්නම්.

එහෙම කියලා ඇය පරිගණකයෙන් ඈ සතුව තිබූ හැම ෆෝල්ඩ (ර් ) එකක්ම පරික්ෂා කළා. ඒත්.. ඇයට එය හමු වුණේ නැහැ. ඇය කාටදෝ ඇමතුමක් අරගෙන විස්තරය කිවුවා. ඇමතුමට සම්බන්ද වුණු කෙනාගේ උපදෙස් මත ඇය මගෙන් ලිපියක් ගත්තා,පැරණි ලිපිනයෙන් නව ලිපිනයට මාරු කරන්නැයි ඉල්ලමින්.

බැංකුව ඇතුළේම තවත් වැඩක් තිබූ නිසා ඇයට ස්තුති කොට මම ඒ වෙත ගියා. බැංකුවෙන් එළියට යන්න හැදූ මාව ඇමතූ ඇය,

" මිස්,ෆෝම් එකටත් අත්සනක් දාලා යනවද" අසමින් මාව නැවතුවා.


අවශ්‍ය ලිපි නොලැබී යනවාට වඩා ඒවා ලැබීම අත්‍යාවශ්‍ය නිසා මම නැවතුණා. 

ඒත්... ෆෝම් එක ඇයට හමු වෙලා නැහැ, කළින් කතා කළ කෙනාගෙන් එය ඇත්තේ කොහිදැයි නැවතත් අසන්නට ඇති. මොකද ඇය බැංකුවට අළුත්. අනික එය බැංකුවේ වුණත් රක්ෂණයක් සම්බන්ද කතාවක්. ඒ සම්බන්දයෙන් බැංකුව තුළ විස්තර අසා ගන්නටයි ඇය ඉන්නේ. තුළේ ඉන්න වෙන කෙනෙකුගෙන් ඇහුවත් ඇයට ඒ ගැන දැන ගන්න බැරි, ඒ කාර්යය වෙනුවෙන් ඉන්නේ ඇය විතරක් නිසා. ඒකයි ඈ දුරකතන ඇමතුමක් ගත්තේ..

ඉක්මණට වැඩේ කර ගෙන යන්න ආපු මට ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් ගත කරන්න වුණා.
අවසානයේ සෑහෙන වෙලාවක් ගෙවලත් මට සිද්ධ වුණේ කළින් ලියූ ලිපිය වෙනුවට අළුතෙන් ලියුමක් ලියා අත්සන් කර දී එන්නයි.

ඇය මගෙන් ඉල්ලා හිටියා ලිපිනය සනාථ කරන්න අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කරන ලෙසට.


මම: මම මේ එඩ්‍රස් එක මාරු කරන්නේ ඒ ලියුම් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා දන්න තැනට. හැබැයි එතන මගේ නමට එන ලයිට් -වතුර බිල් නැහැ.ඉතින් කොහොමද එතකොට ඒක ඔයාලාගේ අවශ්‍යතාවයට හරියන්නේ..

ඇය: හෙඩ් ඔෆිස් එකෙන් ඉල්ලනවා නේ. ඒකයි.

මම: ඉතින් අපි කියනවා නම් මේ එඩ්‍රස් එකට ලියුම් එවන්න කියලා, අත්සනත් තියනවා නම් බැංකුවට මොකක්ද තියන ප්‍රශ්නේ..

ඇය: නිරුත්තරයි..

මේ මට සිද්ධ වුණ දෙයක්.
මේ වගේම දෙයක් අපේ අම්මටත් වෙලා තිබුණා. 

වරායේ ආරක්ෂක හේතූන් නිසා අපේ ගෙවල් වලින් ඉවත් වෙන්න කිවුවා අපට, ඒ වෙනුවෙන් ඉඩම් දීලා ගෙවල් හදා ගන්න කීවා.

තිබුණ ගෙදර 2008 ඉඳන් වරායට ගන්නවා- අයින් කරනවා කිය කියා කිසිම අළුත්වැඩියාවක් කරන්න පවා ඉඩක් දුන්නේ නැහැ. ඒ ගෙදරට ඇස්තමේන්තුවක් හදලා 2014 විතර බඩු මිළට. 2015 වගේ අළුත් රේට්ස් දාලාද කොහේද වන්දියක් අනුමත වෙලා තිබුණා. ඒකත් දෙන්නේ කොටස් වශයෙන්. වහලත් ගලවලා අයින් කරාට පස්සෙයි 100% වන්දිය ලබා දෙන්නේ..


ඉතින් ඔය දුක්බර දවස පහුගිය දාක අපේ පරණ ගෙදරටත් උදා වුණා. ඒ කිවුවේ වහල ගලවලා දාන්න වුණා. ඉතින් දැන් එතැන පස් ගොඩක් විතරයි..

                                          මෙන්න එතැන


ඉතින් අළුත් තැනට ලියුම් ගෙන්න ගන්න තැපැල් කන්තෝරු- බැංකු හැමතැනටම අම්මාට යන්න වුණා. "ඒක නෙමෙයි මේකයි දැන් ලිපිනය" කියමින් ලියුම් ලියාගෙන.

මට ඉහත සිදුවීමට අදාළ බැංකුවෙන්ම අම්මාටත් ඒ ප්‍රශ්නයම ඇවිත්. ලයිට්- වතුර බිල් අම්මා අරන් ගියත් එතැනත් ප්‍රශ්නයක් වෙලා. වරිපණම් අංක කලින් ලබා දීලා තිබිලා නැහැ. ලයිට්- වතුර දීලා තියෙන්නේ ඉඩම් ඛාණ්ඩයට.දැන් ලිපිනය තියෙන්නේ වරිපණම් අංකයට. බැංකුවෙන් ඔය ගැන අහලා. ආයතන වලින් දුර දිග නොබලා කරන දේවල් වලින් නිකන් ප්‍රශ්න ඇති වෙන්නේ අහිංසක මිනිස්සුන්ට.


ඔය මිනිස්සු, දීපු ඉඩම් වල පදිංචි වෙන කොට වරිපණම් අංකය මුලින්ම දුන්නා නම් ඔය දේවල් නැහැ නේ.

අනික එහෙම ලිපිනය මාරු කරද්දී අදාළ පුද්ගලයා නමට සාක්ෂි (ලයිට්-වතුර බිල් ) අහනවලු. එහෙම නම් එක ගෙදරකින් බැංකු පොතක් ගන්න පුළුවන් ගෘහ මූලිකයාට විතරයි. අම්මා ඇහුවලු එතකොට අළුතින් පොතක් ඕපන් කරනවා නම්.... කියලා

එතකොට අයිඩෙන්ටියේ තියන එඩ්‍රස් එකටලු ඕපන් කරන්නේ...

මේ සම්බන්ධව දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න...

* ගෑණු ළමයෙක්ට ඉපදෙද්දි බැංකු ගිණුමක් ඇරඹුවොත්.....

1. එයා ට විවාහයෙන් පසුව නව හැඳුනුම්පතක් ගත යුතුද...( සැමියාගේ ගමට ගිහින් ඒ බැංකුවකින් ගිණුමක් විවෘත කරන්න )
2. නැතිනම් මම දාලා තියනවා වගේ පස් ගොඩක් තියන තැනකට ඒ එඩ්‍රස් එක දානවද....


*තව සමහර බැංකු තියනවා වෙන ප්‍රදේශයකින් තව තැනකට එයාලගේ අකවුන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ නෑ. අදාළ ප්‍රදේශයෙන් අකවුන්ට් එක ඕපන් කරගෙන කලින් එකේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නම් කියනවා.

ඒ මදිවාට දැන් සල්ලි දාලා විතරක් මදි, ගන්නත් ඕනලු. නැත්නම් ඒකත් ක්‍රියාවිරහිතයි....


අනේ අපොයි හිඟන්නන්ගේ පාත්තරේටමයි හෙනහුරා කඩා පාත් වෙන්නෙත්.....

Sunday, June 11, 2017

අහිමි වී ගිය මිතුර...

අදින් හරියටම වසර 09 කට පෙර අද වගේ දවසක් උදා වුණේ නුඹේ මිතුරු හැම දෙනාගේම නෙත් කෙවෙණි තෙත් කරමින්. බලාපොරොත්තු එකින් එක එක් කරගෙන බලා ගෙන හිටියා නුඹ ඇඳෙන් නැගිටලා පුරුදු විධියට " කොහොමද මචං " කියලා කතා කරන තුරු. 

" දැන් ටිකක් ගුණයි"

"අද කෑම (ඝණ ආහාර ) දුන්නා"

අපිට අහන්න ලැබුණ බලාපොරොත්තු එක් කළ දේවල්...

2008 ජුනි මාසේ 06 වෙනිදා සමහර අයට විතරක් මතක ඇති. ඒ නපුරු ඛේදවාචකයෙන් විඳවපු අයට විතරක් මතක ඇති, අනිත් හැමෝටම නිකම්ම නිකන් අතීතයක් විතරක් වුණු එක්තරා දවසක් විතරයි. 

"මොරටු බස් බෝම්බය"

තවමත් මට අදහා ගන්නට බැරි -අමතක නොවෙන දුක්බර දවසක්

පුරා දින 05ක් සිහිසුන්ව සිටි බව...

සිහිය නො ලබා ම නො එනා ගමන් ගිය බව...
නුඹේ මවු දරා ගත නොහැකි දුක් කන්දක් පපුවේ හිර කරගෙන, හිස අතගාමින් නුඹේ කණට මුව තියාන පිරිත් කියූ බව....දන්නවාද යාළුවේ.

ඔවු 

සමහරවිට දන්නවා ඇති.
බලාන ඉන්න ඇති, අවකාශයේ සැරිසරමින්.....
නුඹ බනිනවා ඇති මට, ආවේ නෑ නුඹව බලන්න ස්පිරිතාලෙටවත් කියලා

දන්නවා නම් නුඹ, අනතුරට ලක් වුණ බව දැන ගත් මොහොතේ මහා හයියෙන් හඬමින් ගෙදර කල් ගත කළ හැටි...
මගේ අම්මා බය හින්දාමයි නුඹව බලන්න නො එව්වේ..
ඒක නුඹටත්, මටත් දෙදෙනාටම නොහොඳක් වේය බයට...

කෙල්ලෝ 05 ක්...
කණ්ඩායමේ හිටියා,
කඳුළු පුරවාන හඬන විට....
දකින අය නුඹ ගැන වැරදි වැටහීම් තියා ගනීය බය...

කවුරුත් නුඹව දැන ගෙන හිටියා හැම ගෙදරකම....
මොකද හැමෝම නුඹ ගැන කතා කළා..

යාළුවේ.... නුඹ හොඳ තැනක ඇති...

තෙරුවණ් සරණයි නුඹට..

(මං නිවන් සුව පතන්නේ නැහැ නුඹට ) සමාවෙන්න ඒ වෙනුවෙන්..

Saturday, September 17, 2016

දැන් හැදෙන උන් සහ අපට අමතක අපේ බාලේ...

අවසාන වතාවට බ්ලොග් එකට ගොඩ වැදුණේ කවදාද කියලා මටවත් මතකයක් නැහැ. ඒත්...හදිසියෙම වගේ මතක් වුණා මටත් බ්ලොග් එකක් කියලා එකක් තිබුණ බව. දැන් ඒකේ දූවිලි වැදිලා, මකුණු දැල් බැඳිලා ඇති ටිකක් බලන්න ඕන කියලා හිතුණා.

කම්පියුටරේ ළඟට ආවාම මට ඒකට කිසිම අයිතිවාසිකමක් නැහැ වගේ. සිංදු බලන්න ඕන, වීඩියෝ බලන්න ඕන කිය කියා මගේ පුංචි කෙල්ල ඒක අයිති කර ගෙන. අඩු තරමේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවත් දෙන්නේ නැහැ.ඒකටත් එයාගෙන් අවසර ඕන. "මං මේක බලලා දෙන්නම්" කියලා එයාගේ වීඩියෝ බලනවා අල්ලන්නවත් දෙන්නේ නැහැ. ටිකක් සැර කරන්නම ඕන ඒක ගන්න නම්.

එයාට දැන් අවුරුදු දෙකහමාරක්. ඇහෙන දකින දේ හරි  ඉක්මණට ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි කියන කතා. 

ඔක්කොටම හපන් කෑම කවන එක.එයාගේ පිඟාන අරන් හැම තැනම දුවන්න ඕන එයා පස්සේ. පැය එකහමාරක්- දෙකක් විතර.මම කාලා හිටියේ නැත්නම් එයාට කවලා ඉවර වෙද්දි මට කෑම එපා වෙලා.

කියවන කවුරුහරි ඉන්නවා නම් ප්‍රායෝගික අදහසක් ඉදිරිපත් කරන්නකෝ මේ පොඩ්ඩන්ට කෑම ටික කවන්න පුළුවන් විධියක් ගැන.

හැමදාම වගේ කෙල්ල මගෙන් ගුටි කනවා කෑම කන්න ගිහින්. කෝටුවට බයට මුලින් කෑවා. පස්සේ ගුටියක් ලැබෙන්නම ඕන බත් කටට ගන්න. අඬලා තමයි කන්නේ, බලෙන් වගේ.

ගහන්න දුකයි තමයි, ඒත්.. කෑම ටික කවා ගන්න ඕන නිසා කොච්චර දුක වුණත් ගහන්න කෝටුවට අත යනවා.

"අපෝ දැන් හැදෙන උන් නම්....." හැම කාලෙකම වැඩිහිටියෝ පොඩ්ඩන් ගැන එහෙම කියන්න ඇති. අපේ ආච්චි-සීයලා අපේ අම්මා-තාත්තලාට, අම්මා-තාත්තා අපට, අපි අපේ පොඩ්ඩන්ට...අපේ පොඩ්ඩොත් කවදා හරි අම්මා තාත්තලා වුණු කාලෙක එයාලගේ දරුවන්ට..

[මේ පුංචි වීඩියෝවේ ඉන්නේ මගේ චූටි කෙල්ල]


video

ටිකක් නිදා ගන්න වෙලාව තමයි කම්පියුටරයට මට අයිතිය ලැබෙන වෙලාව. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නයි මම මේ අකුරු ටික කොටන්න ගත්තේ.

අපේ අම්මලාට අපිව ලොකු මහත් කරන්න තවත් වැඩිහිටි අයගේ සහාය ලැබුණා අඩුවක් නැතුව. පුංචි අම්මලා- මාමලා හිටියා උදවුවට. ඒ කාලේ අපි වුණත් අම්මා පස්සේ ම දිවුවේ නැහැ, මගේ මතකයේ තරමට නම්. දැන් මගේ කෙල්ල සැරින් සැරේ දුවගෙන එනවා හොයා ගෙන, කාත් එක්කවත් ඉන්නේ නැහැ.

කෙටියෙන්ම කිවුවොත් නාන්න-මූණ හෝදන්න වෙන්නෙත් එයා ඒ දේට සූදානම් වුණාම තමයි. හදිසි අවශ්‍යතාවයකට දුව ගෙන ආවත් " මාත් එනවා " කියාගෙන එනවා, දොර වහ ගත්තම එළියට එනතුරුම දොරට ගහනවා.

" හප්පා.... දැන් හැදෙන ළමයි..."


Thursday, June 18, 2015

ඩක්වත් ලුවිස්‌

                      ඒ 2008 වසරයි. ජනවාරි-මැයි අතර කාලයේ එක්තරා ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට ඇවිත් ගාල්ලේ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් තිබුණු දවසක්. [එක්තරා ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ලියා දක්වන්නට වුයේ ඒ කුමන කණ්ඩායම දැයි මේ වන විට මතකයෙන් ගිලිහී ගොස් ඇති බැවිනි.]
                      එවකට ගාල්ලේ තාවකාලික පදිංචි කරුවන් වූ අප නිවසේ ඇත්තන් ස්ථිර පදිංචියට හිමිකම් කිවූ රුහුණු මාගම්පත්තුව වෙත ගොස් සිටි බැවින්, පුංචි අම්මාගේ තාවකාලික නිවසේ මටද නවාතැන් ලැබී තිබූ සමයයි. කළගුණ සලකනවා වෙනුවට මෙලෙස මඩ ප්‍රහාර දියත් කරනු ඇතැයි මා හට රොස් පරොස් එල්ල නොවනු ඇතැයි සිතමි.

                        පුංචි අම්මාට දුවෙක් හා පුතෙක් සිටිනා අතර, ඔවුන් දෙදෙනාම මට වඩා අඩුම වශයෙන් තනි ඉලක්කමෙන් ලිවිය හැකි සංඛ්‍යාවටත් වඩා වැඩි වයස් පරතරයකින් බාලයෝ වූහ. මා රැකියාවට යද්දී ඔවුහු පාසල් ගියහ. නැගණිය වැඩිමහල් වූ අතර , මලයා ඈට තෙවසරකින් බාල විය. දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු නිසාම, ගුරුවරියක වූ පුංචි අම්මා ස්ථාන මාරුවක් ද ලබා ගෙන, ඔවුන් හා බදු ගෙයක සිටියේ සති අන්තයට බාප්පාට ද ඒ වෙත එන්නට යැයි පවසමිනි. ඔහු ද රැකියාව නිසා ම, හදා ගත් නිවසට වී තනිව පුරා සතියක් ගෙවා දමා සිකුරාදාවේ සිය පවුල වෙත පැමිණෙන්නේ සතියකට සෑහෙන කළමනා ගෙන ඒම ද කළ යුතු බැවිනි.

                                අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දැඩි ලෙස උත්සුක වුයේ දෙදරුවන්ටත් වඩා පුංචි අම්මා ය. එසේ හෙයින් ගෙදරට රූපවාහිනියකට ඉඩක් නම් ලැබුණේ ම නැත. යාන්තමට ප්‍රවෘත්ති වලට පින් සිදු වන්නට රේඩියෝවක් පමණක් ඉඩ හසර වෙන් කර ගත්තේය.නො එසේ නම් පුංචි වුන් දෙන්නා මෙලහකටත් අංගොඩ මහ ස්පිරිතාලේ නතරව ප්‍රතිකාර ගනු ඇත. දෙදෙනාම උසස් පෙළ අවසන්ව යන තුරාවටම තත්ත්වය පැවතියේ එලෙසිනි. වාසනාවට මා එහි කල් ගෙව්වේ කෙටි කාලයක් පමණි. මොන තරම් බාධක පැමිණියද මැච් එකක් ඇති දවසට වෙන කිසිවක් ඇසීමට මල්ලී ගෙන් ඉඩක් නො ලැබේ.

                                පෙර සිදුවීමට අදාළ වුයේ සෙනසුරාදාවක් විය යුතුය. මක් නිසාද යත් එදින මා නිවසේ සිටි බැවිනි.නිවාඩු දවස යැයි මා හට කම්මැළි කම පහව යනු පිණිස වත් TV බලන්නට නොහැකි වීමත්, මෙතරම් ගාල්ලටම ආ මැච් එක බලන්නට නොලැබීමත් මා කණස්සල්ලට පත් කොට තිබුණි.නමුත් මැච් පිස්සියක වූ මා එදින රේඩියෝවේ එල්ලී ම සිටියෙමි. මගේ සහයට මල්ලීද වූ බැවින් කිසිවෙක් රේඩියෝවට අයිතිවාසිකම් කියන්නට ආවේ නැත. හවස් වරුවේ මල්ලී යා යුතුම පන්තියක් විය. මැච් එක අත් හැර ඊට යාමට මල්ලිගේ සිතේ ද කැමැත්තක් නැති සේය.එනමුදු කළ හැකි දෙයක් නැත.අකැමැත්තෙන් වුව පන්තියට යාමට හිත හදා ගත් මල්ලී,

" මැච් එකේ විස්තරය අහගන්න හරි පුළුවන් නේ" 
කියමින් පිටව ගියේය.

                                  බට්ටි ද නිවසින් පිටත් වූයේ අත්‍යාවශ්‍ය කටයුත්තක් වූ බැවිනි.නැතිනම් ඇද හැලුණු වර්ෂාව නිසා ගෙයින් එළියට බහින්නට නම් සිත් දෙන්නේම නැත. මෙය තරගයට පවා බාධා ඇති කරාවිදෝ යන බය මුසු සැකයක් ද සිතෙහි විය. කෙසේ හෝ බට්ටි නිවසට පැමිණියේ මල්ලී ද සමගිනි. ඇතැම් දින වලදී මල්ලී එන්නේ බට්ටි එන වෙලාවටමය.ඒ ද එවැනි දිනයක් විය. බසයෙන් බැස ගත් අප දෙදෙනාටම වුයේ මැච් එකට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමේ නොනිම් ආශාවයි. 

                                නංගි මැච් එක ගැන විස්තරයක් දන්නා බව අපි දෙදෙනාම දැන සිටියෙමු.අප පිටව ගියේ විස්තරය අපට සවිස්තරාත්මකව කිව යුතු යැයි ඇයට තර්ජනයක් වැනි අණක් නිකුත් කරමිනි. කෙසේ හෝ ඇය මැච් එක අසා තිබුණි.

මල්ලී : මැච් එකට මොකද වුණේ .......?
නංගී   : අපි දිනුම් 
මල්ලී : එතකොට  ඩක්වත් ලුවිස්‌ .......?
නංගී   :  ආ... එයාද?
              එයා ලසිත් මාලිංග ගේ බෝල් එකකට අවුට් වුණා. 

අපි දෙදෙනා එකිනෙකා ගේ මුණු බලා ගතිමු. කුමක් කිව යුතු දැයි නො තෙරේ. ඔබ කුමක් කියන්නේ ද ...?


                                    

Tuesday, June 9, 2015

බයි බායි ඩුබායි .....

තැනක් නැතිව හරි හමන් 
ගෙවූ අහිකුණ්ටක ජීවිතය 
කරන්නට සිතා, නිමා 
කීවෙමි බයි බායි කියා 

ගෙවුණු වසරට දුවට 
හැම තැනම ඇවිද්දට 
තේරුමක් වෙද ඇයට 
'බායි ඩුබායි ' කියන්නට.
වුණත්  විඳවන්නට දැනට
දෙපසකට වී ප්‍රේමය 
දරා ගන්නම් කඳුළ 
දෙනෙතේම කරන් හිර 

පරිගණක තිරය මත 
ඇඳෙන විට නුඹේ රුව 
මුහුණ අත ගාමින් ම 
උම්මා දෙන දෝණි දැක 

හිර වෙච්චි කඳුළු කැට 
හංගන්නේ කොහොම මම 
කියන් පෙම්බර සබඳ 
දැනෙද සියුමැලි පහස 

විඳවනා ජීවිතය 
විඳින්නට එක්ව අප 
සරි කරන් මිල මුදල් 
එන්න අප වෙත හනික 

යාන වාහන නැතත් 
වැටී ඉන්නට එකට 
හිසට වහලක් තනා 
ගනිමු හැකි ඉක්මණට 

උණුහුමට ගුලි වෙන්න 
තාත්තට ලං වෙන්න 
පොඩි දෝණිට ත් ඕන 
අම්මාට වාගේම.

දුරකතන නද ඇහෙන 
හැම වෙලාවකදීම 
"තාත්තා  තාත්තා"
විතරමයි දෝණිට 

නොතේරුම් කමට ඇය 
කියනවා සිතුවාට 
තාත්තාගේ ඕනකම 
කියනවා නේද දුව 

හැම දේම යළි සිතා 
විඳින දුක් ඉවසලා 
හැකි තරම් ඉක්මණට 
එන්න මේ අප සොයා 

Wednesday, May 20, 2015

පුංචි සුරංගනාවී....

මග බලා ගෙන හිටිය කාලය අහවර කරලා පුංචි සුරංගනාවියක් මේ ලෝකෙට වඩින්න පෙර මං බැලුවා , බොහෝ දෙනෙකුගේ හිත් වලට සන්තෝසය පුරවාලමින්.දවසින් දවස ගණන් කරමින් කාලය ගෙවා දැමුවේ හරිම නොඉවසිල්ලෙන්. කැලැන්ඩර් දින එකින් එක ගෙවී ගියා.

තවත් මාස එකහමාරක්....

හදිසියේම පුංචි සුරංගනාවියට මේ ලෝකෙට ගොඩ බහින්න ඕනෑ වුණා. අනේක විද අමාරුකම් මැද්දේ. 



කැලැන්ඩර් දින ගැන අමතක කරලා පුංචි සුරංගනාවි හෙමින් හෙමින් මේ ලෝකේ ලස්සන බලන්න ඕන.......මයි කියලා සුදානම් වුණා. ඒත් ඉතින් හදිසියේම එනවා කිවුවාම කිසිම දෙයක් සුදානමින් නැහැ නොවැ. 

'තව ටිකක් ඉන්න ' කියලා කියන්නද එහෙමයි කියලා.අපිට ඕන වෙලාවට සුරංගනාවියන් එන්නේ නැහැ නේ. 

එයා සුදානම් කිවුවාට එහෙම බවක් ඇත්තෙත් නැහැ. බලා ඉන්න පුළුවන්කමක් නොතිබුණ නිසා එහෙන් මෙහෙන් වද දෙන්නේ මොකටද කියලා මිහිපිට දෙවියන් ටික රැස් වෙලා සුරංගනාවිය හෙමීන් දෑතට ගත්තා.

යන්තමට වගේ මටත් ඒ සුරංගනාවිය දැක ගන්න හැකි වුණා. දවසක් විතර විවේක ගන්න වුණා සුරංගනාවි ආයෙම දැක ගන්න. තවත් දවස් 13ක් එහෙන් මෙහෙට - මෙහෙන් එහෙට ඇවිදිමින් සුරංගනාවි දැක බලා ගෙන විතරක් සැනසෙන්න සිද්ධ වුණා .

ඔන්න වාසනාවට 14වන දවස සුරංගනාවි මගේ ළඟට ගන්න, ළඟින් තියාගෙන ඉන්න ඉඩ ලැබුණා.

සන්තෝසය කියලා නිමක් කරන්න බැහැ. අළුත් නෑකම් ගොඩක් එකතු කර ගත්ත සුරංගනාවි අපේ චූටි දෝණි වෙලා ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔන්න අපේ පුංචි සුරංගනාවියේ, හැමදාම අපේ ලෝකේ ලස්සන කරන්න ඕන හොඳද?



Saturday, May 16, 2015

නංගියේ...............

පතිකුලයට පිය නගලා නිවසින් මං පිටවෙලා යද්දී, මට මහා වෙනසක් දැනුණේ නැහැ. ඒ සමහර විට මම ගෙදර හිටි කාලය බොහොම සීමිත නිසා වෙන්න ඇති.ඒ වගේම වසර ගණනක් පෙම් කරපු පෙම්වතා ළඟට යන්න, අපේම කියලා ලෝකයක් ගොඩ නගා ගන්න තිබුණ ඕනෑ කම හින්දා වෙන්නත් ඇති. ඒත් ..... නංගියේ නුඹ මහා කාලයක් හිටියේ ගෙදර. රස්සාවට ගියෙත් ගෙදර ඉඳන්මයි.   

"පවු අපේ චුටි කෙළි පැටියා." කියලා අත දික් කර කර යන්න පෙන්වන හැම පැත්තටම නුඹ අපේ චුටි කෙල්ලව අරගෙන යනවා.මගේ අතේ හිටියත් පොඩි අම්මා දැක්ක ගමන් අතට පනින්න චුටි කෙල්ල පුරුදු වෙලා. මනමාලි වෙලා නුඹ හැඩ වෙලා ඉන්න වෙලාවෙත් ............


ඔන්න දැක්කනේ .........

නුඹ ගෙදර නැති කමේ ලොකුම පාඩුව මේන් මේ චුටි බට්ටිට තමා.

කොහොම වුණත් අළුත් ජීවිතේ නුඹේ සතුටම රජයන වාසනාවන්ත එකක්ම වේවා..............

බුදු සරණයි නංගියේ.........


මගුලයි- දෙවැනි දවසයි එකටම කරා  ඔන්න 


සිනහව සතුට හැමදාකම              ඇති වේවා.
සුසුමන් කඳුළු හිත් ඇතුළට         නොම ඒවා.
දෙන්නාට දෙන්නා ගේ ආදරේ     වැඩි වේවා.
නව ජීවිතය සන්තෝෂෙන්             ඉතිරේවා....

Thursday, December 18, 2014

රෑ ස්කෝලේ ....

හොස්ටල් ජීවිතේ මොන වගේද කියලා අහන්න ඕනෑ ඒක විඳපු කෙනෙක් ගෙන්ම තමයි. ඒ කාලෙට හිතෙනවා මොකක්ද මේ විඳින කරුමය කියලා. හරියකට කන්න බොන්න නෑ . ලුණු ඇඹුල් ඇතුව කටට රසට කෑම ටිකක් ලැබෙන්නේ නැහැ. ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. ඒ මදිවාට කප්පරක් විතර නීති රීති. කාල සටහනට වැඩ කරන්න ඕන. අමාරුම කාරිය තමා උදෙන් නැගිටින්න ඕන. අපෝ..... ඒ කාලේ  විඳපු දුකක්.

ඒ ඔක්කොමත් ඉවසුව හැකි. සමාජය හොස්ටල් ළමයි දිහා බලන කැත ඇස් දිහා තමා බලාගෙන ඉන්න බැරි. ඒ කාලේ ඔය දේවල් ගැන ඒ හැටි දැනුම් තේරුම් තිබුනේ නැහැ. ඒත් ටික ටික ලොකු වෙන කොට, හොස්ටල් ජීවිතෙන් මිදිලා සමාජය ඇතුලේ කරක් ගහන කොට මොන ජරා අදහස් තියාගෙනද මුන් ඒ කාලේ අපි දිහා බැලුවේ කියලා දැනෙන කොට, සමාජය ගැන මහා අප්පිරියාවක් දැනෙන්න ගත්තා. 

කොහේ කොතැනක හරි සිද්ධ වුන නරක දේවල් නිසා, සමස්ථ හොස්ටල් ප්‍රජාව දිහාම නරක ඇහින් බලන්න මිනිස්සු පුරුදු වුණා. හොස්ටල් ජීවිතෙන් මිදිලා දැන් අවුරුදු 15කටත් වැඩියි. තවමත් මගේ කණට ඇහිලා තියෙනවා මොනවා හරි දෙයක් කිවුවාම " ආ.... හොස්ටල් නේ. අපි නො දන්න හොස්ටල්......." කියන කතාව.

සිද්ධ නොවෙනවා කියලා මට කියන්න බැහැ. සමාජය දැන් හොඳටම අපිරිසිදු වෙලා. දියුණු තාක්ෂණයත් එක්ක දැන් කාලේ ළමයි හැදෙන්නේ...එයාලා ඉන්ට'නෙට් වලින් බොහෝ දේ හොයා ගෙන යනවා.වගේම ඒකෙන් ජීවිතේ විනාස කර ගන්නවා.

මේ කියන්නේ දියුණු තාක්ෂණය ගැන වත්, විනාස කර ගත්ත ජීවිත ගැන වත් කතාවක් නෙමෙයි.

කවුරුත් වපර ඇහින් බලන, හොස්ටල් ඇතුළට කොටු වෙලා නීති ගොඩකට හිර වෙලා දුක් වින්ද අපේම අතීතයේ කතාවක්. එකම වයසේ කෙල්ලන් රොත්තක් අතරේ සිදු වුණ.

බට්ටි ඒ කාලේ වෙද්දී 11 වසරේ. අ.පො.ස. (සා/පෙළ) ට නැහී ගෙන පාඩම් කරන කාලේ. ඔය වයස කියන්නේ හොස්ටල් එකේ ඉන්න වැඩිමල් ම ළමයි. එයාලට ටිකක් නිදහස තිබුණා කාලසටහනට පිටින් වැඩ කරන්න. ඒ කිව්වේ ගේම්ස් පීරියඩ් එක, බුදුන් වඳින වෙලාව වුණත් ඒ දේවල් වලට නො ගිහින් පොතක් පතක් බලා ගන්න. සමහර විට රෑ පිරිත් කියන වෙලාවට නිදා ගන්න ඉඩක් තිබුණා. මොකද මේට්‍රන් වුණත්  දැන ගෙන හිටියා ළමයි ගොඩක් රෑ වෙනතුරු පාඩම් කරන බව. එතකොට සමහර අය ගේම්ස් වෙලාවට නිදා ගන්නවා. රෑ කෑම වෙලාවට අවදි වෙලා කෑම කාලා එක දිගට පාඩම් කරනවා.

ඩෝමෙට්‍රිය ඇතුළේ හැමෝම ඉන්නෙත් නැහැ. කොරිඩෝ එකේ පුටු තියා ගෙන තැන තැන තමුන්ටම අනන්‍ය වූ ස්ථාන වලට වෙලා කට්ටිය පාඩම් කළා. පන්ති කාමර වලින් ඩෙස්ක් එකක් ළඟ තියා ගන්නත් 11 වසර ළමයින්ට තහනමක් තිබුණේ  නැහැ. ඒ නිසා රෑට 12 .00 - 1.00 වුණත් හැමෝම නිදි නැහැ.

මේ කියන දවසේ නම් වෙලාව රෑ 7.00 ට විතර ඇති. නීලිකා වේලාසන නිදා ගත්තා හවස බුදුන් වඳින්න ගියෙත් නැතුව. හැබැයි දීපිකාට කිවුවා 7.00ට විතර අවදි කරන්න කියලා. සාමාන්‍යයෙන් එක් කෙනෙකුට විතරක් කිව්වොත් එයාට අමතක වුණොත් දිගටම නිදා ගන්න හින්දා මොළේ කල්පනා කරපු නීලිකා ,නිරෝෂා ටත් කිවුවා එයාව අවදි කරන්න කියලා මතක ඇතිවම.

ඔය විධියට කිහිප දෙනෙක් වම දැනුවත් කරලා නිදා ගත්තේ පාඩම් කරන්න ඕන නිසා. අ.පො.ස. (සා/ පෙළ) විභාගය නිසා හැමෝම හිටියේ ටිකක් තැති ගැන්මකින්. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මුණ දෙන ලොකු විභාගය නේ. ඕක පාස් වෙන්න බැරි උණොත්  උසස් පෙළත් කරලා හමාරයි. අනික විලි ලැජ්ජාව. ඈත ගම් වලින් ඇවිත්, හොස්ටල් එකේ නැවතිලා කට්ට කන්නේ කොහොම හරි විභාගේ ගොඩ දා ගන්න නේ.

කට්ටිය බුදුන් වැඳලා ඇවිත් හවස් වරුවේ පාඩම් කරන්න තියන වෙලාවට ස්ටඩි හෝල් එකට යන්න ඕන.ස්ටඩි  හෝල් එක කිවුවාට ඩයනින් හෝල් එක විධියට පාවිච්චි කරන්නෙත් ඒකමයි . 11 වසරේ සමහර අය ස්ටඩීස් වලට ස්ටඩි හෝල් එකට යන්නේ නැහැ, ඩෝමෙට්‍රියේ ඉඳන්ම පාඩම් කරනවා. උදේටත් ස්කෝලේ  යන්න කලින් පැයක් පාඩම් කරන්න ඕන. ඉතින් පරිසර තත්ත්ව සලකා බලද්දී සමාන තත්ත්වය න් තමයි අවටින් පෙන්නුම් කරන්නේ.

නීලිකා අවදි කරන්න කියලා කියපු වෙලාවත් ඇවිත්. කෙටි නින්ද වල් ගන්න නිසාද මන්දා දීපිකා ලොකු උත්සාහයක් ගත්තා නීලිකා ඇඳෙන් නැගිට්ටවන්න, ඒත් බැරි වුණා . කතා කළා කළා. නීලිකා නෙමෙයි අවදි වුණේ .මොනවා කරන්නද? ඒ වුණත් දීපිකා පරාජය පිළි ගන්න කැමති කෙනෙක්  නම් නෙමෙයි. කීප වතාවක් කතා කරලත් බැරිම තැන ඩෝමෙට්‍රියේ හිටි කීප දෙනා එක්ක රහසේ කතාවක් කළා.

හදිසියේම වගේ

 "නීලිකා  නීලිකා නැගිටින්න.මොකද අද ස්කෝලේ යන්නේ නැද්ද? දැන් හොඳටම පරක්කු වෙලා.ස්ටඩීස් වෙලාවත් ඇවිත්."

ස්කෝලේ නොගිහින් නවතින වැඩේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති දඩි බිඩියේ නීලිකා අවදි වුණා. ඇත්තටම නැගිට්ටා නෙමෙයි ඇඳෙන් පැන්නා. 

වටපිට බැලුවා. සාමාන්‍යයෙන් පරක්කු වෙලා යුනිෆෝම් දාගන්න සෙට් එක තමයි ඉන්නේ. සමහර අය කොණ්ඩේ පීරනවා . සමහරු පොත් හදනවා ටයිම් ටේබල් එක බල බලා.ඩෝමෙට්‍රියේ ඉන්නෙත් ටික දෙනයි. නිලීකා නො දන්නවා වුණාට 11 වසරේ අය බොහෝ දෙනෙක් ඒ වෙද්දී එහෙන් මෙහෙන් හොරෙන් එබිකම් කරමින් හිටියා. තැන් තැන් වල පාඩම් කරමින් හිටි අය වගේම, ස්ටඩි හෝල් එකේ හිටි අයත්.

 හැමදාම වගේ බාගෙට පියවුණ ඇස් දෙකත් අරගෙන, ඇත්තම කිවුවොත් තනි ඇහෙන් දත් බුරුසුවට දත් බෙහෙත් දාගෙන, සබන් කෑල්ලත් ,තුවායත් අරන් නීලිකා පහළට ගියා. බොහොම ඉක්මණට මුණ කට හෝදගෙන ඇවිත් යුනිෆෝම් එක දා ගත්තා. තකහනියෙම කොණ්ඩෙත් පීරා ගත්තේ පරක්කු වෙලා නිසා. 

හැමෝම උදේට කන්නේ නැහැ. සමහර අය ඉන්ටර්වල් එකට ඇවිත් කන්නේ උදේ කෑම එක. එහෙම හිතලා වෙන්න ඇති, සමහර විට පරක්කු නිසාත් වෙන්න ඇති පොත් ටිකත් සුදානම් කරගෙන නීලිකා ඩෝමෙට්‍රියේ දොරෙන් එළියට එන්න ආවා.

එහෙන් මෙහෙන් හැංගිලා හිටි අය ඔක්කොම මහා හයියෙන් හිනා වෙවී හූ සංග්‍රහයක් එක්කම ඩෝමෙට්‍රියේ ඇතුළට ආවා. මීටර් අවුට් වෙච්ච නීලිකා තුෂ්නිම්භූත වෙලා වගේ බලා ගෙන ඉන්නවා.

ස්ටඩිස් වලට බාධා වෙන්න මහා හයියෙන් හූ තියන 11 වසරේ ඇත්තන් මට්ටු කරන්න මේට්‍රන් මිස් වේවැලත් අතින් අරන් ආවේ දෙතුන් දෙනෙක් වත් කෝටු මස් කරන්න හිතාගෙන වෙන්න ඇති.

නීලිකා වට කරගෙන හිනා වෙවී ඉන්න මේ වදකාරයන් ටිකට කෝටු පාරවල් දෙන්න හිතා ගෙන එතැනට කඩා පාත් වුණ මේට්‍රන් මිස් ටත් අන්ද මන්දයි.

යාන්තමට කට කොණට මෝදු වෙච්ච නෝන්ඩි හිනාවෙන් මේට්‍රන් මිස් 

"මොකද නීලිකා මේ. ඇයි රෑටත් ස්කෝලේ තියනවාද ඔයාට විතරක්....."



Wednesday, November 12, 2014

පෙම් හුට පට.

මේකත් පරණ කථාවක් ම තමයි. බට්ටි A/Lකරන කාලේ.
ස්කෝලේ යන කාලේ ආදර සම්බන්ධතා පවත්වන්නේ නෑ කියන අදහස අපේ සෙට් එකේ තීරණයක් වෙලයි තිබුණේ. කෙල්ලො විතරක් ඉන්න ස්කෝලයක් නිසාත්, හොස්ටල් හිටිය නිසාත් O/L කරන තුරුම කොල්ලන් එක්ක සම්බන්ධකම් ඇති නො වීම පුදුමයකුත් නෑ.

ඒත් A/L කරද්දි හොස්ටල් ඉන්න ලැබෙන්නේ නැති නිසා බොහෝ දෙනා බෝඩින් හොයා ගත්තා. නoගිලා ත් ,මාත් එකම ස්කෝලට ගිය නිසා තාවකාලිකව ගෙදර අය බදු ගෙයක් අරගෙන ගාල්ලටම ආවා. ඒ නිසා A/L කරද්දි මට ගෙදර ඉඳන් ක්ලාස් යන්න චාන්ස් එක ලැබුණා.


කොයි තරම් කෙල්ලෙක් වුණත්, මම බොහොමයක් කොල්ලන් තරමට වත් පාඩම් කරන්න උනන්දුවක් නොතිබුණ නිසා,

හොස්ටල් කාලේ ඉඳන්ම දන්න කෙනෙක් නිසාත්, මහන්සි වෙලා පාඩම් කරන නිසාත් නයෝමි අපේ ගෙදර නතර වුණා A/L කරන්න.

අම්මාත් බොහොම කැමැත්තෙන් නතර කර ගත්තා මාත් පාඩම් කරාවි නේ කියලා. තනියම පාඩම් කරද්දි නින්ද යන නිසා තමයි පාඩම් නොකරන්නේ කියලා අම්මා හිතන්න ඇති.


නයෝමි ලස්සනයි,සුදුයි. කොල්ලෝ කීප දෙනෙක්ම නයෝමි ගැන හොයා බලනවා කියලා අපි දැන ගෙන හිටියා. නයෝමි කොල්ලො එක්ක කථාවට යන්න අකැමතියි.හේතුව එයා ශිෂ්‍ය නායිකාවක් වෙලත් හිටිය නිසා, ස්කෝලෙට ආරන්චි යන්නේ කපුටෝ හතක් වමනේ දාපු මිනිහා ගැන වගේ කියලා නයෝමි දන්නවා. බට්ටිට ඒ වගේ බැඳීම් නෑ. ඒ කිවුවේ බට්ටි ශිෂ්‍ය නායිකාවක් නෙමෙයි.

තරුෂ නයෝමිට ගොඩාක් ට්‍රයි කළා. ක්ලාස් ඉවර වෙලා එද්දි යාළුවෝ හත අටක් එක්ක බයිසිකල් වලින් එනවා.

දන්නවානේ එහෙම එද්දි කොහොමද තත්වේ කියලා, කවුරු හරි දැක්කොත් ස්කෝලෙට කියාවි,එන්නෙත් ඇඟේ වදින නොවදින ගාණට. පාරේ ඕන කෙනෙකුට තේරෙනවා මොකක්ද මේ සෙල්ලම කියලා. අනික බස් එකක එන්න තරම් දුරක් බොහොමයක් ක්ලාස් වලට තිබුණේ නෑ. ප්‍රසන්න සර් ගේ ක්ලාස් ඉවර වුණාම අපේ ගෙවල් පැත්තට එන්න අපේ සෙට් එකේ කෙල්ලො 5ක් හිටියා, ඉතින් කියව කියව එනවා. බට්ටිට නයෝමිටත් වඩා කේන්තියි. නිදහසේ පාරේ යන්නත් නැහැනේ.බට්ටි බනිනවා.ඒත් නවතින්නේ නෑ.


ඔය අතරේ තරුෂගේ ස්කෝලේ ප්‍රදර්ශනයකට අපටත් කුටියක් වෙන් කරලා තිබුණා. දවස් 5ක්.


කොච්චර බැන්නත් බට්ටියි, නයෝමියි දෙන්නම අනිවාර්යයෙන්ම ඔය ප්‍රදර්ශනයට යන්නම ඕන. බලන්න නෙමේ. ප්‍රදර්ශන කුටියේ ඉන්න.ඊට කලින් දවසේ සේරම ටික සූදානම් කරන්නත් යන්න වුණා. අපේ කුටියට එයාලාගේ ශිෂ්‍ය නායකයෝ කීප දෙනෙක්ම මුරට දාලත් තිබුණා. වැඩිම සෙනඟ ඉන්නේ අපේ කුටියේ නිසා පාලනය කර ගන්න බැරුව. වැඩක් ඇතත් නැතත් කොල්ලෝ ඒක ඇතුලේ. කන්න වත් වෙලාවක් නෑ.


බට්ටි කාලා අත හෝදන්න එළියට ගියාම තරුෂ යාළුවෝ එක්ක ඉන්නවා දැක්කා. බට්ටි ළඟට ඇවිත් නයෝමි ගැන අහනවා.


"ඔයාලා එයාට කරදර කරන එකෙන් වෙන්නේ එයා ඔයාලා ගැන කලකිරෙන එකයි. බයිසිකල් වලින් ඔහොම පස්සේ පන්නන්න එපා " බට්ටි බොහොම කාරුණිකව කිවුවා.


ඊට පස්සේ ටික කලක් කරදරේ නැති වුණාට ආයෙම පටන් ගන්නවා. කොහොම හරි නයෝමි තරුෂ ගැන අකැමැත්තක් නෑ කියලා බට්ටි දන්නවා. බට්ටි ඒකත් තරුෂට නොකියා කිවුවා. A/L ඉවර වෙලා නයෝමි ගෙදර ගියේ නෑ.දෙවනි ලැජ්ජාවටත් ආයෙම ක්ලාස්. සෙට් එකම එහෙමයි,තරුෂ ලාත්.


කොහොම හරි දෙවනි පාර තරුෂ Campus තේරුණා. නයෝමිත් Campus තේරුණා. එකම Campus එකට නෙමෙයි.


තරුෂ campus පටන් ගන්න තුරු බැoකුවේ ජොබ් 1ට ගියා.දිනිති ගේ ගම් පලාතේ තමයි වැඩ කරේ.නයෝමි තීරණයක් අරන් මට ලියුමක් එවලා තිබුණා. අපේ ගෙදරට කිවුවා දිනිතිලාගේ ගෙදර යනවා කියලා සිතාරාටත් කතා කලා. එන්නම් කිවුවට ආවේ නෑ.අපි දෙන්නා දිනිති ගේ ගෙදර ගියා. දිනිතිට කියලා බැoකුවට කෝල් එකක් ගත්තාම දැන ගත්තේ තරුෂ අසනීප වෙලා හොස්පිටල් කියලා.විස්තර මොනවත් බැoකුවෙන් දන්නේ නෑ.ගෙදරට කථා කරලා දැන ගන්න කීවා.


අපි ළඟ නම්බර් එක නෑ කිවුවාම ඒකත් දුන්නා. මොන වෝඩ් එකේද දැන ගන්න නම් ගෙදරට කථා කරන්න වෙනවා.


හිතටත් අප්සට්. බයයි වගේත්. කමක් නෑ කියලා බට්ටි ගෙදරට කථා කළා.


"තරුෂ ඉන්නවද?"

"කවුද කථා කරන්නේ "
" එයාගේ යාළුවෙක් "
" එයා උණ හැදිලා ස්පිරිතාලේ "
"වෝඩ් එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද?"
"...."

දිනිති ත් ආවා අපි එක්කම . කරාපිටිය ස්පිරිතාලේ වෝඩ් එක හොයා ගෙන යනවා. තරුෂ බලන්න නෙමෙයි. දිනිතිගේ මාමා අද ඇඩ්මිට් කරලා කියලා ගෙදරින් කිවුවා ලු.


බට්ටි දැක්කා තරුෂව.


"මේ මොකද"

"උණ හැදිලා අරන් ආවානේ"
බට්ටි විතරයි අනිත් දෙන්නා මාමා ව හොයනවා.
"යාළුවෙක් ඉන්නවා" නයෝමි ආවා විතරයි. තරුෂගේ අසනීප කොහෙද මන්දා.

තව ලෙඩෙක් බලන්න තියනවා කියලා ඉක්මණට මාරු වුණා.බලද්දි අපි තමයි ඉස්සර වෙලාම බලන්න ඇවිත් තියෙන්නේ. දවස් ගාණක් ඊට පස්සෙ ස්පිරිතාලේ බඩ ගෑවා, නයෝමිට චාන්ස් එක වුණේ කැම්පස් යන්න මෙඩිකල් කරන්න කරාපිටියට එන්න වුණ එක.කොහොම හරි ටිකට් කපන කොට තරුෂ එයාගේ අම්මාටත් කියලා එයාගේ ලේලි තමයි මේ කියලා.


ඊට පස්සේ අපේ අම්මාට ඇත්ත කථාව කිවුවා. අම්මා නයෝමිගේ ගෙදරට කියලා දෙපැත්තේ ආශිර්වාදයෙන් අවුරුදු ගාණක් ආදරය කළා.


නයෝමි අපේ ගෙදර ආවම තරුෂත් නො වරදවා හවස එනවා. කථා කර කර ඉඳලා යනවා.


දැන් දෙන්නා කසාද බැඳලා දුරු රටක ඉන්නේ.. චුටි බට්ටිච්චියෙක් ඉන්නවා.නයෝමිගේ උපන්දිනේ දවසෙම උපන්න.


ලියන්න පටන් ගත්තේ එකක්. ලිවුවේ වෙන දෙයක්. හිතුවට වඩා කථාව දිග වුණා. කියවන අයට වුණ අපහසුතාවට සමා වෙන්න.