Monday, December 10, 2012

පුංචි මතකයන් 3



               ලස්සනම ලස්සන දවසක අළුත් යුනිෆෝම් එකත් ඇඳ ගෙන මැයි මල් වැටුණ තාර පාර දිගේ අළුත් ස්කෝලෙට ආවා.

අද එතැන් සිට.පුංචි මතකයන් 02 කතාවට.


               මහා ලොකු දුරක් බස් එකේ ඇවිත් හරිම මහන්සියක් දැනුණත්, අළුත් ස්කෝලේ නිසාත්, වටපිටාවේ සුන්දරත්වය නිසාත් ඒ මහන්සිය අමතක වෙලා තිබුණේ.

             කහ පාට මැයි මල් පිපිලා ප්‍රධාන ගේට්ටුව ළඟ ඉඳන් යන්න තියන තාර පාර අයිනේ. හරිම ලස්සනයි. මැයි මල් ගස් යාය දැක්කාම හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි කහ පාටින් පාවඩ එලලා අපිව පිළි ගන්න වගේ මැයි මල් තාර පාර වහගෙන.

                     අම්මාගේ අතේ එල්ලිලා මැයි මල් වැටුණු පාර දිගේ එද්දි අපි දෙන්නාගේ තනියට අපේ ළඟින්ම හිටියේ ලොකු අම්මා.

                       කඩියා වගේ එහෙට මෙහෙට දුව පැනලා වැඩක් කර ගන්න ලොකු අම්මා කොහොමත් දක්ෂයි.තාත්තා නැති වුණ දා ඉඳලා අම්මා වුණත් එයාගේ වැඩ තනියම කර ගත්තා. තාත්තා ඉන්නකාලේ තනියම දුර ගමනක් නො ගියා වුණත් ඒ අහිමි වීමත් එක්ක ඒ හැම දේම වගකීම වැටිලා තිබුණේ අම්මාගේ කර පිටට.ඉතින් ඒවා නො කර කොහොමද?

                         ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්ත ගමන් හැම දෙනාම බලන්නේ ස්කෝල ලිස්ට් එකෙන් තමන්ගේ ලකුණු වලට ගැලපෙන හොඳම ස්කෝලෙට යන්න නේ. ඒත්.. මම මහා ස්කෝල ගොඩක් ඉල්ලලා තිබුණේ නැහැ. කොහොම හරි ඒ දවස් වල ස්කෝල ලිස්ට් එක අනුව මගේ ලකුණු වලින් ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට යන්තමින් යන්න හැකියාව මට තිබුණා. සංඝමිත්තාවේ ලකුණු තිබුණේ ඊට අඩුවෙන්. ඒ කියන්නේ මම තමයි සංඝමිත්තාවේ පිට ස්කෝලෙකින් ආපු වැඩිම ලකුණු තිබුණ කෙනා. 

                           සමහර විට මුළු ස්කෝලෙමත් වෙන්න ඇති. වැඩි ලකුණු අය කොළඹ ස්කෝල වලට යන්න ඇති නේ. මම ඕවා හොයන්න ගියේ නැහැ.

කොහොම හරි අළුත් ලමයි ඉඩ තියන තියන විධියට පන්ති වලට දැම්මා.

                             මම වැටුණේ 6-C එකට.වැඩේ කියන්නේ මාත් එක්ක අළුත් අය කවුරුවත්ම ඒ පන්තියට නො වැටුණ එක. ඒත් පහු වෙලා මෙත්තා මගේ පන්තියට ආවා. හරියට කැම්පස් වල බෝට්ටු වගේ වෙන්න ඇති.

                          අපි දුර අය නිසා ස්කෝලේ හොස්ටල් එකේ ඉන්න ඉඩ ලැබුණා. ඒ කාලේ හැටියට හොස්ටල් ෆීස් රු. තුන්සිය ගාණක්. (හරියටම මතක නෑ.) තව හාල් කිලෝ දහයක් හරි ඒ ගණනට හරි යන මුදල හරි දෙන්න ඕන. ඔය හාල් ගේන සිද්ධිය නිසා අඩු තරමේ හොඳ හාලක බත් ටිකක් වත් ඉඳලා හිටලා කෑවා. නැත්නම් හොස්ටල් ජීවිතේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ කියලා දන්නා අය ඇති නේ.

                         එක්දහස් නවසිය අනූව දශකයේ එක්තරා වර්ෂයක මැයි මස 5 වැනිදායින් ඇරඹුන නව පාසල් වාරය පෙර හිතවතුන් නෑ-සියන් නැති පාළු ජීවිතයකට උරුමකම් කියූවක්. 6 වසරටම හිමි වුණ ඩෝම් එකක් ( දිග හෝල් එකක් වගේ, හරියට ස්පිරිතාලේ ඇඳන් තියනවා වගේ දෙ පැත්තට ඇඳන්. රැක් එකක්, පොඩි කබඩ් එකක්) ඇතුලේ අළුත් අය අතරමං වුණා. පරණ අය කියලා හිටියේ ගයානි, අනුරාධා තමයි. ඒ හැර 7 වසරේ අංජනා අක්කාත් එයාගේ 4 වසරේ නිමේෂා නංගිත් හිටියා.එයාලත් අතරමැද ස්කෝලෙට ආපු නිසා ඉඩ තිබුණ ඩෝම් එකට දාලා තිබුණා.හොස්ටල් එකටත් රෙජිස්ටර් එකක් තිබුණා. ඒකේ තිබුණේ ආපු පිළිවෙළට තමයි නම්. මගේ ලකුණු ඉහලම වුණ නිසා මම තමයි අළුත් අයගෙන් ඉස්සර වෙලාම නම තිබුණේ.

                        අළුත් අයට ඇඳන් දෙන කොට රෙජිස්ටරේට ප්‍රමුඛතාවය ලැබුණ නිසා හැමදාකම වගේ ඉදිරි පෙළ ඇඳක් මටත් හිමි වුණා.

                         හොස්ටල් එකේ කොහොම හිටියත් ස්කෝලෙට ගියාම නම් සසරම එපා වෙනවා. කොහේදෝ අස්සක තිබුණ පන්ති කාමරයක් තමයි 6-C පන්තිය වුණේ. ස්කෝලෙන් කොන් කරපු පන්තියක් වගේ හරියට. කොටින්ම කියනවා නම් මැඩම් ගේ නිල නිවාසයට යන පාර ලඟ නිල නිවසට ආසන්නයේ තමයි පන්තිය තිබුණේ.මැඩම් ගෙදරින් ඇවිත් පඩි පෙළ නැඟලා ස්කෝලෙට යන්න පටන් ගනිද්දි ඉස්සර වෙලාම පේන්නේ අපේ පන්තිය. නිදහස්ව තිබුණ පන්තියක් නිසා අපේ කෑ කෝ ගැහිල්ල අනිත් කාටවත්ම බාධාවක් වුණේ නෑ.

                      ඒ වගේම කවුරු හරි හදිසියේම කඩා පාත් වෙන තුරුම අපි දන්නේ වත් නෑ.

                         ඔය විධියට 6 වසර දෙවන වාර විභාගයත් ඉවර වුණා. පේපර්ස් බෙදුවා.ලකුණු ගත්තා. මහා දෙයක් දැනුණේ නැහැ.සමහර පරණ ළමයි ඇවිත් අර විෂයට කීයද.. මේකට කීයද... කිය කියා හාර හාර ලකුණු හොයනවා. මමත් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා මගේ ලකුණු කිව්වා. ඔක්කොම ලකුණු ලැබුණාට පස්සේ කණින් කොණින් ආරංචි එන්න ගත්තා. ............ තමයි පළවෙනියා.

                         ඔය හිස් තැන් දැම්මේ ඒ කිව්වේ මම ගැන නිසා. (හිතුවාද මම සතුටින් උඩ පනින්න ඇති කියලා. එහෙම වුණා නම් වැරදිලා.) මට දැනුණේ මහා හිස් බවක්. මොකක්දෝ මන්දා කියා ගන්න නො තේරෙන අමුතු හැඟීම් ගොඩක්.


" ඇයි යකෝ මේ මොන පුදුමයක්ද? මම ගමේ ස්කෝලේ වත් පළ වෙනියා වෙලා නැහැ නේ."

"මදැයි මාත් මහ ලොකු ස්කෝලයක් කියලා ඇවිත් තිය තැන."

                       මට හිතුණේ එහෙමයි.

                       "90% ට වැඩි ප්‍රතිශතයක් තියන අයට උදේ රැස්වීමේදී මැඩම් අතින් රිපෝර්ට් එක දෙන්නේ. මේ තරම් කාලයකට බෙස්ට් ක්ලාස් වල ළමයි හැර වෙන කවුරුවත් අප් රිපෝර්ට්ස් අරන් නැහැ. ඔයාට පුළුවන් නම් තව ලකුණු දෙක තුනක් මිස්ලාගෙන් එකතු කර ගෙන අප් රිපෝර්ට්ස් ගන්න."

                           අළුත් පන්තියේ  අළුත් ස්කෝලේ යාළුවෝ මට එහෙම කිවුවා. මට 89% කට වඩා ලකුණු ප්‍රතිශතයක් තිබුණා මතකයි. ඒත් මට මිස්ලා පස්සෙන් ගිහින් ලකුණු හිඟා කන්න හිත දුන්නේම නැහැ. මම හැම දෙනාගේම ඉල්ලීම් අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දැම්මා.


                              වසර මැද නිවාඩු දෙන දවසේ පුරුදු පරිදි උදෑසන රැස්වීම ඇරඹුණා. මමත් අනිත් අය එක්ක උදේ රැස්වීමට සහභාගී වුණා. 


          "මුළින්ම 6 වසර ඉහල ළකුණු ලබා ගත් ශිෂ්‍යාවන්ට හිමි ප්‍රගති වාර්තා පොත් විදුහල්පතිතුමිය අතින් ප්‍රධානය කරනවා ඇති"

කවුදෝ යකඩ කටින් කිවුවා.

ඊ ළඟට යකඩ කට අතට ගත්තේ අපේ අංශ භාර ගුරුතුමිය. 6-A පන්තිය.
..................
......................
.........................
..........................
..............................
..................................
........................
...........................
............................

                         ඔය විධියට නම් ලිස්ට් එකක් කියවා ගෙන කියවා ගෙන ගියා. අදාළ ළමෝ පේළියට ගිහින් තමන්ගේ රිපෝර්ට් එක මැඩම් අතින් ගත්තා.
                 
                             6-B  පන්තිය.
..................
......................
.........................
..........................
..............................
..................................
........................
...........................
............................

6 C  පන්තිය.

...............................................................

                        මහා දිගට මගේ නමත් කියෙව්වා. ළඟදි බඳින්න ඉන්න මනමාලියක් වගේ මහා ලැජ්ජාවක් මගේ හිතට දැනුණේ. ආඩම්බරකමක් නෙමෙයි. හරියට මම මහා වරදක් කරලා සභාවක් මැද දඬුවම් දෙන්න සූදානම් වෙනවා වගේ මට දැනුණේ. ලඟ හිටපු අය මාව තල්ලු නො කරන්න අදටත් මම එතැන ගල් ගැහිලා  ඉඳීවි හරියට පිළිමයක් වගේ.

                                                       මේ අපේ බුදු මැදුරේ බුදු පිළිම වහන්සේ.
                                මැයි මල් වැටුණ පාර. ( ඒත් මේ පින්තූරේ නම් ඒ තරම් මැයි මල් වැටිලා නැහැ )

                               අපේ ක්‍රීඩා පිට්ටනිය. උදේ රැස්වීම් තිබුණේ මෙතැන තමයි.
                                        සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පිළිමය
                  උදේ රැස්වීම තියෙද්දි ක්‍රීඩා පිට්ටනියේ  ඉන්න කෙනෙකුට මිස්ලා ඉන්න තැන, රැස්වීම මෙහෙයවන අය ඉන්න තැන පේන්නේ මෙහෙමයි.


                           කොහොම හරි බලද්දි වෙලා තියෙන්නේ අපේ පංති භාර ගුරුතුමිය බන්දුමතී මිස්ට හැමෝම කියලා මගේ ළකුණු ගැන. මිස්ගේ විෂයන් දෙකට ලකුණු එකතු කරන්න බැළුවත් කොහොමවත් කරන්න පුළුවන් කමක් තිබිලා නැහැ. මිස් ටත් හෙන අප්සට් එකේ ඉඳලා තියෙන්නේ. ඒත් මිස්ට ආරංචිය ඇවිත් මේ පාර 85% ට වැඩි අයටයි අප් රිපෝර්ට් ලැබෙන්නේ කියලා. කාටත් නො කියා මිස් මගේ රිපෝර්ට් එක උදේ රැස්වීම පටන් ගන්න කලින් අංශ භාර ගුරුතුමියට දීලා
              නම් ලිස්ට් එකට මේ නමත් දාන්න. මේ පාර මගේ පන්තියේ ළමයෙකුත් අප් රිපොර්ට් ගන්නවා කියලා මහා ආඩම්බරකමකින්. 


ආයෙමත් දවසක් හමු වෙන තුරු අදට සමු ගන්නම්. ආයෙම පුංචි කාලේ මතකයන් එක්ක එකතු වෙන්නම්.

8 comments:

  1. ඔන්න බට්ටි අක්කේ මමත් ආවා!
    ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම කියෙව්වට comment දැම්මෙ නැහැනේ, ඔන්න දැන් බ්ලොගක් අටව ගත්තා comment දාන්නම​....
    ඉඳල හිටලා අ.පේ මහගෙදර පැත්තෙත් ඇවිත් යන්න​

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. බ්ලොග් ලියන්න නෙමෙයි හිතේ තිබුණ දේවල් අකුරු කරාම බ්ලොග් අවකාශයේ ඉඩක් ලැබුණ අපේ මහ ගෙදර " අන්තිම පේළිය " අමතක කරන්නේ කොහොමද?

      Delete
  2. අහම්බෙන් ආවෙ. අලුත් උණත් සෑහෙන්න දක්ශ විදියට ලියන කෙනෙක්. උඩින් පල්ලෙන් බලාගෙන ගියෙ. ආයෙ ඇවිත් ඔක්කොම කියවල යන්න එනව අනිවර්යයෙන්ම. ලියන්න දිගටම. සුභ පතනව හදවතින්ම!!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න දක්ශ කියන එක කොහොම වුණත් අකුරු ටිකක් අමුණ ගෙන මොනම හරි දෙයක් ගොඩ නගා ගන්න දිරිය දුන්නේ නම් " අන්තිම පේළියෙන්".

      බොහොම ස්තුතියි මේ දිහා ආවට. ආයෙම ඇවිත් යන්න එන්න.

      Delete
  3. අපේ පැත්තේ තියලා ගිය පිය සටහන් දිගේ ආවේ. ලස්සනට ලියලා තියෙනවා.

    මට මතකයි මාත් 6 වසරට අලුත් ඉස්කෝලෙකට ගිය හැටි. ඉල්ලුම් කරලා තිබුන ඉස්කෝලේ ආවත් ඒ දවස්වල ඒකෙ කීර්තිය අඩු වෙමින් පැවතුණ හින්දයි, දුර වැඩි හින්දයි ළඟ පාත තියෙන ජාතික පාසලකට ඇතුල් වෙන්න ලැබුණා. එතකොට මාස දෙක තුනක් පරක්කු වෙලා. ඒත් මට මතකයි බණ්ඩා කියලා (පස්සේ හොඳ ෆිට් එකක්) යාලුවෙක් හැමදාම බාගෙට ඇඩිලා ඉන්නවා. පස්සේ බලනකොට එයා බෝඩින් වෙලා ඉන්නේ. ළමයින්ට උගන්නන්න ඕනි. ඒත් ඊට වඩා වටිනවා මව් පිය රැකවරණය.

    ආආ තව දෙයක්.අපේ පුංචිගේ පුතත් ඔය වගේ හොස්ටල් බෝඩ් කළා. අවු.2කට විතර ඉස්සර 6 වසරට. මට තමයි යන එන ගමන් බලන්න උනේ. ඌ නම් ඇම්ඩා. මන් බලෙන් කෝල් අරන් දෙන්න ඕනි කතා කරන්න. ඒ අස්සේ තව ළමෙක් මන් දිහා අසරණ විදියට බලාගෙන ඉන්නවා. (තාමත් මැවිලා පේනවා) මං එයාගෙන් ඇහුවා ගෙදරට කතා කරන්න ඕනිද කියලා. පොර ඔලුව වැනුවා. එයා කිව්වේ මොකක්ද දන්නවද?
    "අම්මේ නංගිව බලාගන්න" කියලා.

    ReplyDelete
    Replies
    1. හොස්ටල් ජීවිතේ දුක වගේම අද වෙද්දි මතක් කර කර හිනා වෙන්න හරි තියෙන්නේ ඒ වයේ මතක සටහන් තමයි.

      ගෙදරින් දුරස් වුණාම නංගිව බලා ගන්න කියලා අම්මාට කියන අයියලා ( 6 වසරේ පොඩ්ඩෙක් විශේෂයෙන්ම )නංගිට කොයි තරම් ආදරය කරනවා ඇද්ද?

      අනේ මටත් ඒ වගේ අයියෙක් හිටියා නම් කියලා හිතෙන්නේ පවුලේ සහෝදරයෙක් නැති නිසා වෙන්න ඇති.

      Delete
  4. අළුතෙන් අපේ දිහා ආපු හැම දෙනාටම ස්තුතියි. අළුත් බ්ලොග් එකට ඇවිත් දීපු සහයෝගය මහ මෙරක් වගේ.

    ReplyDelete
  5. මෙන්න තවත් බට්ටියෙක්... මුල ඉදන්ම කියෝගෙන එන්න ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...