Thursday, December 12, 2013

නොවෙනස් කළ හැකි අතීතය......

    
             ගමේ ජිවිතේ... කතාවේ ලියවුණු සුන්දර ගමේ තංගල්ල පහළගොඩ අපේ අම්මාගේ මහා ගෙදර තමයි ඒ කාලේ අපි හිටියේ.අපි උපදින්නත් පෙර 1980 ජූලි වර්ජනයට සහභාගී වීම නිසා රැකියාව අහිමි වුණු මගේ තාත්තාට ආයෙම රැකියාවක් ලැබෙන්න කොච්චර කාලයක් ගත වුණාද කියන්න මම හරියාකාරව දැන ගෙන නො හිටියත්,මට යාන්තමට මතකයක් තියන කාලේ පවා තාත්තා වෙන වෙන පොඩි බිස්නස් කරමින් අපිව ජිවත් කෙරෙවුවා.(ඒවාට බිස්නස් කිව්වොත් අපි කරන ඒවාට මොනවද කියන්නේ කියලා බොහොම ලොකුවට ඔය අංශයේ රැඳී ඉන්න අය මට සත්තම දමාවි.)ඇත්තටම මට මතකයි පාපැදියේ ගෝනි පිටින් පටවා ගත් රටකජු හේන් වලින් අරන් ඇවිත්, පොතු සුද්ධ කරලා පොඩි පැකට් වලට ගහලා කඩවල් ගාණේ අරන් ගිහින් දැම්මා.ඒ පැකට් එකක් රු.2.00ක් විතරයි.මම දන්නේ නැහැ එයින් යන්තමට ජීවත් වෙන්න තරම්වත් මුදලක් ලැබුණාද කියලා. ඊට අමතරව තව මොනවා හෝ කරන්නට ඇති. ඔය රටකජු ගැන මතකයේ තියෙන්න හේතුවක් තියෙනවා.

                   අපිත් කොයි තරම් පොඩි වුන් වුණත් අපටත් මහවුන් කරන දේවල් ඕන නේ. ඉතින් තාත්තා කරන්නේ රටකජු ගෝනිය බිමට හලලා අපිව බිමින් තියනවා තව පොඩි භාජනයක් එක්ක.අපට තියෙන්නේ රටකජු පොතු සුද්ධ කරලා හොඳ කජු ඇට අර භාජනයට දාන්න.පැකට් කරද්දී,ඒ භාජනේ තියන කජු ටික වෙනම අරන් පැකට් කරනවා.කොච්චර පැකට් ගණනක් එනවාද බලලා,පැකට් එකකට සතයක් හෝ දෙකක් (මට ගාණ මතක නෑ.)දෙනවා.ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් වැඩිපුර ප්‍රමාණයක් සුද්ධ කරන්න.ඔය අතරේ රට කජු ඇටයක්-දෙකක් හොරෙන්ම බිමට අත හරින්නත් අමතක කරන්නේ නැහැ.අවසානයේ ආයෙම අර පොතු ඔක්කොම අවුස්සනවා. "අනේ මෙන්න හොඳ රටකජු එකක්" කියලා හෙමින්ම කටේ දා ගන්නවා.අපි බිමට දමන කජු වලට අමතරව සමහර වෙලාවට වැඩිපුරත් බිම තියනවා,ගෝනිය පිටින් බිමට හලද්දී පොතු ගැලවුන ඒවා.පුංචි කමට අපිත් -අපි සුද්ධ කළ ඒවා කන්නේ නැහැ.ඒ වගේම සුද්ධ කරන අතරේ කටේ දාගන්නෙත් නැහැ.ඒවායෙන් සල්ලි ලැබෙන බව අපි දැන ගෙන හිටියා. ඔක්කොම ඉවර වුනාම තමයි පොතු ටික අවුස්සන්නේ.

              කොහොම හරි මට අවසානයේ රු.පහයි සත .....ගණනක් එකතු වුණා.ඒත්...අද වෙනතුරු ලැබුණේ නම් නැහැ.නංගිට නම් මොන්ටිසෝරි යද්දී ඒ වෙනුවට කියලා වතුර බෝතලයක් අරන් දුන්නා. මං අදටත් කියන්නේ මගේ ගාණත් එකතු කරලා එයාට නම් වතුර බෝතලයක් වත් ලැබුණා මට තමයි මොනවත් නො ලැබුණේ කියලයි.

               ගෝනාපීනුවල (ගාල්ල දිස්ත්‍රික්කයේ ) තාත්තාගේ යාළුවෙකුට වයින් ස්ටෝර්ස් එකක් තිබුණා.රස්සාව නැති නිසා තාත්තා ඔතැන වැඩටත් ගියා.අපි ඉපදෙන්න කළින් කොහොමද කියලා දන්නේ නැතත් අපි උපන්නාට පස්සේ අරක්කු-සිගරට් නො බිව්වා විතරක් නෙමෙයි ඒවා බොන කිසිම යාලුවෙක් වත් ගෙදරට එක්ක ගෙන ආවේ නැහැ.එහෙම හිටිය තාත්තාට ඒ වගේ තැනක රස්සාව කරන්න වුණා.ඔය කවුරු ගෙදරට එක්ක ගෙන ආවේ නැතත්,සීයා බීලා ගෙදර එන එක නවත්වන්න කියලා තාත්තාට කියන්න පුළුවන් කමක් නැහැනේ.අනික එයාගේ ගෙදරම ඉඳගෙන.ඒත්... අපට ඒ ගැන නම් ලොකු මතකයක් නැහැ. මොකද ඒ වෙද්දී අපි ගොඩක් පුංචියි.

                 ඔය අතරේ යම් දිනක තාත්තාට ආයෙම රැකියාව ලැබුණා.ඒ කවදාද,එදා දවස ගෙවුණේ කොහොමද මම දන්නේ නැහැ.තාත්තා වැඩ කළේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙක් විධියට.

                  සීයා අසනීප වෙන්නේ ඔය කාලයේදී.වෙනම ගෙදරකට යන්න පුළුවන්කම තිබුණත්, තාත්තා ඒ ගැන කිසිම තැකීමක් නොකළේ "මට රස්සාව නැති කාලේ වැටිලා ඉන්න දුන්නා. දැන් තාත්තා අසනීප වෙච්ච වෙලාවේ මට කර අරින්න බෑ" කියලා.

                       සීයාට තිබුණේ පිළිකා තත්ත්වයක්.මට මතක විධියට බඩවැල් වල.ආත්තම්මාත්,සීයාත් තාත්තාට ආදරේ කළා,මාමලාටත් වැඩිය.සමහර දවසට මාමා කෙනෙක් ආත්තම්මාව කේන්ති ගස්වන්න කියනවා "ඔවු ඉතින්,අපි නෙමෙයි නේ අම්මාගේ පුතාලා." කියලා.සීයාට කරාපිටිය ස්පිරිතාලේ නැවතිලා ප්‍රතිකාර ගන්නත් වුණා.කවුරු හරි එයා ළඟ නතර වෙන්න වුණා,තනියම එයාගේ වැඩ කර ගන්න බැරි නිසා.තාත්තා එයා ළඟ ඉන්න දවසට සීයාට හරි සතුටුයි.කොහොම හරි දොස්තරවරු කියලා තිබුණා සීයාට ජිවත් වෙන්න වැඩි කාලයක් නොමැති බව.ඉතින් එයා කැමති විධියට ජීවත් වෙන ටිකේ ඉන්න දෙන්න හැමෝම තීරණය කළත්,මාමාලා ඉන්න දවසට ටිකක් දරදඬු විධියට සීයාව පාලනය කරන නිසයි,තාත්තා ඉන්න එක ගැන එයා සතුටු.

                        ගෙදර ගෙනාවාම වුණත්, කෑම-බීම ටික තාත්තා තමා දුන්නේ. බෙහෙත් වුණත් තාත්තා හෝ අම්මා  දුන්නාම බාධා කිරීම් නැතිව බිවුවා.ඒත් ඉතින් හැම දෙනාම දැනගෙන හිටියා,ඒ ගෙවී යන්නේ සීයාගේ අවසාන දවස් කීපය කියලා.ඒ දවස් වල අපි හිටියේ ගෙදර ඉස්සරහා කාමරේ.ඒකට දොර තිබුණේ ගෙදරට පිටතින්.සීයාට කෑම-බෙහෙත් ටික දීලා තමයි අම්මත්-තාත්තත් කාමරේට එන්නේ.කොයි තරම් දැන ගෙන හිටියත් සීයා මෙලොව හැර යන බව,සීයා නැති වුණා කියලා දැන ගත්ත මොහොතේ තාත්තා ඉකි ගහ ගහා ඇඬුවා.සීයාව එම්බාම් කළෙත්, ගෙදරමයි.අපි පුංචි නිසා අපට ඒ පළාතේ වත් එන්න දුන්නේ නැහැ.  

                          ඉන් පස්සෙත් අපි වෙන පවුලක් කියලා වෙනම ගෙදරක නතර වෙන්න යන්න ඕනෑකමක් තාත්තාට නො තිබුණ නිසා, තාත්තා ඉන්න තුරාවට අපේ කියලා ගෙයක් තිබුණේ නැහැ.ඒත්.... තාත්තාත් නැති වුණාම, අම්මාට ඒ ගෙදර ඉන්න හිත දුන්නේ නැහැ.ඒ වගේම අම්මාට ඕන වුනේ නැහැ මහා ගෙදර එයා නමට ලියා ගන්න.අම්මා පවුලේ දෙවැනියා. එයාට බාල සහෝදරියන් වගේම සහෝදරයන් දෙන්නෙක් හිඳිද්දී එයාලගේ අයිතිය උදුරා ගන්න අම්මාට ඕන වුණේ නැහැ.ඉන්න හරි හමන් තැනක් නො තිබුණ ලොකු මාමාට ගේ ලියනවාට, පුංචි මාමාත් කැමති වුණා. (ගේ අයිති විය යුතු පුංචි මාමාට වුණත්). තාත්තා නැති වෙලත් අවුරුදු 2ක් මහා ගෙදර අමාරුවෙන් ගෙවා දාපු අම්මා,අපිවත් එක්ක ගෙන හම්බන්තොටට ආවා. ඒ අම්මාගේ අක්කාත් හම්බන්තොට හිටිය නිසා,ඒ පැත්තෙන් පුංචි ගේ කෑල්ලක් සල්ලි වලට අරන් අපි පදිංචි වුණා.ඔන්න ඔය විධියට ගමේ ජීවිතෙන් අපි සමු ගත්තා.



6 comments:

  1. ඒකත් එහෙමයි ඈ.. ගෝනා + පීනු + වල එහෙම වෙන්ටැති ගම හැදෙන්න ඇත්තේ නේද??

    ReplyDelete
  2. ඉතින් ඊට පස්සේ ??????

    ReplyDelete
  3. නංගිත් එක්ක හිත් අමනාපද ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ . එහෙම අමනාපයක් නැහැ. ඒත්...මාත් ඒ කාලේ පුංචි එකී නේ.පොරොන්දුවක් වෙලා ඒක ඉෂ්ට නොකළ හින්දයි අදටත් මට ඒ සිද්ධිය මතක ඇත්තේ.පොඩි අයගේ හිත් වලට බොරු බලාපොරොත්තු දෙන්න හොඳ නෑ නේද?

      Delete
  4. ඔබ හොඳට ලියනවා දිගටම ලියන්න,අනිත් අයගෙ බ්ලොග් වලටත් ගොඩවෙන්න.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩ වෙනවා නම් තමා. ඒත්... සමහරවිට කමෙන්ට් කරන්නේ නෑ. ලියන්නේ මොන වගේ අදහසක්ද කියලා හිත හිතා කමෙන්ට් කරන්න තරම් කාලය ගොඩක් මේ දවස් වල නැහැ. ඔෆිස් එකේ වැඩ කරන ගමන් හදිසියේ කියවලා දුවන නිසා. ඔබතුමාගේ බ්ලොග් එකටත් මම කීප වතාවක් ගොඩ වෙලා තියනවා. ආයෙම ආවාම අදහස් දාලාම යන්නම්කෝ. ස්තුතියි මේ පැත්තට ආවාට.

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...