Sunday, April 7, 2013

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ ....04

          ගොඩාක් කාලෙකට පස්සේ ලියන්න ගත්තා. අඩුම තරමේ ලිපියක් කියවන්න වත් මේ පැත්තේ ගොඩ වුණේ නැහැ. පහුගිය කාලේ මූණු පොතත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ෆේස්බුක් ගේම්ස් 2-3 කට වහ වැටිලා ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඒකේමයි.අටුවා ටීකා ටිප්පනි (තිප්පනි ද මන්දා) නැතුව ලියන්න ආපු දේවල් ලියන්න ගන්නම්කෝ.දැන් කට්ටියට මතකද දන්නෙත් නෑ.

          අද මගේ පරණ මතකයන් අතරට යන්නයි හිතුවේ. මොකද කියන්නේ.. මොනවා කිවුවත් ඒ අදහස් දැන ගන්න තුරු පරක්කු කරන්න බෑ. අකැමැති උදවියට පුළුවන් අත් ඇරලා දාන්න. ඕං..... කැමති අය මෙතැනින් පස්සෙත් කියවා ගෙන යන්නකෝ.

     ඇත්තටම කිවුවොත් මටත් මතක නැහැ මම මෙච්චර දවස් ලිවුවේ මොනවාද , නො ලිවුවේ මොනවාද කියලා. කොහොම හරි කමක් නැහැ අද ලියන්නම්කෝ 7 වසරේ අපේ හපන්කම් ගැන. 

           අළුත් ස්කෝලෙට ඇවිත් දෙවාරයක් ඉවර වෙද්දී 7 වසරට යන්න කාලේ හරි ගියා.ඇයි ඉතිං ඒ කාලේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන අයට ස්කෝල ලැබුණේ වාරයක් ඉවර වෙලා නොවැ. හොස්ටල් ජිවිතේ රසවත්ම කාලය ගත කළේ ඔය කියන 7 වසර සමයේ තමයි. ඒකට එක හේතුවක් තමයි මේට්‍රන් මිස්ගේ කාමරෙන් දුරින්ම තියන ඩෝම් එක වීමේ වාසනාව උදා වුණේ ඔය 7 වසර "සමන්" ඩෝම් එකට වීම.ඊට ටිකක් අඩු වාසනාවක් 8 වසර "කුමුදු"හා පිළිවෙලින් 6 වසර "නෙළුම්", 11 වසර "උපුල්" හා අවසානයට මිස්ගේ කණ ළඟම ඉන්න වාසනා කළේ, 9 වසර "සේපාලි".කට්ටිය බලනවා ඇති මොකද 10 වසර ඇත්තියන්ට වුණේ කියලා . 10 වසරට ආපු ගමන් එයාලා හොස්ටල් එකෙන් අස් කරන්නේ නැහැ.එයාලත් ඉන්නවා. ඉතින් ඉන්නේ නැහැ නේ කියලා ඉවර වෙනකල්.

           මෙහෙමනේ වැඩේ. අපේ හොස්ටල් එක තිබුණේ තට්ටු දෙකට.ඔය කළින් කිවුව ලිස්ට් එකම හිටියේ උඩ තට්ටුවේ. 10 වසරට නිතරගයෙන්ම යට තට්ටුව හිමි වුණා.හොස්ටල් එකේ ලොකුම ළමයි අනිත් අයගේ ආරක්ෂාවට උඩ තට්ටුවෙත්, තනියම රැකෙන්න පුළුවන් කියලා හිතෙන 11 වසරට පමණක් බාල වූ 10 වසර යට තට්ටුවෙත් හිටියා. 

      ඔන්න කට්ටියට පොඩි අදහසක් ගන්න කටු සටහනක් අමුණනවා,බලා ගන්න කොහොමද තිබුණේ කියලා. 

(හරියටම plan එක ඇන්දේ නැහැ. ඒ සම්බන්ධ දැනුම ඇත්තෝ සමාවෙන්න.එහෙම්මම plan එක දාලා කවුරුහරි හොරෙන් පැන්නොත්....... ? බිම් මහලේ බිත්ති නැද්ද අහන්නෙපා.)
                  ඉතින් ඔය ඇත්තන්ට දැන් අදහසක් ඇති සමන් එකේ ඉන්න 7 වසර ළමයි ඇයි අසීමිතව නිදහසක් ලබා ගත්තේ සහ එය ලැබුණේ කෙසේද කියලා. හැබැයි ඒ එක්කම තවත් කරුමයක් ඒ හා බැඳිලා තිබුණා නිදහස වගේම.7 වසර ළමයි දෙන්නෙක් ඉන්න ඕන එන අමුත්තන්ට පහසුව සඳහා,අදාළ ළමයාට පණිවිඩය යවන්න. ඒ කිව්වේ මම ඉහල දක්වපු සටහනේ පළමු මහලේ දොරෙන් ඇතුළු වුණාම දකුණු පැත්තට තියන ඉඩ කොටසේ පුටු දාලා තියෙන්නේ එන අයට.ඉතින් එහෙම කවුරුහරි ආවම කාගේ ගෙදරින්ද කියලා අහලා අදාළ ළමයාට පණිවිඩය දෙන්න ඕන.ඔය රාජකාරිය යෙදුණ දවසට හවස ක්‍රීඩා පැය පවා අහිමි වෙනවා විතරක් නෙමෙයි, මේට්‍රන් මිස්ගේ වලිගය වගේ එයා පස්සෙන්ම යන්න ඕන.

          ළමයින්ට තැපෑලේ එන ලියුම් මිස් කඩලා බලලා තමයි ළමයින්ට දෙන්නේ. පිරිමි ළමයින්ගෙන් ලියුම් එනවද දන්නෙත් නැහැනේ. ඒ වගේම ළමයින්ට සති අන්තේ ගෙදර යන්න ඕන නම් බදාදා වෙද්දී මැඩම්ට ලියුමක් එවන්න ඕන අවසර ඉල්ලලා.එතකොට මැඩම් අත්සන් කරලා හොස්ටල් එකට එවනවා.හැමෝටම නිවාඩු නොදෙනවා නම් ලියුම අනිවාර්යයි. සමහර නිවාඩු ආවා නේ අඟහරුවාදාට. ඉතින් සමහරු සඳුදා ස්කොලේ නොඑන්න සිකුරාදා ගෙදර යනවා.අන්න ඒ වගේ යනවා නම් ලියුම ඕන.

       ඔහොම කල් ගත වෙද්දී පෝය නිවාඩුවක් (වගේ මතක)ආවා ඔය වගේ. හැමෝම නොයන.සමහරුන්ට ගෙවල් වලින් ලියුම් එවලා අවසර අරන් තිබුණත්,බට්ටි නම් දන්නවා යන්න වෙන්නේ නැහැ බට්ටිට කියලා.ඒ වගේ ෂුවර් එකටම නොයන අයත් කීපයක් හිටියා.

   6 වසර- 7 වසර දෙකටම හවස අතිරේක පන්ති කළේ එකම ගුරුතුමී . නමින් නුවනි.6 වසර පන්තිය ඉවර වෙලා 7 වසර පටන් ගත්තේ. එදත් සුපුරුදු ලෙස 6 වසර පන්තිය ඉවර වෙන තුරු හතේ අපි පන්තියේ පිටිපස්සට වෙලා වාඩි වුණා.

     "කවුද මේ නිවාඩුවට ගෙදර යන්නේ.ගෙදර යන්නේ නැත්නම් අතිරේක පන්තියක් කරන්න පුළුවන්..".

           6 වසරට ආපු අය කිවුවාම නිවාඩුවක් එනතුරු මඟ බලා ඉන්න අය නේ.වැඩි දෙනෙක් අත් එසෙවුවා ඉහළට.එකිනෙකා දෙස අපි විමසිල්ලෙන් බැළුවේ හතේ අපි දන්නවා කාටද යන්න අවසර ලියුම් ලැබුණේ කියලා. ඒ අතරේ නිශානි ත් ඉන්නවා.හතේ අපි එකිනෙකාගේ මූණු බලමින් ඉඟි කර ගත්තත්,සමහරුන්ගේ මුවින් "හිකිස්..." හඬක් පිටවුණේ ඔවුන්ට පවා නො දැනුවත්ව.

            නුවනි මිස්ට යමක් තේරුම් ගියත්,අතිරේක පන්තියක් නො පවත්වන බව කියමින් 6 වසරට පන්තිය නිම කළා. හතේ අපෙන් පවා යමක් ඇසූ බවක් මට මතකයේ නම් නැහැ. පන්තිය ඉවර වෙලා යද්දී නිශානි ඇඳට වැටිලා අඬනවා හොඳටම.එයාටත් සැකයක් දැනෙන්න ඇති.

              කොහොම හරි නඩුව ගියා මේට්‍රන් මිස් ළඟටම.

    මොකක්ද නඩුව....? ලියුමකුත් තියෙනවා ගෙදර යන්න ... මොකද හිතන්නේ ඔය ඇත්තෝ....?

              ඇත්තටම නිශානිගේ ගෙදරින් එවූ ලියුමක් නැහැ.එය හතේ අපේ නිර්මාණයක්.කළින් ඇගේ ගෙදරින් එවූ ලිපියක් කොපි කරමින්   දෙමාපිය අත්සනක් සහිතව ,අවසර සහිත විදුහල්පතිනියගේ ව්‍යාජ අත්සනින් යුතු ලිපියක්.

          ඔන්න අපේ මේට්‍රන් මිස්ට හොඳටම කේන්ති ගිහින්.

  "කවුද මේ වැඩේ කරේ.කියනවා බලන්න.නොකිව්වොත් අරන් යනවා මැඩම් ලඟට..."

     " අපි තමයි කරේ..."

      "අපි කියන්නේ තමුන් හැමෝම කොහොමද මේ එක ලියුමක් ලියන්නේ..."

     ශබ්දයක් නැහැ කාගෙන්වත්.

        'හරි . කවුරුත් කතා කරන්නේ නැහැ නේ . මමම හොයා ගන්නම්.අරන් එනවා හැමෝම තමුන්ගේ ලියන පොතක්.'

    අපිත් හිනා තද කරගෙන ගියේ පොත් අරන් එන්න.

        හෙවුවා හෙවුවා මිස්ට හොයා ගන්න ලැබුණේ නැහැ.අන්තිමේ ජූරිය තීරණය කළා නඩුව ඉහල උසාවියට යොමු කරන්න.අපේ මැඩම්ගේ ක්වාටස් තිබුණෙත් හොස්ටල් එක ආසන්නයෙමයි.ඉතින් හැමෝම ගෙනියන්න බැරි කමට නිශානිට ලියුම ලැබුණ දිනයේ ඩියුටි කළ දෙදෙනා පෝරකයට ගෙන ගියා.

        අපි සමන් එක ආසන්නයේ කොරිඩෝවේ ඉඳන් බලා ගෙන. මිස් යනවා තරුෂිත් ,දීප්තිත් එක්ක ගෙන.අපි හැමෝගෙම වාසනාවට මැඩම්ට අමුත්තන් ඇවිත්. මිස් වුණත් බයයි මැඩම් මුණ ගැහෙන්න යන්න.පොඩි පොඩි නඩු කෑලි අරගෙන.

      ඔන්න ඉතින් අපි නිදහස් වුණා ඔය විධියට. කට්ටිය ගියාම මැඩම් ලඟට ගෙනියනවා කියලා හිටියත්, හරි ඉක්මණට අමතක වෙන අපේ මිස් ගේ පිහිටෙන් අද වෙනතුරු අපි හොඳින්.

        දැන් ඔන්න කට්ටිය කඩු-පොලු අරගෙන සටනට එන්න එපා. "අපෝ...මේ බට්ටිලා කරන නසරාණි වැඩ.පවු පුංචි එකී." කියලා.

  එහෙම කියනවා නම් බට්ටිලාත් පුංචි වුන් තමයි එතකොට. එක අවුරුද්දනේ වැඩිමල්. 

       ( නිශානිවම මේ වැඩේට යොදා ගත්තේ ඇයි? එහෙම කරන්නේ කොහොමද 7 වසර, 6 වසර වෙනමනේ ඉන්නේ කියන අදහස ඔබ කාටහරි ඇති වෙයි කියලයි මේ පහළින් ඇති සටහන) 


      අළුතෙන් 6 වසරට ළමයි එද්දී එන ප්‍රමාණය නිසා ඇත්තටම 6වසර ඩෝම් එකේ ඉඩ ප්‍රමාණවත් නැහැ.ඒ නිසා 7 සහ 8 වසර ඩෝම් වල පිටිපස්සේ තියන ඉඩේ 6 වසර ළමයි කීප දෙනෙක් දානවා. 6 වසර අය 7ට යද්දී සෑහෙන්න පිරිසක් ස්කොලෙන්ම හෝ හොස්ටල් එකෙන් අයින් වෙනවා.එතකොට තමයි එයාලට අදාළ වසරේ අය  එක්ක එක ඩෝම් එකේ ඉන්න ලැබෙන්නේ. ඉතින් නිශානිත් ඒ වෙද්දී හතේ අපි එක්ක එක ඩෝම් එකේ තමයි හිටියේ.ඒකයි .

       අනෙක් කාරණාව තමයි ඕනම දෙයකට ගැලපෙන කෙනෙක් ඉන්නවා නේ. එහෙම කෙනෙක් වෙන්නත් ඕනනේ.....












6 comments:

  1. හොස්ටල් ජීවිතයේ ඇතුලාන්තයත් කියමුද බට්ටියේ

    ReplyDelete
    Replies
    1. ඇතුළාන්තය කියලා අදහස් කළේ මොකක්ද කියලා දළ අදහසක් හරි මට ලැබුණොත් .....?

      සමහරු හිතනවා හොස්ටල් වල ඉන්නේ හරිම නරක ළමයි කියලා.මොකද මට ඕන තරම් ඇහිලා තියනවා "අපි දන්නේ නැද්ද හොස්ටල් ළමයින්ගේ හැටි "කියන කතාව. ඔබ අදහස් කළෙත් එයමදැයි මම දන්නේ නැහැ.හැකි නම් පොඩි අදහසක් දෙන්න.

      අදහස් දැක්වුවාට ස්තුතියි බෙහෙවින්ම.

      Delete
  2. චික්... මං ඉඳලා නෑ නේ හොස්ටල්... මං ඉස්කෝලේ යන කාලේ සාන්ත දාන්ත තීන්න කූඩුව... හි හි... පොතක් අහුවුනොත් මෙලෝ සිහියක් නෑ....

    ReplyDelete
    Replies
    1. හිරුවෝ... මමත් එමමයි.මට මතකයි මම 4 හෝ 5 වසරේ.මගේ උපන්දිනේට මට ලැබුණා කතා පොතක්. මතක විධියට ඒකේ නම රන් කුරුල්ලා , කීර්ති කළහේ කියන ලේඛකයා ගේ.ස්කෝලේ ඇරිලා ගෙදර ආවාමයි තෑග්ග මට ලැබුණේ. ඉතින් ඒක අතට ගත්ත ගමන් බෑග් එක එහෙම්මම පුටුව උඩ තිබ්බා. ඇඳුම් මාරු කරලා කන්නවත් සිහිය නෑ.මම පොත කියවනවා.අන්තිමේ ගෙදර අයගෙන් හොඳට බැනුම් අහලා තමයි පොත පැත්තකින් තියලා දවල්ට කන්න ලෑස්ති වුණේ.එතකොටත් හවස 3.00ත් පහු වෙලා. ( ඒ කාලේ ස්කෝලේ 1.30ට ඉවර වෙන්නේ)

      Delete
    2. මම ඒ ලෙවල් අවුරුදු දෙකේ හිටියේ පුස්තකාලේ පදිංචි වෙලා.. ටීචර්ලා නමට එක දාන්නේ පුටුව උඩ බෑග් එක තියෙනවද බලලා... හි හි.... මං කරන්නේ ඔය හොඳ හොඳ සීන් එහෙම තියෙන පොත් ගෙනල්ලා පන්තියේ උන්ට දෙනවා මෙන්න මේ පිටුව බලපල්ලා කියලා.. හි හි... ( කොලරා කාලේ ආලේ... ඊවා ලූනා වගේ පොත්...හි හි... )

      Delete
  3. අපේ නම් හොස්ටල් ජිවිත වල ඔය වගේ නසරානි වැඩ කරලා නෑනේ.පන්සලක් වගේ අපේ හොස්ටල් එක :)

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...