Monday, December 3, 2012

ඔබට සුබ උපන්දිනයක්.............


                  හැමදාමත් වගේ අදත් උදේම නුඹ ව සිහි වුණා. අද නුඹේ ජීවිතයට විශේෂ දවසක්.ඉතින් මුලින් ම නුඹට සුභ උපන් දිනයක් වේවා කියලා කියන්නම්. ඒත් මං දන්නවා නුඹ ආයෙමත් කවදාවත් ඒ සුබ පැතුම පිළි ගන්න, හිනා වෙලා " තෑන්ක්ස් මචෝ..." කියන්න එන්නේ නැති බව.

                       එහෙම වුණා කියලා කොහොම නුඹව අමතක කරන්නද?

                   එදා වගේ නරක දවසක්....

               යාළුවෝ කතා කරලා කියද්දි "ඩොකාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ" කියලා.හිතට දැනුණ අවිනිශ්චිත හැඟීම අදටත් දැනෙනවා වගේ. පැය 24 ම වගේ වැඩ කරපු ඒ ෆෝන් එක එදා විතරක් වැඩ නො කර තියෙන්නේ කොහොමද?

                   කවුරුත් ජීවිතේ ගැන බලාපොරොත්තු අත් හැරලා හිටපු කාලයක් ඒක.උදේට ගෙදරින් යන කෙනා හවසට ගෙදර එනතුරු කී දෙනෙක් පපුව පිච්චි පිච්චි හිටියාද?

                    කොළඹ යනවා කියන්නේ ඒ කාලේ මාරයාගේ කටට යනවා වගේ වැඩක්. 

                           
ඒත්.. ගම්පොළ ගෙවල් තිබුණ නුඹ, අවසාන ට්‍රේනින් පීරියඩ් එකට කොළඹ අවටම ඉන්න තීරණය කරලා තිබුණා.රත්මලානේ වැඩට ගිය නුඹ නැවතිලා හිටියේ මොරටුවේ. තවත් බැචාලා කීප දෙනෙක් එක්කම. කවදාවත් පරක්කු වෙලා නො යන නුඹ, එදත් උදේම බෝඩිමෙන් පිටත් වෙලා තියෙන්නේ අනිත් වුන්ට බැන බැන. පරක්කු වෙලා වැඩට එන බව කියලා.



                 කිසි දවසක ප්‍රමාද නො වුණ නුඹ,අද වෙද්දි ජීවිතෙනුත් ගිහින්. ඩොකා... උඹත් එක්ක හිටපු උඹේ යාළුවෝ, උඹේ නෑදෑයෝ, අම්මා-මල්ලී, මේ හැම දෙනෙක්ම දාලා උඹ යන්න ගිහින්.

හිටියා නම් උඹත් අද.......... 


                   මට මතකයි උඹේ තාත්තා  නැති වුණ වෙලාවේ අපි- උඹත් එක්ක එකටම හිටිය අපි,වාහනයක් අරගෙන ගම්පො

ළ 
 ආවේ-දවස් දෙක-තුනක් ගෙදර නැවතිලා උදවු කළේ ඒ තරමට උඹව අපේ හිත් වල හිටපු නිසා.
 





                       ඒ හැම බැඳීමක් අද උඹට අමතක වෙලා. එහෙම කරේ ඇයි කියලා කොච්චර උඹෙන් ඇහුවත්, උඹ උත්තර දෙන්නේ නෑ කියලා මම දන්නවා.

 සංජු ... මගේ ආදරය.

                     තවත් කීප දෙනෙක් එක්කම උඹේ රද්දොළුවේ තිබුණ ගෙදර සංජුත් හිටියා.හොස්ටල් හිටපු මම ලෙක්චර්ස් වලට පැය එකහාමාරක් විතර කලින් එන්න පුරුදු වෙලා හිටියා. අපට කතා බහ කරන්න, උදේට කන්න (කියව කියව කන්න ගියාම කොච්චර වෙලා යනවද?)

                         

උඹත් කිසිම කතාවක් නැතුව එනවා සංජු එක්කම.උදේ 6.30- 6.45 විතර වෙද්දි. ගේට්ටුව ළඟ මම බලා ගෙන ඉන්නවා දෙන්නා එක්ක එන හැටි.අපිත් එක්කම කැන්ටිමට එන උඹ උදේට කන්නේ අපේ බලේට අපි ළඟ ඉඳන්. කීමට කියන්නා වගේ උඹ අපට උදළු දාන්න කැමති වුණේ නැහැ. ඒත්.. උඹ වගේ යාළුවෙක් ලඟ නැති වුනාම කිසිම ගතියක් නෑ.




ඒ නිසා අපි උඹව ප්‍රිය කළා. 

                   හැමදාමත් සිහි කර කර ඉන්න අතීතයක් විතරක් ඉතුරු කරලා උඹ ගියේ ඇයි ඩොකා.

                    කැන්ටිමේ ජරාව කාලා කාලා පුරුදු වෙච්ච බඩට, ගෙදර ගිහින් මොනවා හරි පිරිසිදුවට හොඳ දෙයක් කාලා ආවොත් උඹට බඩ අවුල්.

                                " මේ ටික උඹලාගේ පන්තියෙන් තියා ගනින්. මං ඇවිත් ගන්නම් " කියලා උඹ උඹේ පර්ස් එක, ෆෝන් එක, ඔරලෝසුවත් එක්ක බෑග් එකත් දෙනවා.

                              කාලා ඉවර වෙලා උඹේ බඩු මුට්ටු ටිකත් අරගෙන තමයි අපි පන්තියට යන්නේ.

                                  

කොයි තරම් මහන්සි වුණත්, කතා කළොත් කවුරු හරි මචං ටිකකට වරෙන්කෝ ළඟකට ගිහින් එන්න කියලා හරි මචං තමයි.




                             ඒකම තමයි උඹ ඌට කිව්වෙත්. මම දන්නවා උඹ කාගේවත් හිත රිදවන්න කැමති නැති බව. ඒ නිසා වෙන්න ඇති කතා කරද්දි මාරයා, කිසිම කතාවක් නැතුවම ගියේ.

                            2008.ජුනි මාසේ 06 වැනිදා. මොරටුවේ බස් බෝම්බය පුපුරද්දි උඹත් ඒ බස් එකේ පිටිපස්සේ දොරට කිට්ටුවෙන් ඉඳලා තියෙන්නේ.

                   .........." ඩෝං.."...............

                       සද්දයක් ඇහුණා කියලා ආරංචි වෙද්දි පුරුද්දට වගේ කොළඹ ඉන්න අයට කතා කරලා බලලා ඉවර වුණාම තමයි නිදහසේ හුස්මක් වැටෙන්නේ.

ඒත්.. එදා...

               

                  සංජු කතා කරලා කිව්වේ ඩොකාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ටයිම් තමා එයා එළියට බහින්නේ කියලා. ඩොකාගේ පෙම්වතිය රෝස්. එයාත් හිටියේ අපේ බැච් එකේමයි. බැරිම තැන මම කතා කරේ රෝස්ට. 




"මොකද වෙලා තියෙන්නේ. ඩොකාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ නේද?"

" ඒක තමයි මාත් උදේ ඉඳන්ම 
ට්‍ර
යි කරනවා. ඉස්සර වෙලා රින්ග්ස් ගියා. දැන් නම් රින්ග්ස් යන්නෙත් නෑ."



"මාත් 
ට්‍ර
යි 
කරන්නම්. මොකක් හරි නිව්ස් එකක් ලැබුණොත් මට කතා කරන්න"



              
ඔය විදියට කාලය ගෙවිලා ගියා. 10 විතර වෙද්දි ආරංචියක් ලැබුණා. 

                ජෙනරල් හොස්පිට්ල් I.C.U එකේ ඉන්නවා.

            හුස්මක් වැටුණා. ඒත්... සිහිය නෑ. දන්න කියන දොස්තර මහත්තුරු- දොස්තර නෝනලා ඔක්කොටම කතා කළා. මම හිතන්නේ බැච් එකේ බොහොමයක් අය තම තමන්ගේ නෑ-හිතවත් කම් මුල් කරගෙන ඩොකා ගැන හොයලා බැලුවා.තුන් වරුවටම කවුරුම හරි උඹව බලන්න ආවා.


                  උඹ බෝම්බෙට අහු වුණා කියලා මට අහන්න ලැබුණාම හිතා ගන්නත් බැරි වුණා මොකද කරන්නේ කියලා. දරා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සයිට් එකේ අඬන්න බැරි කමට හිත තද කර ගෙන හිටියත්, ගෙදර ආපු ගමන් ඒ සේරම හයිය කැඩිලා බිඳිලා ගියා.

                         ඉකි ගහ ගහා උඹ වෙනුවෙන් මම අඬන කොට අම්මා ඇහුවේ 

"මොකද මේ" කියලා.

" අනේ අම්මේ ඩොකා බෝම්බෙට අහු වෙලා."

                             අම්මා වුනත් උඹව දැන ගෙන හිටියා. අපේ යාළුකම දැන ගෙන හිටියා. ඒත්.. අම්මා කාත් එක්කදෝ කිව්වා " සංජු එක්ක සම්බන්දේ තියන බව දන්න නිසා මිසක් නැත්නම් හිතන්නේ මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා නේ. මේ අඬන හැටියට "  


                               ඒ හින්දාම අම්මා මම හොස්පිට්ල් යන එකට විරුද්ධ වුණා. මග දිගට අඬ අඬ යන්න බෑ. ගෙදර ඉන්න කියලා.

                          මොනවා කරන්නද ඩොකා. මට උඹව බලන්න එන්න බැරි වුණා. ඒත් මම උඹ වෙනුවෙන් බෝධි පූජා කළා. උඹට ඉක්මණට සනීප වෙන්න කියලා. දවස් 4ක් සිහිය නැතුව හිටපු නුඹට 2008 ජුනි 10 වැනි දා බට වලින් පෝෂ්‍යදායක පිටි එකක් බොන්න දීලා තිබුණා. උඹේ තත්ත්වය ටිකක් හොඳයි කියලා.

                              ඒත්.. හවස් වෙද්දි තත්තවය එන්න එන්නම නරක අතට හැරිලා. හොස්පිට්ල් එකෙන් ඩොකාගේ අම්මාට කිව්වාලු " එයාට ඇහෙනවා. කණ ළඟට කරලා පිරිත් කියන්න කියලා."

                                රෑ වෙද්දි නරක මූසල ආරංචියක ආරම්බයක් ලැබුණේ


" ඩොකාගේ මොළේ මැරිලා"

                                හිත පිළි ගන්න කැමත්තක් තිබුණේම නෑ. දොස්තරලා මොනවා හරි කරලා ඩොකාව බේර ගනීවි. මෙච්චර දවසක් අල්ලගෙන හිටියා නේ. අපි බෝධි පූජා කරපු ඒවායේ ගුණයත් එක්ක එයා සනීප වේවි. හිතට බොරු කර කර රෑ නිදා ගන්න හැදුවත් නින්ද ගියේම නෑ.

                                        ඔවු. ඇත්තටම 2008 ජුනි 11 වෙනිදාට එළිය වැටුණේ අවිනිශ්චිත හැඟීමකින්. ඒත්.. වැඩට නොගිහින් බෑ. එක එක්කෙනා ගෙන් විස්තර ඇහුවත් හරි ආරංචියක් ලැබුණේ නෑ. 12.00 ට විතර ලැබුණා අහන්න අමිහිරි, කටුක, දුක් බර ආරංචිය.

"අපිව දාලා ඩොකා ගිහින්..........."

                                  මන් දන්නවා දැන් අවුරුදු 4 කටත් වැඩියි. ඒත්........ තවමත් උඹේ කට හඬ ඇහෙනවා. මගේ ෆෝන් එක මාරු කරන තුරු මේ මෑතක් වෙන තුරුම උඹේ ෆෝන් නම්බර් එක මං ළඟ තිබුණා. ඒක මකලා දාන්න හිත දුන්නේම නෑ.අදටත් උඹේ ගෙදර දුරකතන අංකය එහෙමමයි.



                                 උඹ නො එන්නම ගිහින්. ඒත්.. යාළුවේ  මේ හිත් වල උඹේ සුවද හැමදාමත් රැඳිලා තියෙනවා. සුබ ගමන් යාළුවේ....


නුඹට සුබ උපන්දිනයක් ම වේවා.....සමරන්න බැරි වුණත් උඹේ උපන් දිනය  මතක් කරන්නම් මෙහෙම හරි.

( ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ 2003 කණ්ඩායමේ තිවංක තුෂාන් අමරසිරි දයාබර සොයුර මේ සටහන උඹටමයි.) 


3 comments:

  1. අලුතෙන් ආපු බට්ටි කවුදෑ බලන්න ආවේ. මුලින්ම කියවන්න ලැබුනේ දුක්බර ප්‍රවෘතියක්. නැවත කිසි දිනෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා පතනවා මමත්. ඔබටත් ජය....!!!

    අයියෝ මේ වර්ඩ් වෙරිපිකේෂන් නම් අයින් කරන්න වෙයි.

    ReplyDelete
  2. මං හිතන්නේ දැන් ව(ර්)ඩ් වෙරිෆිකේශන් ප්‍රශ්නය හරි ඇති. බොහොම ස්තුතියි මේ පැත්තේ ගොඩ වුණාට.ආයෙමත් ඇවිත් යන්න එන්න.

    ඇත්තටම දැනට අවුරුදු හතරක් ගෙවිලා ගියත් අදටත් දැනෙන්නේ නැහැ මේ සොඳුරු මිතුරා අපෙන් ඈත් වෙලා නො එන්නම යන්න ගිහොන් කියලා. ඒ තරමට ඒ මතකයන් අපිව අපිත් එක්ක ඉන්නවා. හැමෝටම ඒ වගේ යාළුවෙක් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මාව හරිම සංවේදී උනා බට්ටි අක්කෙ. ඈත්ත්ටම ගොඩාක් දුකයි..
      ඒ වගේම ඔයා එයාටත් එයා ඔයාටත් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අවංක යාලුවෙක් වෙලා තියෙනව කියල තේරුම් ගන්න මේ වචන ටික හොදටම ඇති..
      තිවංක සොයුරාට සස්‍ර ගමන අවසන අමාමහ නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරන්නම් !!

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...