Sunday, December 30, 2012

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ............2

පළමු කොටස මෙතැනින්


                             රාධිත් මාත් අපි දෙන්නාම බලා ගෙන හිටියා කොයියම්ම මොහොතක අපේ ගෙවල් වලිනුත් අපිව එක්ක ගෙන යන්න ඒවි කියලා. රාධි නම් කොහොමත් වාර අවසාන නිවාඩුවට විතරයි ගෙදර ගියේ. අතර මැද නිවාඩුවලට එයා ගියේ ලොකු තාත්තාගේ ගෙදර. මොකද දවසක්ම ගෙදර යන්න ගත වෙන නිසා දවස් 2-3ක නිවාඩුවකට එයා ගෙදර ගියා කියලා වැඩක් නෑ මගටම කාලය ඉවරයි නේ.

                      අම්මා එන එකක් නෑ දැන් නම් කියලා උඩු හිත කිවුවත් යටි හිත පිළි ගන්න සූදානමක් තිබුණේ නැහැ ඒ වගක්. ඉතින් 4.30- 5.00-5.30 බලා ගෙන හිටියා. මේට්‍රන් මිස්ටත් දැන් බලා ඉඳලා ඇති වෙලා. මිස්ට ගෙදර යන්න විධියක් නැහැ නේ අපි දෙන්නා ඉන්න නිසා.අන්තිමේ මිස් තීරණය කළා අපි දෙන්නාවත් මිස් ගේ ගෙදර එක්ක ගෙන යන්න. අපි දෙන්නා විතරක් නිසා එයාටත් හොස්ටල් එකේ නවතින්න පුළුවන් කමක් නැහැ නේ. දුකින් වුණත් බලාපොරොත්තු අත් හැරගෙන , ගෙදර ගෙනියන්න පැක් කර ගත් බෑග් ටික කරේ එල්ලා ගෙන අපිත් මිස්ගේ පස්සෙන් වැටුණා.6 වසරේ ස්කෝලෙට ඇවිත් දවස් කීයද වෙසක් එකට නිවාඩු ලැබෙද්දි. ඉතින් අපි මිස්ගේ ගෙදර කොයි තරම් දුරින්ද තිබුණේ කියලා දන්නේ නැහැ. පස්සේ කාලෙක තමයි දන්නේ ස්කෝලෙට බොහොම ළඟයි මිස් ගේ ගෙදර කියලා.

                       වටපිටාව ගැන බල බලා ඉන්න විධියක් නැහැ අපි එහෙට යද්දි බිම් කළුවර වැටිලා. මිස් ගෙදර දන්න නිසා යන්න ඇති. ඉස් ඉස්සෙල්ලාම අපි මිස් ගේ ගෙදරට යද්දි අපි දන්නවායැ ඒ ගෙදර ගැන. ඒ ගෙදර ට යද්දි දොර ඇරියේ මිස්ගේ පුතෙක්.මිස්ට ඉන්නේ පුත්තු දෙන්නෙක් කියලා අපි දැන ගෙන හිටියා. හිතට බයක් දැනුණත්, අපි දෙන්නෙක්ම හිටිය නිසා ඒක ඒ තරම් දෙයක් කියලා හිතුණේ නැහැ.කොහොම හරි මිස් අපට දුන්නා ගෙදර ඉස්සරහා කාමරේ. ඒක තිබුණෙත් ගේ ඇතුළටම තමයි. බයෙන් බයෙන් ඒ ගෙදරට ගොඩ වුණ අපි ගැන කවර කතා ද? අපි ආපු ගමන් මිස්ගේ පුත්තු කාමරේට වැදුණා වැදුණාම තමයි එළියට බැස්සේ වත් නැහැ.

                       ගෑණු ළමයි වුණාය කියලා ඉවුම් පිහුම් ගැන නම් ඒ වෙද්දි මෙලෝ සසර දෙයක් දන්නේ නැහැ.ඒ නැතත් මිස් අපිව කාමරේට එක්ක ආපු නිසා මිසක් ඒ ගෙදර ගැන අවබෝධයක් අපට තියන එකක්යැ.අපි කාමරේටම වෙලා හිටියා.මිස් ම ඇවිත් බාත් රූම් එකට අපිව එක්ක ගෙන ගියා. මාරුවෙන් මාරුවට දොර ළඟ තනියට අපි දෙන්නාම හිටියා ඇඟ හෝදා ගන්න තුරු. වෙනදා ඇඟ හෝදලා රෑ ඇඳුම ඇඳ ගත්තා වුණත්, අද පිටස්තර ගෙදරක  නේ ඉන්නේ කියලා ආයෙම ගවුමක් මයි ඇඳ ගත්තේ.ඉබ්බා කටුව ඇතුළට රිංගා ගන්නවා වගේ ආයෙම කාමරේ ඇතුළේ.

                  රෑට කෑම හදලා මිස් කතා කරාම ගිහින් කාලා ආවා. නිදා ගන්න කියලා මිස් ගියත් රාධිටත් මටත් නින්ද අහලකටවත් ආවේ නැහැ. නුපුරුදු ගෙදරක්, අළුත් ළමයි විධියට ස්කෝලෙට ඇවිත් ටික දවසයි ලැබුණ පළවෙනි නිවාඩුවේම මේට්‍රන් මිස්ගේ ගෙදර, අනික කොල්ලෝ දෙන්නෙක් ගෙදර ඉන්නෙත්. කාමරේ ලොක් කර ගත්තත් නින්ද යන්නේ නම් නැහැ. මොන කරුමයක්ද මන්දා. මුළු නිවාඩුවම මට මෙහේ ගෙවන්න වෙයිද මන්දා. දාහක් නෙමෙයි දහදාහක්. ලක්ෂයක්- කෝටියක් සිතුවිලි හිතේ සැරින් සැරේට මතු වෙනවා.රෑ නිසා මිස්ගේ පුත්තු දෙන්නා කාමරේ අස්සෙම රිංගා ගෙන හිටියත් හෙට උදේ එළියට ඒවි නේ. එතකොට හෙට දවසේ අපිට කාමරේ ඇතුළේම තමයි ඉන්න වෙන්නේ. 

                      ඔය වගේ නිමක් නැති සිතිවිලි අතරේ ඉඳෙද්දි පහුවදාටත් එළිය වැටුණා. කාමරෙන් එළියට එන්නත් බයයි. මිස්ගේ පුත්තු කවුරු හරි එළියේ හිටියොත් කියලා.අනේ හොස්ටල් එකේදි අපට සැර කරන මිස් ද මේ ඉන්නේ කියලා හිතෙනවා. තේ දෙකකුත් අරගෙන අපි ඉන්න කාමරයට ඇවිත් අපිව මුහුණ දීලා හිටිය අපහසුවෙන් මුදවා ගත්තා.වාසනාවට උදෙන්ම ඒ දෙන්නා ගෙයින් එළියට බැස්සා. ඊට පස්සේ මිස්ම ඇවිත් උදේට කන්නත් දීලා ඊට පස්සේ  අපි එක්ක මිස්ගේ වත්ත බලන්න යමු කියලා එක්ක ගෙන ගියා. ටිකක් ලොකු වත්තක්. කොස් ගහක ඉදුණු ගෙඩියක් තියනවා දැකලා මිස්ට ඕන කොහොම හරි කඩන්න.

                         කොල්ලෝ දෙන්නෙක් හිටියත් වැඩක් නැහැ නේ. මම ම එපායැ මේ ගහක කොලක තියන දෙයක් ගැන බලන්නත් ඕන. අපි වරකා ගෙඩිය කඩමු කියලා දිග කෙක්කක් අරගෙන මිස් ම ඒ වැඩේ පටන් ගත්තා.බටු ඇට වගේ ඉන්න අපි වරකා කඩන්නද? රාධි ගේ ලොකු තාත්තා ආවා උදේ 9.30 විතර වගේ වෙද්දි. ඒ නිසා එයත් ගියා. දැන් මම විතරයි. කොහොමත් අම්මාට නම් එච්චර උදෙන් එන්න බැහැ කියලා මම දැන ගෙන හිටියත් රාධි ගියාට පස්සේ මගේ ඇස් තිබුණෙත් ගේට්ටුව දිහාවේම තමයි.ඔය අතරේ මිස් දවල්ටත් උයලා , වෙලාව බලද්දි 12.00 ත් පහු වෙලා. 1.00- 1.30 විතර වෙද්දි ගේට්ටුව ලඟින් යාන්තමට ඔළුවක් පේන්න ගත්තා. මාත් ඉස්සි ඉස්සි බැළුවා මේ එන්නේ අම්මා ද කියලා. ඔවු නේ. අම්මා ගේට්ටුව ලඟට ආවාම තමයි පේන්නේ. 

                     හිටිය තැනින් ඉගිල්ලුනාද කියලා මම දන්නේ නැහැ. මේ තරම් වෙලා ඇස් දෙක පේන මානයකට වත් ඇවිත් නො හිටපු කඳුළු වැලක්ම කොහේ දෝ ඉඳන් ඇවිත් එකපාරටම අම්මාගේ ඇඳුම තෙත් කළා.අම්මාට ගෙට ගොඩ වෙන්නවත් ලැබුණේ නැහැ. උදේ ඉඳන්ම බස් එකේ ඇවිත් කොයි තරම් මහන්සියක් ඇද්ද කියන එක ගැන නිච්චියක් තිබුණේ නැහැ.උදේටත් හරි හමන් දෙයක් කුසට දා ගන්න නැතුව නේ එන්න ඇත්තේ. මොනවා හරි දෙයක් ඔතා ගෙන ඇවිත් බස් එකේදි කන්න ඇත්තේ.මිස්ගේ ගෙදරින් දවල්ට කෑවද නැද්ද කියලා මට මතකයක් නැහැ. හැබැයි කිරිල්ලියක් වගේ රූං ගාලා  ගිහින් ඉක්මණටම ඇඳ පැළද ගෙන ඇවිත් යන් කියා ගෙන අම්මා අතේ එල්ලුන බව මතකයි.

 ප.ලි.

ස්කෝලෙන් ළමයා එක්ක ගෙන යන්න එන්න කියලා එවපු ලිපිය වෙසක් නිවාඩුව ඉවර වෙලා ගෙදර ගිහින් ආයෙම හොස්ටල් ආවටත් පස්සේ ගෙදරට ලැබිලා තිබුණා. වෙසක් කාඩ් බෙදන නිසා ඒවාට ප්‍රමුඛ තාවය දීලා. ඔක්කොටම වඩා වැදගත් ඒ පෝස්ට් කාඩ් එක ගෙදරට ලැබුණේ නැහැ.

ප.ප.ලි.

අම්මා ඒ වස් වල මොන දුකක් විඳින්න ඇතිද අපි නිසා.හොස්ටල් එකට මාව ගන්න එදා යද්දි සිකුරුටි අංකල් අම්මාට කියලා හොස්ටල් ළමයි හැමෝම කලින් දා ගෙදර ගිය බවත්, යි දෙන්නෙක් මිස්ගේ ගෙදර බවත්. රාධිගේ ලොකු තාත්තාත් උදේ ස්කෝලෙට ඇවිත් නේ මිස් ගේ ගෙදරට ආවේ. ඒ බවත් කියලා. අම්මා හොඳටම බය වෙලා දුවගෙන වගේ ඇවිත් තියෙන්නේ.  පවු අම්මා. මොන මොන දේවල් එයාට හිතෙන්න ඇතිද?මම ඒ දවසේ විඳපු දුකට වඩා සිය දහස්, ලක්ෂ කෝටි වාරයක් එයා දුක් වෙන්න ඇති. 

වෙනදා ඇවිත් ටික වෙලාවක් වත් ඉන්නවා ස්කෝලේ ඇරිලා ළමයි ඇවිත් සූදානම් වෙන තුරු. ඒ ටික වෙලාව හරි මහන්සි නිවා ගන්න පුළුවනි. ඒත් එදා ආ පයින්ම අනිත් පැත්තට හැරෙන්න වුණා. කිසිම මැසිවිල්ලක් නැතුව, මහන්සි නො පෙන්වා මාත් එක්ක යන්න ආයෙම හැරුණා.අදටත් මගේ ඇස් දෙකට කඳුළු එනවා. එදා මම තනි වුණ එක මතක් වෙලා නෙමෙයි අම්මා ගැන මතක් වෙලා. එයා විඳපු දුක්-මහන්සිය ගැන මතක් වෙලා.


මගේ අම්මා මගෙත් ආයුෂ අරගෙන නිරෝගීව තව ගොඩා...ක් කල් ජීවත් වෙන්න ඕන.දුරු රටක ඉඳ මම අදටත් එයාගෙන් ඈත් වෙලා.

                  

8 comments:

  1. ඔන්‍න‍ පොස්ට් එක බැලුවා ...සුබ පතනවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      Delete
  2. ඔය කතාව නම් ඇත්ත බට්ටි.. පිට ගේක වරදිලා හරි දවසක් ඉන්න උනොත් මට නම් ටොයිලට් යන්නෙත් නෑ.. ඒ තරම් බයයි... හි හි.... හැබැයි තනියම නම් එහෙම ඉන්න වෙලාත් නෑ.. එකම දවසක් මගේ බෙස්ට් ෆ්‍රෙඩාගේ ගෙදර ගියා එයාගේ වෙඩින් එකට.. එදා නම් එච්චර ගානක් තිබ්බේ නෑ... මොකද හිටියෙම කෙල්ලො ගොඩක් නිසා...

    ReplyDelete
    Replies
    1. හොස්ටල් ජීවිතේට පුරුදු වුණ නිසා ගෙදරින් පිට ඉන්නවා කියන එකේ අරුමයක් තිබුණේ නැහැ ඊට පස්සේ. ඒත් ඉස් ඉස්සෙල්ලාම මේට්‍රන් මිස් ගේ ගෙදර නේ නතර වෙන්න වුණේ. ගෙදරයි, හොස්ටල් එකයි ඇරුණාම. ඒකනේ කතාව.

      මිස් කෙනෙක් ගේ ගෙදර වුණාම කොච්චර අපහසුතාවයක්ද ඇති වෙන්නේ...

      Delete
  3. හිහි..හිහි...බට්ටි අක්කට වෙච්ච දෙයක්...අර වරක ගෙඩිය කන්න වුණෙත් නෑනේ......

    ReplyDelete
    Replies
    1. වරකා කනවා වගේද මලයා ගෙදර යන එක.

      Delete
  4. ඔහොම හොස්ටල් එකේ තනි උනාම දැනෙන දුක යේ වෙන කෙනෙක්ට තේරෙන්නේ නැ.එතකොට දැනේනේ පවුලේ ය අපිව අමතක කරලා දල වගේ.මටත් ඔය සන්තෑසියම උන හොස්ටල් එකට ගිය අලුත වගේ.

    ReplyDelete
  5. අනේ බට්ට් අක්කේ එකනේ 'අම්මා' කියලා කියන්නේ... අක්කගේ අම්මා අපේ ආයුෂත් අරන් නිරෝගී වෙන්න ඕනා
    යුක්තිය අ.පේලිය

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...