Thursday, March 14, 2013

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ....03

               බොහොම කාලයකට පස්සේ ආයෙමත් හොස්ටල් ජීවිතේ ගැන ලියන්න ගත්තා. පහුගිය කාලයක් බ්ලොග් එක පැත්ත පළාතක වත් එන්න වෙලාවක් නැතුව හිටියේ.ඇවිත් වුණත් ලිවුවේ පොදු මාතෘකා ගැන නේ.ඉතින් ඔන්න තරහා අවසර. ආයෙම ලියන්න ඒ කාලේ දුකක් ලෙසත්, අදට රසබර මතක සටහනක් ලෙසටත් හදවතේ සදා කාලිකවම ලැගුම් ගත් ඒ සොඳුරු සමය ගැන.

               6 වසර අවසාන වාරය වෙද්දි තීරණය වුණා අළුතෙන් ඩෝම් ලීඩර්ස් ලා පත් කරන්න. අනේ කරුමයක මහත. ඒක කර ගහන්න වුණේ මේ බට්ටි කෙලීට නේ.කවුරුවත් කැමැත්තක් දක්වන්නේ නැහැ ඔය කටු ඔටුන්න දා ගන්න. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා වගේ වරප්‍රසාද ලැබෙනවා කියලායැ.සෙකට්‍රිලා, වාහන, අඩු මුදලට ප්‍රණීත ආහාර.... ඔය මොනම වාසියක් වත් නැහැ.. අපරාදේ කියන්න බැහැ අඩුපාඩුවක් නැතුව බැණුම් වර්ෂාවන්ට නම් නිතරම තෙමෙන්න වෙනවා.ඩෝම් එකේ ළමයි වෙලාවට පාඩම් කරන්න එනවාද? බුදුන් වඳින්න යනවාද? රෑට පිරිත් කියන වෙලාවට හැමෝම පිරිත් කියන්න එනවද බලන්න ඕන වගේම නො එන ළමයි ඒ තැන් වලට එක්ක ගෙන යන්නත් ඕන.

                  ඉතින් මාරම කරුමයක් තමයි ඕක.එහෙමයි කියලා ලැබුණ දේ දමලා ගහලා වගකීම් වලින් පැනලා දුවන කෙනෙක් නෙමෙයි මේ බට්ටි.පොරොන්දුවක් වුණොත් බෙල්ල ගහලා ගියත් ඒක ඉෂ්ඨ ('ට'කියලාද ලියවෙන්න ඕන කියලා මතක නෑ. හරියට දන්න කෙනෙක් කියන්න. )කරන්න ඕන කියලයි බට්ටිගේ අදහස.ඉතින් මුළු හොස්ටල් එකම ඉදිරියේ භාර ගත්ත වගකීම පොරොන්දුවක් දුන්නා වගේ කියන අදහසින් නිළ කාලය අවසන් වෙන තුරුම රැක්කා.ඔය නිසාම සමහර අය බට්ටි එක්ක අමනාප වුණා. එහෙමයි කියලා බට්ටි වැඩේ අත් අරීද...?

                   කට්ටියට කියන්නම්කෝ අපේ කාල සටහනේ හවස් වරුව ගැන ටිකක්. හොස්ටල් අයගේ ප්‍රියතම කාල පරිච්ඡේදය පටන් ගන්නේ හවස 4.30ට.ඒ තමයි ගේම්ස් වලට තියන වෙලාව. 5.30 වෙන තුරු පැයක කාලයක් ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට බැහැලා තමන්ට කැමති සෙල්ලමක් කරන්න පුළුවන්. ඒත් ඉතින් බොහෝ දෙනෙක් ගේ ක්‍රීඩාව තමයි එල්ලේ. ඒත් ඉතින් 6 වසරේ පොඩ්ඩන්ට ඒ චාන්ස් එක නැහැ. පිට්ටනිය වුණත් ඩෝම්ස් 6ක ළමයින්ට එල්ලේ ගහන්න තරම් ඉඩක් නැහැ නේ. ඉතින් ලොකු අක්කලා සෙල්ලම් කරනවා නම් පොඩ්ඩන්ට නෝ චාන්ස්. 11 වසර අක්කලා ගේම්ස් පීරියඩ් එකට එළියට බැස්සට සෙල්ලම් කරන්නේ නැහැ. 10 වසර තමයි. අනික අළුත් අය වෙච්චි අපි ළඟ එල්ලේ ගහන්න බැට් එකක් තිබුණෙත් නැහැ. ගස් මාරු වෙන එක, අයිස් ප්‍රයිස් ,කෑලි 7.... ඔය වගේ සෙල්ලම් වලට තමයි අපිට යොමු වෙන්න වුණේ.

                  5.30ට බෙල් එක ගහනවා ගේම්ස් ඉවර වෙන්න.ඉතින් පැය භාගයක් තියනවා බුදුන් වඳින්න යන්න. 6.00ට කට්ටියම බුදුන් වඳින්න බුදු මැදුරට යන්න ඕන. බුදු මැදුර ඇතුළේ ඉඩ නැති නිසා එතැන එළියේ තමයි කට්ටිය වැන්දේ.

                                                    මේ තමයි අපේ බුදු මැදුර ඇතුළ
                 මේ ස්කෝලේ වෙලාවේ බුදු මැදුරට පිටින් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ළමයි බුදුන් වඳින හැටි.


                ඔය වෙලාවට කට්ටිය එකතු කර ගන්න හරි අමාරුයි. දන්නවා නේ ඉතින්. සෙල්ලමට කට්ටිය හිටියත් පිං අතේ වැඩ වලට කට්ටිය එකතු වෙනවා අඩුයි නේ.ඔන්න ඔය වෙලාවට තමයි ඩෝම් ලීඩර්ස්ලට, හොස්ටල් ලීඩර් සහ දෙවැනියාට වැඩ තියෙන්නේ.කොහොම හරි වදෙන් පොරෙන් කට්ටියව බුදු මැදුරට දක්කා ගෙන (ඒක තමයි හරිම වචනය )යනවා. බුදුන් වැඳලා ඇවිත් 6.30-7.30 වෙන තුරු පාඩම් කරන්න තියෙන්නේ. 8.00ට රෑ කෑම. දන්නවා නේ හොස්ටල් හිටපු අය ඒවායේ කෑම ගැන.සමහර දවසට කටේ තියන්න බෑ.මොනවා කරන්නද කඩෙන් කන්න කියලයැ.ඒ වගේ දවසට කෑම එක එහෙමම ඩස්ට් බින් එකට හලලා ඩෝම් එකට ගිහින් බිස්කට් එකක් කාලා තේ බොන වෙලාවල් තියනවා.සතියකට හෝ දෙකකට වරක් ගෙදරින් ආවාම ගෙනැත් දෙන මොනවා හරි කෑමක වටිනාකම තියෙන්නේ ඔය වෙලාවට තමයි.

                 9.00ට පිරිත් කියන්න එන්න ඕන. හැමෝම ඩෝම් එකෙන් එළියට ඇවිත් කොරිඩෝ එකේ පේළි ගැහිලා ( ඔය කිවුවට පේළි ගැහිලා නෙමෙයි, හැමෝම කොහේ හරි බිත්තියකට හේත්තුව දාගෙන තමයි වඳින්නේ.) පිරිත් කියනවා. හාමුදුරුවරු වගේ රෑ එළි වෙන තුරු නෙමෙයි. විනාඩි 15ක් 20ක් විතර තමයි ඔය වැඩේට ගත වෙන්නේ.9.30-10.00 වෙද්දි ඩෝම්ස් ලොක් කරනවා. ආයේ දොර අරින්නේ උදේට තමයි.මොකක් හරි හදිසියක් වුණොත් දොර ළඟට ඇවිත් කෑ ගහන්න තමයි තියෙන්නේ.ඒ දවස් වල ෆෝන් තිබුණෙත් නැහැ නේ.වාසනවට කාට හරි ඇහුණොත් හරි. නැත්නම් සොරි.
 
                          ඔහොම බට්ටිගේ සුන්දර කටු ඔටුන්න පැළඳි කාලයේ පිරිත් කියන්න කට්ටිය එළියට ගන්න පුදුම දුකක් වින්දා. බොහොමයක් දෙනා අඬා ගත්ත ගමන් ම නේ. හරිම චුරු චුරුව. ගෙදර යන්න ඕන කියයි. ගෙදර මතක් වුණා කියයි. පාළුයි කියයි. මේ ලෝකේ කියන්න තියන ඕනම කාරණාවක් ඇති 6 වසර ඉවර වෙලා 7 වසරට යන තුරාවටම අළුත් කියන ලේබලේ තියන පොඩ්ඩන්ට අඬන්න.නර්මදා....ඈ හිටියෙත් බට්ටිගේ ඩෝම් එකේ. අකුරැස්ස පැත්තේ කෙනෙක්.එදා බට්ටි කට්ටියව පිරිත් කියන්න එළියට දාන්න වලි කද්දි නර්මදාත් ඇඳ බදා ගෙන. සමහරු පිරිත් කියන වෙලාව වෙද්දි නිදි. නර්මදාත් ඒ වගේ නිදි වගේ හිටියාට නිදි නෑ කියලා බට්ටි දැන ගෙන හිටියේ.

              බෙල් එක ගහලත් ටිකක් වෙලා ගිහින්, කතා කරනවා-කරනවා නැඟිටින පාටක් නෑ.අතින් ඇදලා බිමට දාන්න හැදුවත් ඇඳ බදාගෙන හොඳට. පිරිත් කියන්න යන්න ඉන්න බට්ටිට දැන් යක්ෂාවේශ වෙලා.මේට්‍රන් මිස් ආවොත් බැනුම් අහන්නේ බට්ටි නේ. වේවැල අරන් ආවාම නිදා ගෙන ඉන්න කෙනාට වගේම ඩෝම් ලීඩර් ටත් එයින් සංග්‍රහ ලැබෙනවා.

                බට්ටි මොකටද නිකරුණේ ගුටි කන්නේ.ඕං යක්ෂයා........... 

"මට ඉතින් මේකිට ගිනි කූරක් ගහලා ගිනි තියලා දාන්න තමයි හිතෙන්නේ...." 

                 කේන්තිය හිතේ තියාගෙන පුපුරු ගහ ගහා විඳවන සිරිතක් බට්ටිට තිබුණේ නැහැ. පිට කරලා දැම්මා. බොහොම ශ්‍රද්ධාවෙන් පිරිත් කියන්න යන්න කළින්. ඒත් නැඟිටින පාටක් නෑ. බලා ඉඳලා බැරිම තැන බට්ටි ගියා පිරිත් කියන්න. හොඳ වෙලාවට මේට්‍රන් මිස් ආවේ නැහැ.ඒත් පුදුමෙට පිරිත් කියලා ඩෝම් එකට එද්දි හොඳටම නිදා ගෙන හිටිය නර්මදා අවදි වෙලා, අඬනවා. අනේ අනේ.පිරිත් කියන්න යන්න නැඟිට ගන්න බැරි වුණ කෙනාට බට්ටි කේන්තියෙන් කියපු දේ ඇහිලා....... බට්ටිට විරුද්ධව මේට්‍රන් මිස් ළඟට යන්න නර්මදාට පුළුවන් කමක් නැහැ එයා අතේ වරදක් තියා ගෙන.සිද්ධ වුණේ එකම දෙයයි එදායින් පස්සේ නර්මදා බට්ටි එක්ක අමනාප වුණා, කතා කළේම නැහැ. බට්ටි වුණත් සෙකන්ඩ් වෙන්න ගියේ නැහැ,මොකද බට්ටි දන්නවා බට්ටි අතේ විතරක් නෙමෙයි වරද තියෙන්නේ කියලා. 

                       " එයා කොහොමද එහෙම කරන්නේ, මට ගිනි තියන්න. මොකද මගේ අම්මලා මාව හදලා තියෙන්නේ එයාට ගිනි තියලා දන්නද....?" ඔය වගේ දේවල් බොහොමයක් එදා නර්මදා කියෙවුවා. 

                     7 වසරට යද්දි නර්මදා හොස්ටල් එකෙන් අයින් වුණා. ඊට පස්සේ බෝඩිමක ඉඳන් ටික දවසක් ස්කෝලේ ඇවිත් ස්කෝලෙන් අස් වෙලාම ගියා.ඒ යද්දිත් බට්ටි එක්ක කිසිම කතා බහක් නර්මදාගේ තිබුණේ  නැහැ. කාලයත් එක්ක ඔය දේවල් අමතක වෙලා මිතුරු වෙන්න තරම් කාලයක් අපි මුණ නො ගැසුණ නිසා මට හිතෙන්නේ අදටත් අපි දෙන්නා තරහයි. මඟතොටදී අපි හමු වුණාද, හමු වෙනවාද දන්නෙත් නැහැ. පුංචි කාලේ දැක්කාට පස්සේ නොදැක්ක නිසා, දැන් දැක්කාට අඳුනා ගන්න පුළුවන් වෙන එකකුත් නැහැ.

                කොහොම හරි ඩෝම් ලීඩර් කමෙන් මට ඉතිරි වුණේ සදාකාලික හතුරුකමක් විතරයි.මොනවා හරි ඩියුටි එකක් නර්මදාට තියනවා නම් වෙන කෙනෙක් ට කියලා ඒ ගැන නර්මදා දැනුවත් කරවනවා මිස බට්ටි කතාවට නොගියේ ඒ දවස් වෙද්දි බට්ටි ළඟ  තිබුණ මහා හිතුවක්කාරකම නිසා. හිතුවොත් හිතූ දේ කරන්න තිබුණ ඕනකම සහ බට්ටි කරන දේ හරි ය කියන විශ්වාසය බට්ටි තුළ තිබුණ නිසා වෙන කෙනෙක් දෙන හැම අවවාදයක්ම බට්ටි පිළි ගත්තෙත් නැහැ.අනික බට්ටි හරිම තද, නපුරු හිතක් තිබුණ කෙනෙක්.කවුරු හරි තරහා වුණා කියලා එයාගේ යාළුකම නැත්නම් මට ජීවත් වෙන්න බැහැ. මම මොකටද තරහාකාරයෝ හදා ගන්නේ කියලා හිතලා තරහා අමතක කරලා යාළු වෙන්න තරම් ඕන කමක් බට්ටිට තිබුණේ නැහැ.අද වෙද්දි ඒ ගතිගුණ ටිකක් විතර අඩු වුණත් සම්පූර්නයෙන්ම නැති වෙලා නම් නැහැ. 


බලු වලිගේ ඇද අරින්න බැරි ලු නේ උණ පුරුකේ දැම්මත්.
               

4 comments:

  1. හි හි... හාපෝ.. ඉස්කෝලේ නායක කම් කියන්නේ කටු ඔටුනු තමයි... දෙයියන්ගේ පිහිටයි... මම නම් 6 ඉඳලා 11 වෙනකම්ම චිත්‍ර නායිකාව.. මොකද එකම ටීචර්නේ හිටියේ... අලුත් එකෙක් පත් කළත් ටීචර්ට මතක මාව.. ඉතිං අලුත් එකා මාවම අල්ලලා ෂේප් වෙනවා... හි හි....

    ReplyDelete
  2. හහහා.... මරු! ෂෝක් මතක :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. මාත් 6පන්තියෙදි හිටියේ හොස්ටල් තමා.. ඒකනං එපාම වුණා මට..බොහොම කෙටි කාලෙකින් එතැන්න් ඉවත් වුණා.. ඒත් ඒ කාලෙත් අද සොම්නස ගෙනෙන මතකයක් වෙලා.. නියමයි බට්ටි

    ReplyDelete
  4. හොස්ටල් ජීවිතේ රස විඳපු සහ දැන් මේ බ්ලොග් ලෝකයේ හොස්ටල් ජීවිත කතා ඉදිරිපත් කරන සැම දෙනා වගේම,, එයින් ඒ ජීවිතේ රස විඳින හැම දෙනාටම තුති.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...