Sunday, December 29, 2013

අළුත් අවුරුද්දටවත් අළුත් වෙමුද?

             2013 අවුරුද්දත් අවසාන වෙන්නයි යන්නේ.හප්පේ...කාලය ගත වෙන ඉක්මණ.2014 අවුරුද්ද ලබන්න තියෙන්නේ තවත් දෙ දවසක් විතරයි. 

                 දෙසැම්බර් 31 වෙනිදා රෑට බොහොමයක් දෙනා මහා උත්සවාකාරයෙන් සමරනවා.මම මේ ඉන්න ඩුබායි රටේ බොහෝ තැන්වල "ත(ර්)ටි ෆස්ට් නයිට්" එක ගැන  තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. ඒකත් බහුතරයක්ම පිරිමින්ට.ඔය අතරේ පාටි තියන තැන් වලට එකතු වෙන ගෑණු පරාණ ඉන්නවා පිරිමින්ට හපන්. බෝතල් කටේ තියා ගෙන බොන.එතකොට මොන වගේද කියලා නොදන්නා අය වැඩියි කියන්න මම දන්නවා. මෙහේ ඉන්න අයට නම් ඔය වගේ දේවල් මහා ලොකු සිදුවීම් නෙමෙයි.

                            පහුගිය දවසක ආධුනිකයන්ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා අජ්මාන් වල "ක්‍රවුන් පැලස් " හෝටලයේදී. මීට මාසයකට පෙර. හරියටම කියනවා නම් නොවැම්බර් 29 වැනි දින.මමත්,මගේ මහත්තයත් සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග බලන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර කලින් සඳහන් කළ කාරණාව.

                               ගෑණු -පිරිමි බී ගත්තාම එතැන සින්දු අහන්න වෙන්නේ නැහැ.මැදට පැනලා ජාතික ගීයටත් නටන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි.මහා දරුණු වලි ඇරඹෙන්න ත් ගත වෙන්නේ බොහොම සුළු වෙලාවයි.හොටෙල් එක ඇතුලේ තිබුන ප්‍රසංගයක් නිසාත්, ඊට මා ගෞරව කරන "ජයලාල් රෝහණ "යන් පැමිණෙන බව සඳහන් වූ නිසාත් (දොරමඬලාවේ සමහර වැඩසටහන් බැලීම නිසා) එය සංවිධානය කරනු ලැබුවේ මගේ මහත්තයාගේ පාසලේ ආදී සිසුවෙක් නිසාත්,එකී මෙකී නොකී බොහෝ හේතු සාධක නිසා දුරු කතර ගෙවා ගෙන අපි දෙදෙනාත් ඒ ප්‍රසංගය නැරඹීමට පැමිණියා.රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නයන්ද ඊට සහභාගී වුණා.

                              මුලින් මුලින් බොහොම හොඳින් පැවති ප්‍රසංගයට ටික වෙලාවක් ගත වෙද්දී නැටුම් එකතු වුණා.ගැහැණු අය නටන්න පටන් ගනිද්දී මට දැනුණා  " දැන් නම් අපිට යන්න වෙලාව හරි " බව. ඒත්.. එක්වරම හැර යා නොහැකි නිසා ටිකක් ඉවසා සිටියා. කීයට ඉවර වේද නොදැන කොහොම හරි රෑ 11.00 විතර වෙද්දී අපි දෙන්නා පිටත් වුණා.අපි ගෙදරට ඇවිත් එතැන හිටි මිතුරෙකුට දුරකථන ඇමතුමක් දෙන කොටත් වැඩසටහන ඉවර නැහැ.එළිමහන් ප්‍රසංග වල වගේ පුටු උස්සලා ගහ-මරා ගත්තේ නැති වුණාට මට නම් මහා කලකිරීමක් ඇති වුණා.

                         සංගීත වැඩසටහන බලන්න යමු කියලා මම මහත්තයාට කතා කළේ,එය යම් කිසි ප්‍රමිතියකට ඇති කියන විශ්වාසය නිසා.නමුත් එතැන කරපු ලොකුම වරද තමයි බොන්න දීපු එක.අනික එයට සහභාගී වුණේ වැදගත් යැයි සැළකෙන රැකියා කරන අයම විතරක් නෙමෙයි. එයින් අදහස් කළ දේ සමහරවිට සමහරුන්ට රිදෙන්න පුළුවන්.ඒත් ඇත්ත එයයි.අපේ රටේ ගෘහ සේවිකා කියලා එන බොහොමයක් දෙනාගේ හැසිරීම හරිම ජුගුස්සාජනකයි.රියදුරු-ක්ලීනර් ඔය වගේ අය වුණත් බොහොමයක් දෙනා දන්නේ නැහැ තමන්ගේ තත්ත්වය තියා ගෙන ජීවත් වෙන්න.ඉතින් බොහෝ වෙලාවට පොදු ප්‍රවාහන භාවිතා කරද්දී අපේ රටේ භාෂාව ඇහෙද්දී වුණත්,මම නෑසු කන් ව ඉන්න පුරුදු වෙලා තියෙන්නේ,හිතකින් නම් නෙමෙයි.ලැජ්ජාවට.90%ක් දෙනා වැරදි කරද්දී ඊට අයත් නොවන 10% හරි හැටි හඳුනා ගන්න ලේසි නැහැ.

                             ලංකාවේ ඉඳන් එද්දී එයා පෝර්ට් එකේදී පාස්පෝර්ට් චෙක් කරන කොට ලංකාවේ කියලා දැක්කාම එතැන ඉන්න අය සමහර විට හරිම අප්‍රසන්න බැල්මක් අපටත් යොමු කරන්නේ ඒ හින්දයි.අනික මෙහේ තනියම ටැක්සියකට නැග්ගොත් ලංකාවේ කියලා දැන ගත්තාම උන් බලන්නේ හවුස් මේඩ් කෙනෙක් කියලාමයි.එච්චර ඕන නැහැ.හදිසියේ වත් ලංකාවේ කෙනෙක් හමු වෙලා කතා කරත් අහන්නේ පාට් ටයිම් කරන්නේ කොහේද?.....ඔය වගේ දේවල්. ලංකාවේ ගෑනුන්ට උගත්කමට රස්සාවක් මෙහේ කරන්න බෑ කියලයි අපේම මිනිස්සුත් හිතා ගෙන ඉන්නේ.මගෙන් දවසක් කෙනෙක් ඇහුවා "ඉන්නේ company වීසා ද private වීසාද " කියලා,නොකියා ඇහුවේ කඩේක වැඩ කරනවාද?ගෙදරක වැඩ කරනවාද වගේ දෙයක්.

                           තම තමන් දැන් ඉන්න තැන ඉඳන් හිතුවොත් හැම අවුරුද්දක වගේම තවත් වසරක් උදා වෙද්දී අපි හැමදාම කරන්නේ එක්කෝ පාටියක් දානවා.නැත්නම් නිදා ගන්නවා. ලංකාවේ නම් ජනවාරි පළමුදා ඔෆිස් යන්න අළුත් ඇඳුමක් ගන්නවා. උදේම කැවුම්-කිරිබත් කාලා 10.00ට විතර වැඩ පටන් අරන් 12.00ට විතර ගෙදර එනවා.මොකද ජනවාරි පල වෙනිදා වැඩ පටන් ගන්න ඕන නැත්නම් වගතුවක් නෑ කියලා හිතන නිසා.



                            මෙහේ නම් ජනවාරි පළ වෙනිදා නිවාඩුයි.

     ඒ නිසා 31 වෙනිදාට, තානාපති කාර්යාලයේ   සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් තියෙනවා.ඒ හැර  ලොව උසම කුළුණ වුණු "බර්ජ් කලීෆා"වල ගිණි කෙළි සංදර්ශනයක් තියෙනවා.හැම තැනම බෝතල් පාටි තියනවා.කැමති කැමති විධියට 2013 නිමාව සටහන් කරන්න පුළුවන්. හැබැයි විනාඩි 10ක විතර ගිනි කෙළි සංදර්ශන බලන්න යන අයට නම් රෑ 2.00-3.00 විතර වෙන තුරු වත් ගෙවල් වලට එන්න නම් වෙන්නේ නැහැ,ඒ තරමට වාහන තදබදය.

    ඔන්න ඩුබායි ඉන්න ඇත්තෝ පින් කැමති අය පිරිත් අහන්න යන්න.ගිණි කෙළි බලන්න යනවා නම් ගෙදර එන වෙලාව ගැනත් හිතන්න.ඔය හැමෝම එකතු වෙලා දාන බෝතල් පාටි නම් ඉතින් ඉවර වෙන වෙලාවක් නැහැ නේ. ඒ කොහොම වුණත් ඒවාට යන අයත් ගෙදරට එන්න පිළිවෙලක් හදා ගන්න.පොලිස් මහත්තුරු මෙහේ හරිම තදයි......


ඉතින් එහෙම නම් හැම දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ 2014 වර්ෂයක් හිමි වේවා......!
                            



25 comments:

  1. ඔය සංගීත වලට යන ලංකාවෙ බහුතරයකගෙ හැසීරීම අන්තිමයි තමා. ආයෙ වලියක් ශුවර්.. එහෙ පොලීසිය වුනත් ලංකාවෙ එකතුවක් කිව්වොත් ටිකක් වැඩිපුර අවධානෙන් තමා ඉන්නෙ.

    බට්ටිටත් මහත්තයටත් ලබන්නාවූ වසර සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ඒක තමයි. අනිවාර්යයෙන්ම එළිමහන් සංගීත ප්‍රසංග නම් වලියක් නැතිව ඉවර වෙන්නෙම නැහැ.පහුගිය දවසක කෙල්ල-කොල්ලට බෝතලයක් කඩලා ඇනලා.ඒකත් අනියම් සම්බන්ධයක්.

      ඒ වගේ තැන වලට යන්න නම් හරිම බයයි.ගහ ගන්නේ යකඩ පුටු වලින්.

      අළුත් අවුරුද්දට සුබ පැතුම් ඔබටත්.සිතන-පතන සෑම යහපත් පැතුමක්ම ඉටු වේවා....!

      Delete
    2. ඉස්සරත් බට්ටි කියලා කෙනෙක් හිටියා. ඒ ඔයාමද ? වෙන කෙනෙක්ද ? තවත් බට්ටියෙක් සිටීද ?

      Delete
    3. තවත් බට්ටි කෙනෙක් හිටියා.දැන් නම් එයාගේ ලිපියක් දකින්න වත් නැහැ.එයා හිටිය නිසා මම බොහොමයක් බ්ලොග් වලට කමෙන්ට් කළේ නැහැ.පැටලීමට ඇති ඉඩකඩ වැඩි නිසා. ඇත්තටම එයාට වෙච්ච දෙයක් නම් දන්නේ නැහැ.මට මතකයි එක කාලයක් මම දැක්කා ඇගේ බ්ලොගය කවුරුන් හෝ හැක් කර ඇති බවට ලිපියක්.ඉන් පසුව තොරතුරක් නැහැ.

      එයා ලංකාවේ හිටියේ ඒ වෙද්දී.කමියුනිකේෂන් එකක් ගැන විස්තර ලිව්වා වගේ මතකයි.ඔයා අහන්නේ එයා ගැන නම් ඒ මම නෙමෙයි. මම මුලින්ම ලියුවේ "අන්තිම පේළිය" ට -බට්ටි නමින්.

      Delete
    4. http://sugandi-batti.blogspot.ae/ ඔන්න බට්ටිව හොයා ගත්තා..............

      Delete
    5. ආ ඔව් එයා තමා.. එයා මේ නොවැම්බරුත් ඉඳලනෙ.. ඒත් කාලෙකින් කොහෙවත් කමෙන්ට් කරලා තියනවා දැක්කේ නෑ.

      Delete
    6. මගේ බ්ලොග් එක නම් හැක් උනේ නැහැ. මූණු පොතට එහෙම උනා කියල තමයි ලිව්වේ. ටිකක් කම්මැලි හිතිලා බ්ලොග් ලියන එක ටිකක් මඟ ඇරුනා. 2014 දි වත් දිගටම ලියන්න ඕනි.
      සුභම සුභ අලුත් අවුරුද්දක් ඔයාටත්.

      Delete
    7. ඔයත් මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි. ඔන්න බට්ටිලා දෙන්නෙක් ඉන්න එක ගැන දැන් කාටවත් ප්‍රශ්න එන්නේ නැති වෙයි නේද?

      සමා වෙන්න ඕන. මට මතක තිබුණා "බ්ලොග් එක නැති වෙයි කියලා බට්ටි බයෙන්.." වගේ දෙයක් ගැන ඔයා ලියලා තිබුණා වගේ. ඒකයි එහෙම ලිව්වේ.

      හදිසියේම වෙන කෙනෙකුගේ බ්ලොගයක ඔයාගේ බ්ලොගයේ අප්ඩේට් එක දැක්ක නිසයි ලින්ක් එක දැම්මේ.

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා.........

      Delete
  2. ඇයි බට්ටි ඔය ගෑනු කතාකරන විලාසය,හලෝ කියයි ඕයි කියයි මම නං කතාකරන්න හරිම අකමැතියි.

    ReplyDelete
    Replies
    1. ඉන්නේ කොතනද කතා කරන්නේ කාත් එක්කද කියන එක ගැන, අහගෙන ඉන්න අය කවුද කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැහැ කතා කරන්න ගියාම.හරියට මලබාරි දෙන්නෙක් හමු වුණා වගේම තමයි.

      Delete
    2. නව වසරට සුබ පතන්න අමතක වුනානෙ,
      සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
    3. ඇත්තමයි.ඔබටත් එසේම වේවා..

      Delete
  3. කලීෆා ගොඩනැඟිල්ල ගැන තොරතුරු හෙව්ව පහු ගිය කාලෙ මම දැක්ක ඔය විදුලි බුබුළු සහ ගිනිකෙලි සංදර්ශනයක් :) හරිම ලස්සනයි

    සුභ නව වසරක් බට්ටි අක්කේ

    ReplyDelete
    Replies
    1. හැම අවුරුද්දෙම දෙසැම්බර් 31 රෑ ඔය ගිනි කෙළි සංදර්ශනය තියෙනවා.ඒත් මම නම් කවදාවත් බලන්න ගිහින් නැහැ.ඕපනින්ග් එක දවසෙත් තිබිලා තියෙනවා.මේ වතාවේ ලෝක වාර්තාවක් තියන්නලු හදන්නේ විනාඩි 8ක් හරි 10ක් හරි එක දිගට.ක්වෙට් වලලු වෙනදා රෙකෝර්ඩ් එක.මෙහේ උන්ට තියෙන්නේ රෙකෝර්ඩ් තියන පිස්සුව තමා....


      ඔබටත් සුබම සුබ නව වසරක්...

      Delete
  4. අපිත් ඉතින් ජනවාරි පළවෙනිද කරන්නේ බුදියන එක තමයි.. එහෙනම් ඔන්න බට්ටි අක්කටත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. දැන් සුවපත් වෙලා ඇති කියලා හිතනවා. ඒකනේ මේ අන්තර්ජාලේ සැරි සරන්නේ. හරිම සතුටුයි.ඔබටත් සුබම සුබ නව වසරක් වේවා.....!

      Delete
  5. ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  6. සියලු අරමුණු ඉටුවන සුභ නව වසරක්.

    ReplyDelete
  7. සුබ නව වසරක් බට්ටි

    ReplyDelete
  8. ඔබටත්, මහත්තයාටත්.. සුබ නව වසරක් වේවා..!

    බට්ටි කෙනෙක් ඉස්සරත් හිටියා මීට අවුරුද්දකට විතර කලින් ඒ ඔයාමද කියල නම් දන්නෙ නැහැ...ඒ නිසා විස්තර බැලුවෙ....ප්‍රමාණසමීක්ෂක කෙනෙක් කීවාම මගේ ක්ෂේත්‍රයේ එක් පාර්ශවයක්නෙ..අනික මැදපෙරදිග ඉහල ඉල්ලුමක් තියෙන්නෙ..සතු‍ටුයි...!

    මැදපෙරදිග ඔය කතන්දරය කෝරලේ මහත්තය වැඩි විස්තරත් එක්කම කියල තිබ්බ.බොහොම කනගා‍ටුයි අපේ අය ගැන. ලංකාවෙ කියල මහ වෙනසක් නැහැ..31 පාටි එමටයි...අපේ ගෙදරත් කිරිබත් හදන්නයි කතාව අනේ මන්ද..මම නම් ඔවට කැමතිම නෑ..! සිංහල අවුරුද්ද සමරන අපිට මක්කටෙයි තවත් අවුරුදු,,?

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා..

      ඇත්ත සිංහල අවුරුදු සමරන අපට ජනවාරි පළවෙනිදා කිසි වැඩක් නෑ තමයි.වසරක් ගෙවිලා අළුත් වසරක් එනවා කියන්නේ මට නම් ඕන කරන්නේ ඩයරියයි, කැලැන්ඩර් එකයි තමා...ඔය සමරන කතා මට නම් තිත්තයි.

      කිරි බත් හදනවා කියන එක නම් මහා ලොකු දෙයක් නෙමෙයි.සමහර වෙලාවට මම නම් මාසේ පල වෙනිදාට කිරි බත් හදනවා. හැම මාසෙම නෙමෙයි.මතක් වුණොත් වගේ.එකක් ඒක මහා අමාරු වැඩක් නෙමෙයි නේ. අනික උදේට මොනවා හරි කොහොමත් හදන එකේ බත් එකට කිරි ටිකක් එකතු කළා කියලා ලොකු වෙනසක් නැහැ නේ.

      කිරි බත් හදන්නේ සුබ දේකට කියන මතය තමයි ඔතැන තියෙන්නේ.

      Delete
  9. බට්ටිගෙ නිවහනට ඔන්න මමත් ඔලුව දැම්මා...මම ඉන්න මැලේසියාවෙ ලංකාවෙ නමට ඔය තරම් ලොකු කැළලක් තාම වෙලා නෑ....ඒකට හේතුව තමයි මැලේසියාවෙ අංක 2 ට ඉන්න ධනවතා නැත්නං මෙහෙ සන්නිවේදන අංශයෙ වගේම ඉන්ධන බෙදාහැරීමේ අංශයේත් ප්‍රමුඛයා වන ආනන්ද ක්‍රිෂ්නන් ලාංකිකයකු වීම. මැලේසියාවට සේවා සපයන සන්නිවේදන චන්ද්‍රිකා සියල්ලම ඔහුගේලු...

    නමුත් අනිත් කාරණා ඒ වගේම තමයි...බස් එකේදි උනත් සිංහල වචනයක් ඇහුනොත් ඇහුනෙ නැති විදියට තමයි මම ඉන්නෙ...අදුරගෙන කථාවට ගියොත් ඉතිං ජාතකේම අහනවා...උදව්වක්ම තමා බලාපොරොත්තු වෙන්නෙ....බීම සහ සංගීතය මාවත් දෙකක් නිසා ඒ දෙකම එකම තැනක මුලිච්චි උනාම එළිමහන් සංගීත ප්‍රසංගයකට කෙසේ වෙතත් ශාලාවක තියෙන එකක් කොටඋඩ යන්න තියෙන ඉඩ වැඩියි.

    2014 සුභ වසරක් වේවා...පළවෙනිදා අපිටත් නිවාඩු....

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...