Tuesday, July 8, 2014

සිහින සැබෑ වීම තෙක්.....

පුංචිම පුංචි හීනයක් තිබුණා අනිත් හැමෝටම වගේ මටත්. කොයි තරම් හීන එකතු වුණා -අඩු වුණා  වුණත් , කිසිම දවසක නොවෙනස්වම හැමදාම වගේ දැකපු.

ඒ හීනේ වෙනුවෙන් පහුගිය කාලේ බොහොම ඉවසීමෙන් බලා ගෙන හිටියේ.සිහිනය සැබෑ වීමත් සමගම කාර්‍යය බහුල වුණා මං . ඒත් ඉතින් හීනේ හැබෑ  වුන සතුට දවසෙන් දෙකෙන් නිමා නොවන, මුළු ජීවිත කාලය පුරාවටම රැඳී තිබෙන නිසා, මේ වන කාර්යය බහුලත්වය පිළිබඳව පුංචිම පුංචි අමනාපයක් වත් දැනෙන්නේ නැහැ මට.

හැම කෙනෙක්ම වගේ මාත් බොහෝ ආසාවෙන් එකතු කරගත්ත හීනය........

ගැහැණු ආත්මයක්ව ඉපිද, යමක් කමක් තේරුම් ගැනීමට හැකි වූ දා පටන් ඇය ජීවිතය ගෙවිය යුතු අයුරු සැලසුම් කරනවා.හැම කෙනෙක්ම නො වුණත් බොහෝ දෙනෙක්. විශේෂයෙන් ආදරය සම්බන්ධව.තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන කෙනා පිළිබඳව.ඔහු මොන විධියේ කෙනෙක් විය යුතුද , කුමන ගති පැවතුම් තිබිය යුතුද... ලෙස. මේ අතරට ධනය, කඩවසම් බව, රැකියාව, අධ්‍යාපනික පසුබිම , පවුල් තත්ත්වය , කුලමල ආදියද සමහර අය සැලකිල්ලට ගන්නවා .

ඔය මොන දේවල් සලකා බැලුවත් දෙමාපියන් කේන්දර ගැලපීම ගැනත් බලනවා. ඔය එකී මෙකී නො කී  බොහෝ දේ සළකා බැලීමෙන් පසුව සිදු වන විවාහයෙන් පස්සේ ප්‍රධානම වශයෙන් අම්මලා-නැන්දම්මලා ගේ බලාපොරොත්තුව එයාලාව ආච්චි කෙනෙක් කරන්නේ කවදද කියලා විමසිල්ලෙන් ඉන්න එක. තාත්තලා වුණත්  නොකිවුවාට ඒ බලාපොරොත්තුවෙන් ඉන්නේ සීයා කියන පුංචි පැටියෙක්ගේ මුණ දකින්න.

පුංචි පැටියෙක්ගේ බලාපොරොත්තුවෙන් හීන දැකපු මමත් විවාහයෙන් වැඩි කල් නොයාම ඒ බලාපොරොත්තුව ඉටු වේ ගෙන  එනවා යි හිතේ හිනාව මුණටම එකතු කර ගෙන ඇඟිලි ගැන ගැන බලාන උන්නා. ඒ හීනෙට ඒ හැටි ආයුෂ තිබුණේ  නැහැ. ඒ නිසාද මන්දා ආයෙම හීන දකින්න මං බය වුණා . ඒත්  කාටත් නොකියා මම මගේම හිතේ හංගාගෙන ඒ හීනය වැවෙන්න පොහොර දමමින් බලාන උන්නා. දවසින් දවස ගෙවී ගෙවී ගිහින්, වසර හතරකට ආසන්න කාලයක්ම ගෙවුණා . කඳුළු බින්දු හිතට, නෙතට එකතු කරමින්.ගෙවුන හැම වසරකම මගේ (අපේ ) හීනය මැකුන දවසට මම ඇඬුවා හැමෝටම හොරෙන්.

ඒ අතීතය අද මට බලාපොරොත්තුවක් විතරක් නෙමෙයි, මගේ හීනයත් හැබෑ කරලා දීලා . 

පුංචි පැටියෙක් අපේ ලෝකෙට එන්න හදන බව දැන ගත් මොහොතේ පටන් බොහොම පරිස්සමෙන් ඒ හීනයට වගේම,පුංචි පැන්චියටත් වැඩෙන්න දුන්නා. දකින අය හැර, බොහෝ අයට කීමට මැලි වුණා කලින් බිඳුණු හීනය නිසාම.

කාලයක්ම මගේ බ්ලොගය පැත්තේ වත් නෑවිත් මම කැප වුනේ අපේ පුංචි ලෝකෙට එකතු වුන පුංචි පැටියා වෙනුවෙන්.


ඔන්න මගේ යහළු යෙහෙලියන් හැම දෙනාටම කිවුවා මෙපමණ කලක් මගේ බ්ලොගය පාලුවට ගිහින් තිබුණු හේතුව.ඉදිරියටත් ටිකක් ලිපි වල අඩුවක් තියේවි ටික කලක් යන තුරු, සමාවෙන්න ඕන හැමදෙනාම ඒ ගැන... :)

Tuesday, February 18, 2014

මග තොටදී ........

                හැමදාමත් වැඩට යද්දී උදේට හමු වෙන අය වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.ඒ මොකද මම වගේම ඔවුන් පවා එකම වෙලාවට නිවසින් පිට වෙලා තමන්ගේ සේවා ස්ථානයට යන අය නිසා. ඔය අතරේ හැමදාම හමු වෙන මතක හිටින චරිත කිහිපයක්ම තියෙනවා.සුපුරුදු විධියට මම මෙට්‍රෝ එකෙන්  Mall Of  Emirates වලදී බැහැලා ඉතිරි දුර පා ගමනින් තමයි තවමත් ඔෆිස් එකට එන්නේ.


                                                                           මෙට්‍රෝ
                                        දුම්රිය වේදිකාවේ 


                                     Mall Of  Emirates 
                               Mall Of  Emirates දුම්රිය නැවතුම් පල 

                   ඔය අතරේ වැඩි දුරක් Mall එක ඇතුළෙන්ම ඇවිත් කා(ර්) පාර්කින් එක හරහා එන්නේ සිග්නල් එක ළඟට. එතැනින් පාර මාරු වෙලා විනාඩි 6-7ක් තුළ මට ඔෆිස් එකට එන්න පුළුවනි.

                     මාත් එක්කම දුම්රියේ එන - මගේ ඔෆිස් බිල්ඩින් එකට එහා බිල්ඩින් එකේ සේවය කරන හයේ-හතරේ ආරක්ෂක නිලධාරි මහත්තයෙක් මේ දවස් වල නම් එනවා. මිට පෙරත් තවත් ආරක්ෂක මහතෙක් පැමිණියා.දැන් ඔහුගේ සේවා මුරය මාරු වෙලා මම වැඩට එද්දී ඔහු ඕෆ් වෙලා යනවා මඟදී හමු වෙනවා. කලින් කිවූ හයේ-හතරේ මහත්මයා තමයි දැන් ඒ වෙලාවට වැඩ කරන්නේ.නමුත් ඔහු එන්නේ මම එන පාරෙන් නෙමෙයි.වටෙන්.ඒක දුර වැඩියි කියලා මම දන්නවා. මොකද මගේ ඇවිදීමේ වේගය එක්ක සලකා බලද්දී මම සිග්නල් එක ළඟට එද්දී ඔහුත් එතැන කියන්නේ,ඒ පාර දුර වැඩියි කියලා. (හිතා ගන්න පුළුවන් නේ මගේ වේගය)

                          ඒ හැර මට ඉදිරියට හමු වෙනවා ෆුල් සූට් දාගෙන කෙනෙක්. පෙනුමෙන් නම් ඔහු අරාබි රටක කෙනෙක් වගේ. සමහර විට සිරියන්,ලෙබනන් හෝ ඊජිප්තු වැසියෙක් විය හැකියි. හැමදාම මම දකිනවා මොන යම් හෝ දෙයක් කමින් තමයි ඔහු ගමන් කරන්නේ. අනිවාර්යයෙන්ම එය ඔහුගේ උදෑසන ආහාර වේල විය යුතුයි.නමුත් දවසක් මා දුටුවා ඔහු අතේ තිබුණ දේ බිම වැටුනා ඒ හා ම නැමුණු ඔහු එය අහුලා ගත්තා.අතේ තිබු ටිෂූ එකෙන් හොඳින් පිස දැමු එය නැවතත් කටේ දා ගන්න අයුරු දුටු මට නම් ඇති වුන හැඟීම මොකක්ද කියලා මට තවමත් අදහසක් නැහැ.සමහර විට ඔහු එයට වඩාත් රුචියක් දක්වනවා ඇති.නැතිනම් අළුත් යමක් මිළදී ගන්න මුදල් හෝ කාලය මදි කමක් තියෙන්න ඇති.කොහොම වුණත් ගිණිය නොහැකි තරම් සෙනගක් යන මහා පාරේ වැටුණු යමක් නැවත මුව තුළ රුවා ගැනීම නම් අනුමත කරන්න බැහැ.ඉන් පසුව ඔහු දකින හැම වෙලේම මට සිහි වන්නේ එයමයි.රවුම් , කුඩා මුහුණට කුඩා උපැස් යුවලක් පැළඳ ගෙන කඩිසර ගමනින් යන ඔහු මට සුපුරුදු දසුනක්.

                             අම්මගේ අතේ එල්ලිලා පුංචි කොණ්ඩ කරල් දෙකක් බැඳ ගෙන මොන්ටිසෝරි යන චුටි චීන දැරියත් හැමදාම වගේ හමුවෙනවා.සමහර දවසට ඈ අම්මා-තාත්තා දෙන්නාගේම අත් දෙකේ එල්ලිලා බොහොම සතුටින් යනවා.

                             යුරෝපීය රටක තරුණ ගැහැණු ළමයෙක් හැමදාම එයාගේ බල්ලාව ඇවිද්දවන්න යන්නෙත් මම ඔෆිස් එන වෙලාවටම තමයි.


          මේ මොන ජාතියේ බල්ලෙක්ද කියලා මම නම් නමින් දන්නේ නැහැ.ඒත් ඇය ඇවිද්දවන්නේ මේ වගේ කෙනෙක්. මට නම් එයාව දැක්කාම ආසා හිතෙන්නේ නැහැ.ඇයි මේ වගේ කැත එකෙක්ට මේ තරම් සලකන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ මදිවාට උගේ වල්ගෙත් හරිම පොඩියි.

             ඔය අතරේ කුණු ලොරිය,පාර අතු ගාන අය කඩ වලට උදේම කෑම ජාති(බේකරි කෑම) සහ බීම (කිරි,පළතුරු බීම වගේ) දාන වාහන එකම වෙලාවට එකම තැන දී දකින්න ලැබෙනවා.

                8.00 ට වැඩ පටන් ගන්න මම කොහොමත් උදේ 7.00-7.20 අතරේ ඔෆිස් එකට ඇවිත් ඉවරයි. මට මතක තියන කාලයේ ඉඳන්ම මම හරිම අකැමැතියි පරක්කු වෙලා යන්න. ඒක යන තැන අනුවම නෙමෙයි. ස්කෝලේ යද්දී, පන්ති යද්දී, රස්සාවට යද්දී කවමදාවත් පරක්කු වෙලා යන්න මට හිත දුන්නෙම නැහැ. එහෙම පරක්කු වෙනවා නම් මට යන්න හිතෙන්නේ නැහැ. දැන් රස්සාව කරන නිසා මොනම හරි හේතුවක් මත පරක්කු වෙනවා නම් ලොක්කා දැනුවත් කරනවා මයි. අනික මම හරිම අකැමැති දෙයක් තමයි නිවාඩු දාන එක.පන්ති ගිහින් කලින් ගෙදර එන එක, ස්කෝලෙන් කලින් එන එක වගේම පීරියඩ් කට් කරන එක.

          කට්ටිය කියාවි ස්කෝලේ කාලේ ඔය පීරියඩ් එකක් වත් කට් කරන්නේ නැති නම් මොකටද කියලා.එහෙමත් කළා උසස් පෙළ කරද්දී.ඒත්..එහෙම කළේ නොකරම බැරි වුනොත්.සමහර විට ස්පෝර්ට් මීට් කාලෙට. හවුස් එකේ දර දිය අදිනවා නම් ඉතින් කරන්නම වෙනවා නේ. ඒ හැර සමහර විට ලයිබ්‍රි පීරියඩ් එකට ආවාම ආයේ පන්තියට යද්දී ඊළඟ පීරියඩ් එකෙන් භාගේකට වඩා ගිහින්. හේතුව තමයි උසස් පෙළ කරන කාලේ අපේ පන්ති තිබුණේ කන්ද උඩ. පුස්තකාලේ තිබුණේ පහළ. ඉතින් හෙමින් හෙමින් කට්ටිය එක්ක පච මල්ල මග දිගට හල හලා යද්දී පන්තියට ළඟා වෙන්න නො සෑහෙන්න කාලයක් ගත වෙලා.හැබැයි පන්තියේ හිටියට ඉංග්‍රීසි නම් ඉගෙන ගත්තෙම නැති තරම් උසස් පෙළදී.

                  උසස් පෙළ කාලේ ඉතින් ළමයි ස්කෝලේ එන්නෙම නැහැ වගේනේ. ඒත් මම නම් ගියා.අපේ පන්තියේ මම වගේ තවත් කිහිප දෙනෙක් හිටියා. සමහරු විභාග කාල වලට විතරක් ආවා.80% කතාවක් තිබුණා වුණත් කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ.

                       ඔන්න ලියන්න ගත්ත දෙයින් වෙනමම කතාවකට ගියේ.එහෙම නම් ආයේ වෙන වල්  බූත ඕන නැහැ.ඔන්න නැවැත්තුවා.

Sunday, February 2, 2014

මායිම් ප්‍රශ්න...

         

                          මේ තරම් කාලයක් දුරු රටක දුක් විඳගෙන හරි හම්බ කර ගත් මුදලින් මිලදී ගත්ත ඉඩම් කෑල්ලේ නව නිවසක් ඉදි කරන්නට පෙර, මායිම් සීමා නිවැරදිව හඳුනාගෙන තාප්ප කෑල්ල ඉවරයක් කර ගන්න ඕන කියන අදහස අපි දෙන්නාටම තිබුණා. මොකද කීවොතින් ඔය ඉඩම මිළදී ගනිද්දී අපි දැන ගෙන හිටියා,ඉඩමේ එක් පැත්තකින් යන්න තියන අඩි 10 පාර වෙනුවෙන් තව අඩි 2ක්  ඒ පාරේ ගෙවල් වල අය  ඉල්ලලා තිබුණ බව.අපි මිළදී ගන්න පෙර ඉඩම අයිති වෙලා තිබුණ, දැනට කොළඹ පදිංචි වෙලා ඉන්න ගෑණු කෙනා ඔය වෙනුවෙන් නඩු කියලා එයා දිනලා. නගර සභාවෙන් කියලා තියෙනවා වැට මායිමට කරලා ගෙයක් හදන්න කියලා.එයා ඒ නිසා කාමර 2ක පොඩි ගේ කෑල්ලක් වැට මායිමේ හදලා,ඉස්සරහා කොටසේ තාප්ප කෑල්ලත් බැඳලා ම තිබුණේ.

                              ගෙදර වැඩ පටන් ගන්න කලින් තාප්පේ හදන්න මුල ඉඳන්ම අදහස තිබුන නිසා පහුගිය සතියේ එයා ලංකාවට ගියා දවස් දෙකක් වෙනුවෙන්. ලණු අදින්න,  ගෙපල කපන්න (වචනය හරිද මන්දා - කොහොම හරි ලණු ඇද්දට පස්සේ පොලව හාරන එක ) සහ මුල් ගල තියන්න වෙන වෙනම නැකැත් හදලා තිබුණා. මායිම් කණුව ලඟට කරලා කුඤ්ඤ ගහලා වැඩේට ලක ලැහැස්ති වෙලා.

                         ඔය අතරේ පිටි පස්සේ ගෙවල් වල එකා-දෙන්නා වැට මායිමේ කැරකෙන්න පටන් අරන්.සමහරු වටෙන් ගොඩින් කියනවාලු 

           "මහත්තයා තාප්පේ ගහද්දි ටිකක් වත්ත ඇතුළට කරලා ගැහුවා නම් කවදා හරි පාර වල ලොකු කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.නැත්නම් අපරාදේ තාප්පේ කඩන්න වෙනවානේ..."

          " කමක් නැහැ ඉතින්. ඕවා සිද්ධ වෙන්නේ තව කාලයක් ගිහින්  නේ."

         " අපේ ගෙවල් වලට ප්ලෑන් එකක් වත් පාස් කර ගන්න බෑ මහත්තයා අඩි 12ක පාරක් නෑ කියලා."
                  "මහත්තයා සල්ලි දීලා ගත්ත ඉඩමෙන් ඉල්ලන්න අපට අයිතියක් නැහැ.ඒත් ඉතින් සාධාරණයක් කරන්න පුලුවන් නම් ..."
           
           " ඔයාලාට තියන ප්‍රශ්නේ ඒක නම් මම සාධාරණයක් කරන්න බලන්නම්"

              ඔය වගේ දෙබස් හුවමාරු වෙද්දී කොට කලිසමක් ඇඳ ගත් අවුරුදු 45-50ක විතර කෙනෙක් මහා උජාරු ලීලාවෙන් වත්තේ මායිම් කණු ළඟ කැරකෙමින්,
         "මේ ..... තාප්පේ කොහොමද ඔය විධියට ගහන්නේ මේ මේ කණුවට ගන්න." 

"ඔයා කවුද?"
"මම කවුරු වුණාම මොකද ?මේ තාප්පේ එන්න ඕන මෙතැනට.හරියට තාප්පේ ගහන්න "

"මගේ ඉඩමේ තාප්පේ ගහන විධිය කියලා දෙන්න ඕන නෑ.මම හරියට තමයි කොහොමත් තාප්පේ ගහන්නේ"

"ඔයා හිටියද ඉඩම මනින වෙලාවේ? "

"නෑ.ඔයා හිටියෙත් නැහැ නේ. "

"ඔයා හිතනවා මෙතන තමයි කණුව තියෙන්නේ.මම හිතනවා මේක තමයි කියලා."
"එහෙම කොහොමද පාරේ තාප්ප ගහන්නේ.? "
"ඒකට තමයි ආණ්ඩුවේ ඔෆිස් තියෙන්නේ.පොලිසි තියෙන්නේ.ඔයාට එහෙම ප්‍රශ්නයක් තියනවා නම් පොලිසි යන්න.මම මේක නවත්තන්නේ නෑ.මොකද මම නීති විරෝධී විධියට නෙමෙයි තාප්පේ ගහන්නේ.නගර සභාවෙන් තාප්පේ ප්ලෑන් එකත් පාස් කරගෙන සල්ලි ගෙවලා තමයි වැඩේ පටන් ගත්තේ."

                     ටික වෙලාවකින් ලොකු පොර වගේ හිටි මනුස්සයා මාරු.

ආයෙම ඇවිත් වතාවක් රණ්ඩුවට ඇවිත් තිබුන වෙලාවේ අපේ නෑණා පොඩ්ඩ කියලා තිබුණේ "හරි අයියේ..ඔයා ඔය වැට පහු කර ගෙන වත්තට එන්නකෝ.ඇවිත් මල්ලිට එක පාරක් හරි ගහන්න බලන්න.ඊට පස්සේ අපි ඉතුරු ටික බලා ගන්නම් " කියලා.

ඔය ඔක්කොම චණ්ඩි කම් කටින් විතරයි.බයක් වගේ පෙන්නුවා නම් මුළු ඉඩමම දීලා අත පිහ දා ගන්න තමයි වෙන්නේ.

       ඒ මගේ මහත්තයාගේ උපන් ගම.දැන් ලංකාවේ නැති නිසා වෙන්න ඇති පිට ගං කාරයෝ කියලා හිතාගෙන සද්ද දාන්න එන්න ඇත්තේ.  අනික නෑණා බැඳලා ඉන්නෙත් අපේ ඔය ගත්ත ඉඩමට බොහොම ළඟින්. 

        ඔය ලොකු කම් කතා කළ කෙනාට සල්ලිය බාගේ තියනවාලු.හයි-බ්‍රිඩ් වාහනයක් තියා ගෙන ගමට සල්ලි බලෙයි-කටේ බලෙයි විතරක් නෙමෙයි,ඔය මනුස්සයාගේ තාත්තා ඉස්සර චණ්ඩියෙක් ලු.ඒ ලොකු කමත් එක්ක තමයි අපට සද්ද දාන්න ඇවිත් තිබුණේ.

         කොහොම හරි තාප්පේ හදන්න ගත්තාට පස්සේ සද්ද වහ ගෙන, පැත්තකට වෙලා හිටියාලු. තවමත් තාප්පේ වැඩ කටයුතු කරදරයකින් තොරව කර ගෙන යනවා කියලයි වරින් වර ලංකාවට දුරකතන ඇමතුම් ලබා ගනිමින් මට තොරතුරු කිව්වේ.




         පහලින් තියෙන්නේ අපේ තවමත් ඉදි වෙමින් පවතින තාප්පය. මේ පින්තූර අනුග්‍රහය  බාල මස්සිනා ගෙන්.  






  




Thursday, January 23, 2014

නුඹ නැතිව...

නොගිහින්ම බැරි නිසා ගියත් නුඹ මා නැතිව
හිඳින්නේ කෙලෙසින්ද රෑ දෙකක් නුඹ නැතිව
හැර ලන්න ආ පසුව නෙත නැඟුණ කඳුලැල්ල
පිස ගතිමි නුඹේ ඇසට ඒ වගක් නො පෙනෙන්න

තනිව ඉන්නා විටදී නිවසේ දොර වසා ගෙන.
වාව ගෙන ඉන්න බෑ නැතිව නුඹ මගේ ළඟ.
වැඩ ඇරී ආ පසුව ගෙදර නුඹ නොමැති වග
හදවතට පහදන්න ක්‍රමය කියලා දෙන්න.
     
අසීරුම තව රැයක් එලෙසින්ම ඉතිරි වග.
මතක් වෙන විටත් නෙත කඳුළු පිරෙනා අරුම.
නුඹේ සුවඳ රැඳී ඇති කාමරයේ හැම තැනම
පෙනෙනවා මට නුඹව ඉවසන්නේ කොහොම මම

අද රැයත් ගෙවීයන් ඊයේ රැය වාගේම.
හෙට දවස උදා වී නුඹේ මුව දැක ගන්න.
නුඹේ සුවඳ විඳගන්න, නුඹේ තුරුලේ ගුලි වෙන්න.
ඉක්මණට මේ කරුම අද දිනය නිම වන්න.

තනිව ඉන්නට බයක් හිතට නොම දැනුනාට 
පාළුවක් දැනෙනවා නුඹ නැතිව හිඳින විට.
වෙනදා මෙන් කඳුළු කැට නුඹේ ඇස නො ගැටුනාට 
බලා ඉන්නේ නුඹව දැක ගන්න ඉක්මණට. 



Monday, January 13, 2014

දන්නෙත් නැති නො දන්නෙත් නැති ක්‍රිකට්.

               මේ දවස් වල අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායි දේශයේ කරක් ගහනවා.කට්ටිය කීමට කියන්නේ ඩුබායි කියලා නේ. ඒත් ඇත්තම කිව්වොත් මේ රටේ නම එක්සත් අරාබි එමීර් රාජ්‍යයය.ප්‍රාන්ත 07කින් සමන්විත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කියන්නෙත් එක ප්‍රාන්තයක් පමණයි. 

  • අබුඩාබි
  •  සාජා
  •  ෆුජෙයිරා (ෆුජේරා )
  •  රස් -අල්-කයිමා
  •  අජ්මාන්
  •  උම්-අල්-ක්වීන් යනු අනෙකුත් ප්‍රාන්තයන්.
             



              20- 20 තරගයක්, එක් දින තරගයක් සහ ටෙස්ට් තරගයක් ඩුබායි වල පැවැත්වූ අතර, තරගාවලියට අයත් වූ අනෙකුත් 20-20  තරගය සාජාහිදීත්, එක දින තරග 2 බැගින් සාජා සහ අබුඩාබි වලත්,පළමු ටෙස්ට් තරගය අබුඩාබි වලත් පැවැත්වූ බව ක්‍රිකට් වලට ඇළුම් කරන අය දන්නවා ඇති. ඒ වගේම 16 වනදා ඇරඹෙන අවසාන ටෙස්ට් තරගය සාජා වල පැවැත්වෙන බවත් ඒ සමගම නොදැන ඉන්න විධියක් නැහැ නේ.


                 

   මෙතැනදී මට දකින්න ලැබුණ දේ තමයි ඩුබායි වල තිබුණ සෑම තරගයක්ම අපේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කළත්, අනෙකුත් තරග වලදී අපේ ක්‍රීඩකයන් දැක්වූ දුර්වල තරග රටාව.විශේෂයෙන්ම සාජා තරග වලදී.එක් දින තරගාවලිය පරාජය වීමට ලොකුම හේතුවක් විධියට මට පෙනෙන්නේ සාජා හිදී ලද අමිහිරි පරාජයන්.පකිස්තානු කණ්ඩායම දිගට හරහට හතරේ සීමාවට ඉහළින් ලකුණු ලබා ගනිද්දී, අපේ කණ්ඩායමට සිදු වුනේ එකින් එක ලකුණු එකතු කර ගන්න. ඒකත් හරිම මහන්සියෙන්.

                 කාලයක් ජාත්‍යන්තර තරග වලටම විතරක් වෙන් කළ සාජා ක්‍රීඩාංගනය පහු කාලයක ආසාවට වත් ජාත්‍යන්තර තරග වලට දුන්නේ නැහැ.ඒ නිසා ඒ තරම් හොඳ නඩත්තුවක් කෙරුණේ නැති බව මම දැක්කා මගේ දෑ හින්ම. පහු ගිය වසරක ඕල්කට් පාසල්  ක්‍රිකට් තරගාවලිය සාජා ක්‍රීඩාංගනයේ පැවැත්වුන නිසා. (මගේ මහත්තයා ඕල්කට් පාසල්  තරගාවලියට සහභාගී වුන නිසා එයා යන යන තැන මාත් යනවා හරියට ඉදිකටුවයි -නුලයි වගේ.)එහි හතරේ සීමාව පවා ඒ හැටි දුරක් නැහැ. ක්‍රීඩාංගනය පොඩි නිසා.ඩුබායි වල හෝ අබුඩාබි වල ක්‍රීඩාංගනයන්හි විශාලත්වය ගැන මම නොදන්නවා වුණත් සියලුම තරග අන්තර්ජාලයෙන් පමණක්ම නැරඹු නිසා අනෙක් සෑම ක්‍රීඩාංගනයකටම වඩා සාජා ක්‍රීඩාංගනය කුඩා බව අවබෝද වුණා.

                 ඉතින් පකිස්තානුවන් හතර අතට වනද්දී, අපේ අයට මොකද වුණේ...? මට තියන ප්‍රශ්නය ඒකයි. අපේ කිසිම ක්‍රීඩකයෙක් විශාල ලකුණු ප්‍රමාණයකට ගියේ නැහැ.සාජා හි පැවැත්වුන 

පළමු එක් දින තරගයේදී 
කුසල් ජනිත් 64 (68), 
දිනේශ් චන්දිමාල් 46 (50),
සීක්කුගේ ප්‍රසන්න 42 (52) සහ 
සචිත්‍ර සේනානායක 42 (40) 

සහ තෙවන එක් දින තරගයේදී ඩිල්ෂාන් 59 (62)  ලෙස ලකුණු ලබා ගත්තා.ඒ කිසිවක් ජයග්‍රහණය කරා යන්නට සෑහුනේ නැහැ.

        පළමු එක්  දින තරගය ලකුණු 11 ක් වැනි සුළු ගණනකින්  පරාජය වුණේ ප්‍රසන්න සහ සචිත්‍ර ගේ නො පසුබට උත්සාහය නිසා.නැතිනම් එහි පරතරයත් බොහොම ඉහල අගයක් ගන්න තිබුණා.කොහොම වුනත් පරාජය කියන්නේ පරාජයමයි.ඒ නිසා අපි එක් දින තරගාවලිය පැරදුනා.මුල් පෙළ පිතිකරුවන් වගකීමෙන් පන්දුවට පහර දුන්නා නම් ප්‍රසන්නට හා සචිත්‍ර ට ලොකු පීඩනයක් එන්නේ නැහැ වගේම ඒ තරගය අපට දිනා ගන්න තිබුණා.

      ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කිවුවට ඊළඟට සාජා හි පැවැත්වුන තෙවන එක්  දින තරගය පරාජය වුනේ ලකුණු 113 කින්.

    සාජා ක්‍රීඩාංගනය ගැන අපේ ක්‍රීඩකයන්ට තියෙන්නේ බියක්ද නැතිනම් එහි තණ තීරුව ඔවුන්ට ක්‍රීඩා කිරීමට අපහසු තණ තීරුවක්ද කියන දේ දන්නේ ඔවුන් මයි.




     කෙසේ වෙතත් ලබන 18 වැනිදා ඇරඹෙන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කරන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සාජා වලට ඇති  හුඹස් බිය නැති වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මයි.එවිට ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වේවි.





Sunday, December 29, 2013

අළුත් අවුරුද්දටවත් අළුත් වෙමුද?

             2013 අවුරුද්දත් අවසාන වෙන්නයි යන්නේ.හප්පේ...කාලය ගත වෙන ඉක්මණ.2014 අවුරුද්ද ලබන්න තියෙන්නේ තවත් දෙ දවසක් විතරයි. 

                 දෙසැම්බර් 31 වෙනිදා රෑට බොහොමයක් දෙනා මහා උත්සවාකාරයෙන් සමරනවා.මම මේ ඉන්න ඩුබායි රටේ බොහෝ තැන්වල "ත(ර්)ටි ෆස්ට් නයිට්" එක ගැන  තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. ඒකත් බහුතරයක්ම පිරිමින්ට.ඔය අතරේ පාටි තියන තැන් වලට එකතු වෙන ගෑණු පරාණ ඉන්නවා පිරිමින්ට හපන්. බෝතල් කටේ තියා ගෙන බොන.එතකොට මොන වගේද කියලා නොදන්නා අය වැඩියි කියන්න මම දන්නවා. මෙහේ ඉන්න අයට නම් ඔය වගේ දේවල් මහා ලොකු සිදුවීම් නෙමෙයි.

                            පහුගිය දවසක ආධුනිකයන්ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා අජ්මාන් වල "ක්‍රවුන් පැලස් " හෝටලයේදී. මීට මාසයකට පෙර. හරියටම කියනවා නම් නොවැම්බර් 29 වැනි දින.මමත්,මගේ මහත්තයත් සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග බලන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර කලින් සඳහන් කළ කාරණාව.

                               ගෑණු -පිරිමි බී ගත්තාම එතැන සින්දු අහන්න වෙන්නේ නැහැ.මැදට පැනලා ජාතික ගීයටත් නටන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි.මහා දරුණු වලි ඇරඹෙන්න ත් ගත වෙන්නේ බොහොම සුළු වෙලාවයි.හොටෙල් එක ඇතුලේ තිබුන ප්‍රසංගයක් නිසාත්, ඊට මා ගෞරව කරන "ජයලාල් රෝහණ "යන් පැමිණෙන බව සඳහන් වූ නිසාත් (දොරමඬලාවේ සමහර වැඩසටහන් බැලීම නිසා) එය සංවිධානය කරනු ලැබුවේ මගේ මහත්තයාගේ පාසලේ ආදී සිසුවෙක් නිසාත්,එකී මෙකී නොකී බොහෝ හේතු සාධක නිසා දුරු කතර ගෙවා ගෙන අපි දෙදෙනාත් ඒ ප්‍රසංගය නැරඹීමට පැමිණියා.රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නයන්ද ඊට සහභාගී වුණා.

                              මුලින් මුලින් බොහොම හොඳින් පැවති ප්‍රසංගයට ටික වෙලාවක් ගත වෙද්දී නැටුම් එකතු වුණා.ගැහැණු අය නටන්න පටන් ගනිද්දී මට දැනුණා  " දැන් නම් අපිට යන්න වෙලාව හරි " බව. ඒත්.. එක්වරම හැර යා නොහැකි නිසා ටිකක් ඉවසා සිටියා. කීයට ඉවර වේද නොදැන කොහොම හරි රෑ 11.00 විතර වෙද්දී අපි දෙන්නා පිටත් වුණා.අපි ගෙදරට ඇවිත් එතැන හිටි මිතුරෙකුට දුරකථන ඇමතුමක් දෙන කොටත් වැඩසටහන ඉවර නැහැ.එළිමහන් ප්‍රසංග වල වගේ පුටු උස්සලා ගහ-මරා ගත්තේ නැති වුණාට මට නම් මහා කලකිරීමක් ඇති වුණා.

                         සංගීත වැඩසටහන බලන්න යමු කියලා මම මහත්තයාට කතා කළේ,එය යම් කිසි ප්‍රමිතියකට ඇති කියන විශ්වාසය නිසා.නමුත් එතැන කරපු ලොකුම වරද තමයි බොන්න දීපු එක.අනික එයට සහභාගී වුණේ වැදගත් යැයි සැළකෙන රැකියා කරන අයම විතරක් නෙමෙයි. එයින් අදහස් කළ දේ සමහරවිට සමහරුන්ට රිදෙන්න පුළුවන්.ඒත් ඇත්ත එයයි.අපේ රටේ ගෘහ සේවිකා කියලා එන බොහොමයක් දෙනාගේ හැසිරීම හරිම ජුගුස්සාජනකයි.රියදුරු-ක්ලීනර් ඔය වගේ අය වුණත් බොහොමයක් දෙනා දන්නේ නැහැ තමන්ගේ තත්ත්වය තියා ගෙන ජීවත් වෙන්න.ඉතින් බොහෝ වෙලාවට පොදු ප්‍රවාහන භාවිතා කරද්දී අපේ රටේ භාෂාව ඇහෙද්දී වුණත්,මම නෑසු කන් ව ඉන්න පුරුදු වෙලා තියෙන්නේ,හිතකින් නම් නෙමෙයි.ලැජ්ජාවට.90%ක් දෙනා වැරදි කරද්දී ඊට අයත් නොවන 10% හරි හැටි හඳුනා ගන්න ලේසි නැහැ.

                             ලංකාවේ ඉඳන් එද්දී එයා පෝර්ට් එකේදී පාස්පෝර්ට් චෙක් කරන කොට ලංකාවේ කියලා දැක්කාම එතැන ඉන්න අය සමහර විට හරිම අප්‍රසන්න බැල්මක් අපටත් යොමු කරන්නේ ඒ හින්දයි.අනික මෙහේ තනියම ටැක්සියකට නැග්ගොත් ලංකාවේ කියලා දැන ගත්තාම උන් බලන්නේ හවුස් මේඩ් කෙනෙක් කියලාමයි.එච්චර ඕන නැහැ.හදිසියේ වත් ලංකාවේ කෙනෙක් හමු වෙලා කතා කරත් අහන්නේ පාට් ටයිම් කරන්නේ කොහේද?.....ඔය වගේ දේවල්. ලංකාවේ ගෑනුන්ට උගත්කමට රස්සාවක් මෙහේ කරන්න බෑ කියලයි අපේම මිනිස්සුත් හිතා ගෙන ඉන්නේ.මගෙන් දවසක් කෙනෙක් ඇහුවා "ඉන්නේ company වීසා ද private වීසාද " කියලා,නොකියා ඇහුවේ කඩේක වැඩ කරනවාද?ගෙදරක වැඩ කරනවාද වගේ දෙයක්.

                           තම තමන් දැන් ඉන්න තැන ඉඳන් හිතුවොත් හැම අවුරුද්දක වගේම තවත් වසරක් උදා වෙද්දී අපි හැමදාම කරන්නේ එක්කෝ පාටියක් දානවා.නැත්නම් නිදා ගන්නවා. ලංකාවේ නම් ජනවාරි පළමුදා ඔෆිස් යන්න අළුත් ඇඳුමක් ගන්නවා. උදේම කැවුම්-කිරිබත් කාලා 10.00ට විතර වැඩ පටන් අරන් 12.00ට විතර ගෙදර එනවා.මොකද ජනවාරි පල වෙනිදා වැඩ පටන් ගන්න ඕන නැත්නම් වගතුවක් නෑ කියලා හිතන නිසා.



                            මෙහේ නම් ජනවාරි පළ වෙනිදා නිවාඩුයි.

     ඒ නිසා 31 වෙනිදාට, තානාපති කාර්යාලයේ   සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් තියෙනවා.ඒ හැර  ලොව උසම කුළුණ වුණු "බර්ජ් කලීෆා"වල ගිණි කෙළි සංදර්ශනයක් තියෙනවා.හැම තැනම බෝතල් පාටි තියනවා.කැමති කැමති විධියට 2013 නිමාව සටහන් කරන්න පුළුවන්. හැබැයි විනාඩි 10ක විතර ගිනි කෙළි සංදර්ශන බලන්න යන අයට නම් රෑ 2.00-3.00 විතර වෙන තුරු වත් ගෙවල් වලට එන්න නම් වෙන්නේ නැහැ,ඒ තරමට වාහන තදබදය.

    ඔන්න ඩුබායි ඉන්න ඇත්තෝ පින් කැමති අය පිරිත් අහන්න යන්න.ගිණි කෙළි බලන්න යනවා නම් ගෙදර එන වෙලාව ගැනත් හිතන්න.ඔය හැමෝම එකතු වෙලා දාන බෝතල් පාටි නම් ඉතින් ඉවර වෙන වෙලාවක් නැහැ නේ. ඒ කොහොම වුණත් ඒවාට යන අයත් ගෙදරට එන්න පිළිවෙලක් හදා ගන්න.පොලිස් මහත්තුරු මෙහේ හරිම තදයි......


ඉතින් එහෙම නම් හැම දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ 2014 වර්ෂයක් හිමි වේවා......!
                            



Monday, December 16, 2013

හිතනවද මේ ගැනත් ඔබ...?

    උදා වෙන්නේ නත්තල් සමය. ඉන් පස්සේ අළුත් අවුරුද්ද. ඒ කිව්වේ ජනවාරි පළමු වැනිදා. ආයෙම සිංහල හා හින්දු අළුත්  අවුරුද්ද.ඔය කාලයට  වෙන්නේ ඉතින් අතේ මිටේ තියන කීයට හරි තට්ටු වෙන එක තමයි. කතෝලික අයට නත්තල් වැදගත් වගේම සිංහල හා හින්දු අයට අළුත් අවුරුද්ද වැදගත්.ඔය කාලයට තෑගි බෝග හුවමාරු කර ගන්න එක බොහෝ දෙනාගේ පුරුද්දක්.සමහරු ඉන්නවා මුළු අවුරුද්දකටම ඇඳුමක් පැලඳුමක් ගන්නේ හෝ ලැබෙන්නේ ඔය කාලයට විතරයි. සමහරුන්ට ඒ කාලෙට වත් නැහැ.

     පවුලක දුවා-දරුවන්ට නම් ප්‍රීතිමත්ම කාලය තමයි මේ කාලය. මොකද අම්මා-තාත්තාගෙන් වගේම සමහර විට පුංචිලා-බාප්පලා ගෙන් පවා තෑගි ලැබෙනවා නේ. මෙන්න මෙතැනදී තමයි තෑග්ගක් දෙන කෙනෙක් විධියට ඔබ බොහෝ දේ සිතිය යුතු වන්නේ.හැමෝම වගේ අළුත් අවුරුද්දට දෙන්නේ ඇඳුමක්. එහෙමත් නැත්නම් ඇඳුමක් මහගන්න රෙදි කෑල්ලක්.පිරිමි කෙනෙකුට නම් සරමක්,ෂර්ට් එකක් හෝ කලිසමක් නැත්නම් කලිසම් රෙදි කෑල්ලක්.    

          කවදා හෝ ඔබට දැනිලා තියනවද " මම මේ දෙන දේ මෙයාට ප්‍රයෝජනවත්ද ?" කියලා.සමහරවිට ලැබෙන පිළිතුර "නැහැ" විය හැකියි. අපි බොහෝ දෙනෙක් කරන්නේ "දෙන්නන් වාලේ තෑගි දීමක්"එහෙමත් නැත්නම් සමහර වැරදි කරාම කියනවා නේ මාසෙකට වතාවක් පොලිසියේ පෙනී සිටින්න කියලා.ඉතින් නො කරම බැහැ,යන්නම වෙනවා.අන්න ඒ වගේ නොකර බැරි කමට තෑගි දෙන අයත් ඉන්නවා.එහෙම කරන්න එපා.

      පෞද්ගලිකව මම නම් කැමතියි කාට හරි තෑග්ගක් දෙනවා නම් ඔහුට/ඇයට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න.ඒ වගේම මම දෙන දේ එයා පාවිච්චි කරනවා නම් එතැනයි සතුට තියෙන්නේ.අපි කෙනෙකුට යමක් දුන්නාම එයා ඒ දේ අල්මාරියේ හෝ වෙන යම් තැනක අරන් තියනවා නම්, ඒ කියන්නේ ඔහුට/ඇයට එය අත්‍යාවශ්‍ය නැහැ කියන එකයි.සමහරු  ඉන්නවා "අපෝ..    ඒක ගොඩක් වටිනවා නිකං සාමාන්‍ය ගමනකට/තැනකට පාවිච්චි කරන්න හොඳ නෑ" කියලා හිතන. ඇත්තම කිව්වොත් එයාට ජීවිතේට ඔය කියන සාමාන්‍ය තැන් හැර විශේෂ තැන් කියලා නැහැ ඒ වටිනා දේ පාවිච්චි කරන්න.ඉතින් මොකද වෙන්නේ අර තෑග්ගට.නිකම්ම පරණ වෙලා යනවා,පාවිච්චි කරන්නෙත් නැතිව. සමහරවිට පාවිච්ච්චි කරන්න ගනිද්දී ඒක දැන් අවුට් ඔෆ් ෆැෂන් කියලා පැත්තකට දානවා.

          ඔබ තෑග්ග දෙන කෙනා වෙන්න පුළුවන්. නැත්නම් තෑග්ග ලබන කෙනා වෙන්න පුළුවන්.මෙයින් ඔබ පළමු වැන්නා නම් ඒ කිව්වේ ඔබ නම් තෑග්ග දෙන්නේ... හිතන්න යමක් මිළදී ගන්න පෙර.

* ඔහු/ඇය කැමති දේ කුමක්ද?
*ඔහු/ඇය ට ප්‍රයෝජනවත් විය හැකි දේ කුමක්ද?
*අතේ ඇති මුදලට ගැලපෙනවද?
*ඔහුට/ ඇයට වඩා වැදගත් තෑග්ගද...?
          මම මෙයින් අදහස් කළේ සමහරවිට තෑග්ගකට වඩා වෙලාවට අනුව ඔහුට / ඇයට මුදල් අවශ්‍යතාවය තිබිය හැකියි. එය සමහරවිට උකස් කළ යමක් බේරා ගැනීමට හෝ ණය  වාරිකය ගෙවීමට, දරුවාට පොත්/පැන්සල් අරන් දෙන්න. ටියුෂන් ෆීස් ගෙවන්න.... ඔය වගේ දාහක් ප්‍රශ්න ඇති.

  ඔබ හා තෑග්ග දෙන්න ඔබ තෝරා ගන්නා තැනැත්තා අතර තියන සම්බන්ධයත් මෙහිදී බොහොම වැදගත්.ඔබට ඔහු/ඇය සමඟ ඕනෑම දෙයක් කතා කල හැකි අයෙක් නම්, ඔබ නිසැකවම දන්නවා ඔහුගේ/ඇයගේ වර්තමාන තත්ත්වය.එසේ නම් ඔබට නිදහසේ තීරණය කල හැකියි දිය යුතු දේ පිළිබඳව.

     මම හැම වතාවෙම වගේ මේ වතාවෙත් මගේ මහත්තයාගේ උපන්දිනයට ඔහුට මේ දිනවල අවශ්‍යව ඇත්තේ කුමක්දැයි සිහි කළා.තෑග්ගක් දෙනවා නම් හැමෝම කැමතියි අදාළ මොහොතේ එය ඔහුට/ඇයට දකින්න සලස්වන්න.ඒත්.. මම හිතුවා මේ විධියට " මගේ කැමැත්තට මොනවා හරි ගන්න පුළුවන්.ඒත් ඒකට එයා කැමති නැත්නම් එයා ඒක පාවිච්චි කරන්නේ නැහැ.පාවිච්චි නොකරනවා නම් මම අරන් දෙන දෙයින් වැඩක් නැහැ"කියලා.ඉතින් ඔහුගේ උපන්දිනයට දෙදිනකට පෙර අපට යන්න වුණා අවශ්‍ය බඩු  කිහිපයක් ගන්න. පහුවදා නැවතත් එසේ නොඑන බව මම දන්නවා. මම තීරණය කළා.අද තමයි තෑග්ග ගන්න සුදුසුම දවස කියලා.ඉතින් මම ඔහුව රැගෙන ගියා ඔහුට අවශ්‍ය යයි මා සිතූ දේ ඇති තැන් කිහිපයකට.ඉන් ඔහු එකක් අතට ගත්තා සමගම බැලුවේ මිළ.එය ටිකක් ලොකු මුදලක්.ඉතින් ඔහු කැමති වුණේම නැහැ ඊට.ඒත්..මට දැනුණා ඔහු ඊට කැමති බව."ගාණ ගැන හිතන්න එපා" මම ඔහුට කිව්වත් ඔහුගේ මුණ එතරම් හොඳ නැහැ.නිකරුනේ සල්ලි නාස්ති කරනවා කියලා.ඒත්.. මම එය මිළදී ගත්තා.මුදල් හරි හම්බ කරන්න පුළුවන්.ඒත්...ඔහු වන් සැමියෙක්....හැමවිටම මට බොහෝ සෙයින් ආදරය කරත්,නිතරම එය සඟවා ගෙන ඉන්න උත්සාහ කරන ඔහු වෙනුවෙන් වැයවෙන මුදල මට දුකක් නෙමේ.මට ආදරේ නැහැ ඔයා කිය කියා මම නිතරම කිවුවත්,කොච්චර ආදරේ කරත් වැඩක් නැහැ ඒ ආදරේ පෙන්නන්නේ නැත්නම් කිවුවත් ඔහු වෙනස් වෙන්නෙත් නැහැ.කියවිල්ල මම නවත්තන්නෙත් නැහැ. ඉතින් ගෙදර ඇවිත් ඔහු උත්සාහ කළේ එය විවෘත කරන්න.ඒක ඔහුගේ පුරුද්ද. මොන දේ අළුතෙන් මිළදී ගත්තත්,ගෙදර ආපු ගමන් ඔහුට එය දිගහැර බලන්න ඕන.මම එතැනදී ඊට ඉඩ දුන්නේ නෑ. "උපන්දිනේ දවසට දෙන්නම්.එදාට ඕන තරම් බල ගන්න."කියලා ඒක උදුරලා අරගෙන මම හැංගුවා.එවෙලේ කේන්ති ගත්තත් මම දන්නවා ඒක ඇත්තටම කේන්ති ගිහින් නෙමෙයි කියලා.ආයේ උපන්දිනේ දවසේ උදෙන්ම උපන්දින කාඩ් එකක් එක්ක තෑග්ග දුන්නේ.එතකොට එයා කිව්වේ "අපි දන්නවා මොනවාද තියෙන්නේ කියලා..."

           කළින් ඔහුට කියද්දී ඔයාගේ උපන්දිනේට දෙන්න දෙයක් ගන්නයි කියලා එයා කිව්වේ " ඉතින් එතකොට මම දන්නවා නේ මට දෙන්නේ මොකක්ද කියලා" කියලයි.

           "මොකද වෙන්නේ එතකොට.මම කැමති -ඔයා අකමැති දෙයක් ඔයාට නොදැන හොරෙන් අරගෙන උපන්දිනේ දවසේ උදේ ඔයාගේ අතේ තියනවාට වැඩිය හොඳයි ඔයා කැමති දෙයක් ඔයාට දෙන එක " කියලා.

   මම දන්නේ නැහැ කොයි තරම් දුරට මම හරිද කියලා ඒත්..මම හිතන්නේ එහෙමයි. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවයක් ඇතිනම් පමණයි අපි දෙන තෑග්ගක වටිනා කම තියෙන්නේ.ඒ වගේම තෑගි ගන්න ඔබත්,සිතන්න ඕන තෑග්ගේ මුදල්මය වටිනාකම නෙමෙයි ඔහු හෝ ඇය ඔබට තෑග්ග තෝරද්දී වුණු මහන්සිය.සමහරවිට එය බොහොම ලාභ දෙයක් විය හැකියි.

   උදාහරණයක් විධියට කෙනෙක් බාල රෙදි කෑල්ලක් මිළට ගෙන,  නිර්මාණාත්මක යමක් කරනවා දින ගණනාවක් මහන්සි වෙලා.ඔබට තෑග්ගක් විධියට දෙන්න.එය තමයි ඔහුගේ හෝ ඇයගේ ඔබට ඇති ආදරය,ලැදියාව හිතවත්කම.කඩෙන් යමක් මිළදී ගෙන අරුමෝසම් බහාලුමක දාලා පොෂ් විධියට දෙනවාට වඩා අර වගේ දේක මට නම් වටිනාකම වැඩියි.එහි තියන ලෙන්ගතුකමත් එකතු වුණාම,වටිනාකම කියා නිම කරන්න බෑ.

         මට ඔහු වෙනුවෙන් එවැනි දෙයක් කරන්න බැහැ.උදේ හවස ගෙදරින් පිටවෙන්නෙත්-ගෙදරට ගොඩ වෙන්නෙත් එකටම වෙච්චි කොට ඔය වගේ දෙයක් කරද්දී ඔහු නිතරම දකිනවා.අනික එහෙම දෙයක් දැන් ඵලක් නැහැ.අපි දෙන්නාම එකම නිවසේ නිසා.ඒ නිසා ඔබ තේරුම් ගන්න තෑග්ග දිය යුත්තේ කාටද? ඒ කුමක්ද කියා....

          තව සමහර අය ඉන්නවා තමන්ගේ සොයුරියට ඇඳුම් ගනිද්දී "ඕවා මට තේරෙන්නේ නැහැ.ආ..මෙන්න සල්ලි.ගිහින් ඇඳුමක් ගන්නවා...." කියලා සල්ලි දෙන සහෝදරයන්.එහෙම කරන්න එපා.නංගිලා/අක්කලා කැමතියි තමන්ගේ අයියා/මල්ලි තෝරන ඇඳුම් අඳින්නත්.හැබැයි ඊට කලින් මතක් කරන්න ඒක එහෙමද කියලා.සමහරුන්ට කොච්චර හොඳ එකක් දුන්නත් හරි නෑ.තමන්ගේ සහෝදරිය දෙවැනි ජාතියේ නම් හොඳම දේ සල්ලි කියක් හරි දෙන එකම තමයි.මොකද තෑගි දීලත් බැනුම් අහන්න ඕන නැහැ නේ.

 තව ලියන්න නම් දේවල් තියනවා.ඒත්.. හිතුවට වඩා ලිපිය බොහොම දිග වුන නිසා දැන් නවතින්නම්.



Thursday, December 12, 2013

නොවෙනස් කළ හැකි අතීතය......

    
             ගමේ ජිවිතේ... කතාවේ ලියවුණු සුන්දර ගමේ තංගල්ල පහළගොඩ අපේ අම්මාගේ මහා ගෙදර තමයි ඒ කාලේ අපි හිටියේ.අපි උපදින්නත් පෙර 1980 ජූලි වර්ජනයට සහභාගී වීම නිසා රැකියාව අහිමි වුණු මගේ තාත්තාට ආයෙම රැකියාවක් ලැබෙන්න කොච්චර කාලයක් ගත වුණාද කියන්න මම හරියාකාරව දැන ගෙන නො හිටියත්,මට යාන්තමට මතකයක් තියන කාලේ පවා තාත්තා වෙන වෙන පොඩි බිස්නස් කරමින් අපිව ජිවත් කෙරෙවුවා.(ඒවාට බිස්නස් කිව්වොත් අපි කරන ඒවාට මොනවද කියන්නේ කියලා බොහොම ලොකුවට ඔය අංශයේ රැඳී ඉන්න අය මට සත්තම දමාවි.)ඇත්තටම මට මතකයි පාපැදියේ ගෝනි පිටින් පටවා ගත් රටකජු හේන් වලින් අරන් ඇවිත්, පොතු සුද්ධ කරලා පොඩි පැකට් වලට ගහලා කඩවල් ගාණේ අරන් ගිහින් දැම්මා.ඒ පැකට් එකක් රු.2.00ක් විතරයි.මම දන්නේ නැහැ එයින් යන්තමට ජීවත් වෙන්න තරම්වත් මුදලක් ලැබුණාද කියලා. ඊට අමතරව තව මොනවා හෝ කරන්නට ඇති. ඔය රටකජු ගැන මතකයේ තියෙන්න හේතුවක් තියෙනවා.

                   අපිත් කොයි තරම් පොඩි වුන් වුණත් අපටත් මහවුන් කරන දේවල් ඕන නේ. ඉතින් තාත්තා කරන්නේ රටකජු ගෝනිය බිමට හලලා අපිව බිමින් තියනවා තව පොඩි භාජනයක් එක්ක.අපට තියෙන්නේ රටකජු පොතු සුද්ධ කරලා හොඳ කජු ඇට අර භාජනයට දාන්න.පැකට් කරද්දී,ඒ භාජනේ තියන කජු ටික වෙනම අරන් පැකට් කරනවා.කොච්චර පැකට් ගණනක් එනවාද බලලා,පැකට් එකකට සතයක් හෝ දෙකක් (මට ගාණ මතක නෑ.)දෙනවා.ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් වැඩිපුර ප්‍රමාණයක් සුද්ධ කරන්න.ඔය අතරේ රට කජු ඇටයක්-දෙකක් හොරෙන්ම බිමට අත හරින්නත් අමතක කරන්නේ නැහැ.අවසානයේ ආයෙම අර පොතු ඔක්කොම අවුස්සනවා. "අනේ මෙන්න හොඳ රටකජු එකක්" කියලා හෙමින්ම කටේ දා ගන්නවා.අපි බිමට දමන කජු වලට අමතරව සමහර වෙලාවට වැඩිපුරත් බිම තියනවා,ගෝනිය පිටින් බිමට හලද්දී පොතු ගැලවුන ඒවා.පුංචි කමට අපිත් -අපි සුද්ධ කළ ඒවා කන්නේ නැහැ.ඒ වගේම සුද්ධ කරන අතරේ කටේ දාගන්නෙත් නැහැ.ඒවායෙන් සල්ලි ලැබෙන බව අපි දැන ගෙන හිටියා. ඔක්කොම ඉවර වුනාම තමයි පොතු ටික අවුස්සන්නේ.

              කොහොම හරි මට අවසානයේ රු.පහයි සත .....ගණනක් එකතු වුණා.ඒත්...අද වෙනතුරු ලැබුණේ නම් නැහැ.නංගිට නම් මොන්ටිසෝරි යද්දී ඒ වෙනුවට කියලා වතුර බෝතලයක් අරන් දුන්නා. මං අදටත් කියන්නේ මගේ ගාණත් එකතු කරලා එයාට නම් වතුර බෝතලයක් වත් ලැබුණා මට තමයි මොනවත් නො ලැබුණේ කියලයි.

               ගෝනාපීනුවල (ගාල්ල දිස්ත්‍රික්කයේ ) තාත්තාගේ යාළුවෙකුට වයින් ස්ටෝර්ස් එකක් තිබුණා.රස්සාව නැති නිසා තාත්තා ඔතැන වැඩටත් ගියා.අපි ඉපදෙන්න කළින් කොහොමද කියලා දන්නේ නැතත් අපි උපන්නාට පස්සේ අරක්කු-සිගරට් නො බිව්වා විතරක් නෙමෙයි ඒවා බොන කිසිම යාලුවෙක් වත් ගෙදරට එක්ක ගෙන ආවේ නැහැ.එහෙම හිටිය තාත්තාට ඒ වගේ තැනක රස්සාව කරන්න වුණා.ඔය කවුරු ගෙදරට එක්ක ගෙන ආවේ නැතත්,සීයා බීලා ගෙදර එන එක නවත්වන්න කියලා තාත්තාට කියන්න පුළුවන් කමක් නැහැනේ.අනික එයාගේ ගෙදරම ඉඳගෙන.ඒත්... අපට ඒ ගැන නම් ලොකු මතකයක් නැහැ. මොකද ඒ වෙද්දී අපි ගොඩක් පුංචියි.

                 ඔය අතරේ යම් දිනක තාත්තාට ආයෙම රැකියාව ලැබුණා.ඒ කවදාද,එදා දවස ගෙවුණේ කොහොමද මම දන්නේ නැහැ.තාත්තා වැඩ කළේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙක් විධියට.

                  සීයා අසනීප වෙන්නේ ඔය කාලයේදී.වෙනම ගෙදරකට යන්න පුළුවන්කම තිබුණත්, තාත්තා ඒ ගැන කිසිම තැකීමක් නොකළේ "මට රස්සාව නැති කාලේ වැටිලා ඉන්න දුන්නා. දැන් තාත්තා අසනීප වෙච්ච වෙලාවේ මට කර අරින්න බෑ" කියලා.

                       සීයාට තිබුණේ පිළිකා තත්ත්වයක්.මට මතක විධියට බඩවැල් වල.ආත්තම්මාත්,සීයාත් තාත්තාට ආදරේ කළා,මාමලාටත් වැඩිය.සමහර දවසට මාමා කෙනෙක් ආත්තම්මාව කේන්ති ගස්වන්න කියනවා "ඔවු ඉතින්,අපි නෙමෙයි නේ අම්මාගේ පුතාලා." කියලා.සීයාට කරාපිටිය ස්පිරිතාලේ නැවතිලා ප්‍රතිකාර ගන්නත් වුණා.කවුරු හරි එයා ළඟ නතර වෙන්න වුණා,තනියම එයාගේ වැඩ කර ගන්න බැරි නිසා.තාත්තා එයා ළඟ ඉන්න දවසට සීයාට හරි සතුටුයි.කොහොම හරි දොස්තරවරු කියලා තිබුණා සීයාට ජිවත් වෙන්න වැඩි කාලයක් නොමැති බව.ඉතින් එයා කැමති විධියට ජීවත් වෙන ටිකේ ඉන්න දෙන්න හැමෝම තීරණය කළත්,මාමාලා ඉන්න දවසට ටිකක් දරදඬු විධියට සීයාව පාලනය කරන නිසයි,තාත්තා ඉන්න එක ගැන එයා සතුටු.

                        ගෙදර ගෙනාවාම වුණත්, කෑම-බීම ටික තාත්තා තමා දුන්නේ. බෙහෙත් වුණත් තාත්තා හෝ අම්මා  දුන්නාම බාධා කිරීම් නැතිව බිවුවා.ඒත් ඉතින් හැම දෙනාම දැනගෙන හිටියා,ඒ ගෙවී යන්නේ සීයාගේ අවසාන දවස් කීපය කියලා.ඒ දවස් වල අපි හිටියේ ගෙදර ඉස්සරහා කාමරේ.ඒකට දොර තිබුණේ ගෙදරට පිටතින්.සීයාට කෑම-බෙහෙත් ටික දීලා තමයි අම්මත්-තාත්තත් කාමරේට එන්නේ.කොයි තරම් දැන ගෙන හිටියත් සීයා මෙලොව හැර යන බව,සීයා නැති වුණා කියලා දැන ගත්ත මොහොතේ තාත්තා ඉකි ගහ ගහා ඇඬුවා.සීයාව එම්බාම් කළෙත්, ගෙදරමයි.අපි පුංචි නිසා අපට ඒ පළාතේ වත් එන්න දුන්නේ නැහැ.  

                          ඉන් පස්සෙත් අපි වෙන පවුලක් කියලා වෙනම ගෙදරක නතර වෙන්න යන්න ඕනෑකමක් තාත්තාට නො තිබුණ නිසා, තාත්තා ඉන්න තුරාවට අපේ කියලා ගෙයක් තිබුණේ නැහැ.ඒත්.... තාත්තාත් නැති වුණාම, අම්මාට ඒ ගෙදර ඉන්න හිත දුන්නේ නැහැ.ඒ වගේම අම්මාට ඕන වුනේ නැහැ මහා ගෙදර එයා නමට ලියා ගන්න.අම්මා පවුලේ දෙවැනියා. එයාට බාල සහෝදරියන් වගේම සහෝදරයන් දෙන්නෙක් හිඳිද්දී එයාලගේ අයිතිය උදුරා ගන්න අම්මාට ඕන වුණේ නැහැ.ඉන්න හරි හමන් තැනක් නො තිබුණ ලොකු මාමාට ගේ ලියනවාට, පුංචි මාමාත් කැමති වුණා. (ගේ අයිති විය යුතු පුංචි මාමාට වුණත්). තාත්තා නැති වෙලත් අවුරුදු 2ක් මහා ගෙදර අමාරුවෙන් ගෙවා දාපු අම්මා,අපිවත් එක්ක ගෙන හම්බන්තොටට ආවා. ඒ අම්මාගේ අක්කාත් හම්බන්තොට හිටිය නිසා,ඒ පැත්තෙන් පුංචි ගේ කෑල්ලක් සල්ලි වලට අරන් අපි පදිංචි වුණා.ඔන්න ඔය විධියට ගමේ ජීවිතෙන් අපි සමු ගත්තා.



Thursday, December 5, 2013

මුදලට ආත්මය පාවා දීමක්ද?

          කසුනි දීපාල් එක්ක විවාහ වුණේ වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින්. කසුනිගේ ගෙදරින් ඒ හැටි මනාපයක් නො තිබුණත් ලොකු බාධා කිරීමක් නැතිව කසුනි-දීපාල් විවාහයට ඇගේ ගෙදරින් අවසරය ලැබුණා. තමන් දුටුව හැම හීනයක්ම සැබෑ වුණා කියලයි කසුනි හිතුවේ.




                      ඒ වගේම කසාදෙන් පස්සේ මහ ගෙදර නවතින්න ඒ දෙන්නාගේම කැමැත්තක් තිබුණේ නැහැ වගේම දෙපැත්තේම දෙමවුපියන් වුණත් ඒ දෙන්නා වෙනම ජිවත් වෙන එක ගැන කිසි විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ.ඒ නිසාම ගෙයක් වෙනම හදා ගන්න තුරු කුළියට නවතින්න තැනක් දීපාල් බලලා තිබුණ නිසා කසුනිත් බොහොම කැමැත්තෙන් ඒ ගෙදරට ගියා. වයසක පිරිමි කෙනෙක් සහ ගෙදර වැඩට මැදිවියේ ගැහැණු කෙනෙක් වගේම වත්තේ පිටියේ වැඩට තවත් පිරිමි කෙනෙකුත් තමයි ඔය කියන ගෙදර හිටියේ.කසුනිගේ තාත්තාගේ වයසේ විතර වුණු කුලරත්න තමයි මේ ගෙදර අයිතිකාරයා වුණේ.ඉතින් කසුනි හිතුවා තමන්ගේ ආරක්ෂාවටත් මේ තැන හොඳට ගැලපෙන බව. මොකද දීපාල් දවල් දවසේ රැකියාවට ගිහින් එන්නේ හවස් වෙලා. ඇය රැකියාවක් කළෙත් නැහැ.

                         මේ ගෙදර තිබුණේ එක නාන කාමරයක් විතරයි. වෙන කවුරුවත් ගෙදර නතර වෙලා නොහිටිය නිසා ඒකේ ඒ හැටි ප්‍රශ්නයක් වුනේ නැහැ. 

                         සමහර දවස් වලට තමන් නාන කාමරේ ඉඳන් එද්දී කුලරත්න දොර ළඟ ඉඳලා ඉවත් වෙලා යන එක ගැන කසුනි කීප දවසක්ම දීපාල්ට කිව්වත් ඔහු ඒ ගැන වැඩිපුර තැකීමක් කළේ නැහැ.ඉතින් කසුනි වුණත් මහමෙරක් වගේ ඒ ගැන හිතන්න ගියේ නැහැ.එයා හිතුවේ මේ එකම නාන කාමරේ නිසා හැම දෙනාම පාවිච්චි කරන්නේ කුලරත්නට නාන කාමරේ පාවිච්චි කරන්න ඕන නිසා එන්න ඇති කියලා.ඒත් සමහර දවසට රෑට නිදා ගන්න ඇඳට ගියාම කවුරු හරි දොර ළඟ ඉන්නවා වගේ කසුනිට දැනිලා තිබුණා.දිපාල්ට කියද්දී ඒ ගැන පෙර පරිදිමයි.

                            කාලය ගත වෙලා ගියත්, දීපාල්ට තමන්ගේ ගෙයක් දොරක් හැදීමේ වුවමනාවක් නෑ කියලා කසුනිට දැනෙන්න පටන් ගත්තා.සමහර විට අතේ සල්ලිය බාගේ නැතුව වෙන්න ඇති කියලා හිතූ කසුනි දවසක් 

"දීපාල්, අපි  මේ ගෙදරට ඇවිත් කාලයක් ගෙවුණා නේ.  දැන්වත් අපේ කියලා ගෙයක් දොරක් හදා ගන්න බැළුවොත් නරකද ?"

"ඇයි..... ඔයාට මෙහේ ඉන්න බැරිද?"


"එහෙම නෙමෙයි නේ දීපාල්.අපටම කියලා ගෙයක් දොරක් තියනවා නම් හොඳයි නේ."


"ඉතින් මේක අපේ කියලා හිතන්න ඔයාට බැරිද?"


" එහෙම හිතන්නේ කොහොමද? මේක අපේ නෙමෙයි නේ. කුලරත්න අංකල් ගේ ගෙදර නේ."


           දීපාල් කතාව නැවැත්තුවා ම කසුනිට කරන්න දෙයක් නැති වුණා.තව ටිකක් ඉවසනවා කියලා කසුනි හිතුවා.

                     ඔය අතරේ දවසක රෑ කසුනි-දීපාල් දෙන්නා නිදා ගන්න ඇඳට ගිහින් ගත වුණේ බොහොම ටික වෙලාවයි.පුටුවක් පෙරළා ගෙන කවුදෝ වැටෙනවා ඇහුණේ කසුනි ලාගේ කාමරේ දොර ලඟින්මයි.කසුනිත්-දීපාල් එක්ක දඩි බිඩියේ ඇඳෙන් පැනලා දොර ඇර ගෙන එළියට එද්දී කුලරත්න පුටුවකුත් පෙරලගෙන ,කොන්ද එක අතකින් අල්ලා ගෙන කෙඳිරි ගගා නැඟිටින්න උත්සාහ කරනවා.

                      සිද්ධ වුණේ මොකක්ද කියලා වත් දීපාල් ඇහුවේ නැහැ. නිශ්ශබ්දවම කුලරත්නට නැඟිටින්න උදවු කළ එක ගැන කසුනිට නම් ඇති වුණේ මහා පුදුමයක්.

                   කිසි වෙනසක් නැතිව පහුවදා උදේ දීපාල් වැඩට ගියා.කසුනිට නම් ඊයේ සිද්ධ වුන දේ ගැන හිත හොඳක් නැහැ.ගෙදර වැඩට ඉන්න මැදිවියේ ගැහැණු කෙනාගෙන් වටින් ගොඩින් විස්තර අහද්දී ඇය පත් වුණ අපහසුව කිසිවෙකුටවත් වෙන්න නම් එපා කියලා ඇයට හිතෙන්න ඇති.

"මීට කලිනුත් මේ වගේ දෙයක් වෙලා ලොකු මහත්තයා ගුටිත් කාලා හිටියා.පවුලේ අයත් මෙයාව අත් ඇරලා වගේ ඉන්නේ ඒකනේ. හොඳ වෙලාවට ලොකු මහත්තයා කාමරේ දෙන කොටම දීපාල් මහත්තයාට කියලාම දුන්නේ. කාමරේට කුලියක් ගන්නෙත් නැහැ නේ. අනිත් එක මම කීප වතාවක්ම දැක්කා දීපාල් මහත්තයා ලොකු මහත්තයාගෙන් සල්ලි ඉල්ලා ගන්නවත්.ආයේ දෙන්නෙත් නැහැ නේ."

                       කසුනිට මුල පටන්ම හැම දෙයක්ම සිතුවම් පාටක් වගේ මැවිලා පේන්න ගත්තා.

දීපාල් හැමදාම ලා පැහැ රාත්‍රී විදුලි බුබුලක් දැල්වුවේ එහෙනම්........

කසුනි මේ ගැන කියද්දී දීපාල් කිසි දෙයක් ගණන් නොගත්තේ.....

                   මේ හැමදේම හිතෙද්දි කසුනිට ඇතිවුණේ කිව නොහැකි ලැජ්ජාවක්.තමාගේ මුළු පෞද්ගලික ජීවිතේම තව කෙනෙක් බලා ගෙන හිටියා නේද? දිපාල්ගේ වත් තමන්ගේ වත් මහා ගෙදර හිටියා නම් මේ තරම් තමාගේ පෞද්ගලික ජීවිතේට තව කෙනෙක් එබෙන්නේ නැහැ කියලා කසුන් දන්නවා. තමන් අවුරුදු ගණනාවක් ආදරය කරපු පෙම්වතා එක්ක එක වහලක් යටට වෙලා ඔහු තුරුලේ ගෙවුණ සොඳුරු කාලය තවත් අසහනකාරයෙකුට රසඳුනක් කරන්නට තරම් දීපාල් තමන්ගේ ආත්මයම පාවලා දුන්නේ මුදලට නේද කියලා කසුනිට දැනෙද්දී.......ඒ ජිවිතයම දමලා ගහලා එන්න ඇයට හිතුණා. දීපාල් හවස වැඩ ඇරිලා ගෙදර එද්දී කසුනි එයාගේ මහ ගෙදරට ගිහින් තිබුණා.


                   ඊට ටික කාලෙකට පස්සේ කසුනිගේත් දිපාල්ගේත් දික්කසාද නඩුව කොහේදෝ උසාවියක ඇහුණා.අන්තිමේ දෙන්නා දෙපැත්තට වුණා.



( පහු ගිය දවසක පත්තරයක මම කියවපු සිද්ධියක්.අපේ සමාජයට හොඳයි කියලා හිතුන නිසා මේ විදියට ලියන්න හිතුවා.)






Tuesday, December 3, 2013

ගමේ ජිවිතේ.....


        ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න අතරේ කියා ගන්න බැරි තරමේ නිදිමතක් ආවාම මට හිතුණේ මාස ගණනාවක් තිස්සේ නොසළකා හැරිය මගේම කියලා බ්ලොග් එකකුත් තිබුණා නේද කියලා. ඔන්න ඉතින් මේ පැත්තට ගොඩ වුණේ ඒ නිසයි. ඒත් ඉතින් මොනවා ලියන්නද?

       හිතුණා පුංචි කාලේ විස්තර ටිකක් ලියන්න.

       කවුරුත් කියන ලස්සන තාලේ ගමක් අපට තිබුණා.

මේක ගත්තේ නම් ගූගල් දෙයියන්ගෙන්.


        
      ඉතින් මේ වගේ ලස්සන ගමක ගෙවුණ කුඩා කාලයේ ඒ ගැන ලස්සන චිත්‍රයක් තිබුණේ නැහැ අපේ හිත්  වල නම්. මොකද ඔය හැමදේටම වැඩිය අපට දැනුණේ ඒ තුල තිබුණ අපහසුව.වාහනයක් නැත්නම් ගෙදර එන්න විදියක් නෑ. ටවුන් එකට එන්න දුරයි.. ඔය වගේ දේවල්.ඒ කාලේ අපි පුංචි අය. මට වයස අවුරුදු 10ක් වෙනතුරු තමයි අපි ගමේ හිටියේ.
   දැනට වුනත් ගමේ ගිහින් එනවා කියන අදහසින් ගියොත් මිස යැවෙන්නේ නැහැ.දැන් කොහොමත් මේ දුරු රටවල් වලට ආවාට පස්සේ ලැබෙන කෙටි කාලය මදි දෙපැත්තේ ගෙවල් දෙකේ ගෙවලා දාන්නත්.


      ඒත් ඒ ගෙවපු කාලේ සුන්දරයි කියලා හිතෙන්නේ දැන් ඉන්න ළමයි ගෙවන ජීවිත දැක්කාම.අපි පුංචි කාලේදී අපි ළඟ පුංචි අම්මලා දෙන්නෙක් හිටියා.මාමාලා දෙන්නෙක් හිටියා. වැඩි දුරක නොවුණ දුරින් තාත්තාගේ නෑ පරපුර හිටියා.ඔය කාලේදී පුංචිලා, මාමලා,නැන්දලා ... බොහොමයක් අය විවාහ වෙලා හිටියේ නැති නිසාම එයාලා අපි එක්කම හිටියා.එක පුංචි අම්මා කෙනෙක් එයාගේ ආසාවට ඇඳුම් මහා මහා අපට අන්දවලා හැඩ බලමින් සතුටු වුණා. අදටත් එයා ළඟ එයාගේ ආසාවට ගත්ත ඔය වගේ ෆොටෝස් තියනවා.ඒ වගේම "මගේ එකීට ඔය විධියට එක එක මෝස්තරේ ඇඳුම් මහලා අන්දවන්න මට වෙලාවක් නැති වුනා  නේ" කියලා කියනවා. 

        මට සම වයසේ තව  සහෝදරියක් හිටියා ලොකු අම්මාගේ දුව නිමාලි.මට දෑවුරුද්දක් බාල මගේ නංගි සහ දෑවුරුද්දක් වැඩිමහල් සහෝදරයා. ඒත් ලොකු අම්මාගේ පුතා. නිවාඩු කාලයක් ආවාම අපි හතර දෙනා ඒ සම්පුර්ණ කාලයම හිටියේ එක තැනක. ඒ බොහෝ විට ගමේ. මොකද ලොකු අම්මලාගේ ගෙදර ඒ හැටි ඉඩක් තිබුණ තැනක් නෙමෙයි.අනික දුරත් වැඩි.එයාලා මෝටර් සයිකලෙන් එන්නේ. අපට ඉතින් එහෙමටවත් වාහනයක් තිබුණේ නැහැ. අපේ තාත්තාගේ ෆුට් සයිකලේ ( හුඟක් අය කියන විදියට පුස් බයිසිකලේ) විතරයි. ඒකත් තාත්තා වැඩට යනවා නේ.

        රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් විධියට වැඩ කළ තාත්තාට අපට වගේ ස්කොල නිවාඩු කාලයක් නැහැ නේ.ඉතින් බොහොමයක් ගමන් බිමන් අපෙන් ඈත් වුණා.අනික ඒ තරම් ගමන් බිමන් යන්න කාලයක් තාත්තා අපි අතරේ හිටියේ නැහැ.එයාට අපිවත් , අපිට එයාවත්  සදහටම අහිමි වුණා .


          ඒත් ඒ කෙටි කාලයේ මැකී නොමැකී තියන මතක සටහන් කිහිපයක් තවමත් තියනවා මගේ මතක ගබඩාවේ.අපේ තාත්තා ළඟ තිබුණා ප්‍රථමාධාර පෙට්ටියක්.ඔය පුළුන්, සර්ජිකල් ස්ප්‍රීට්, ගෝස්,බෙටඩින් වගේ පොඩි පොඩි තුවාල වලට දාන ක්‍රීම් වගේ දේවල්.අයියා හැම වතාවේම එද්දී අත-පය හොයා ගන්න වෙන්නේ තියන තුවාල හොඳ වුණාම. ඒ තරමට තුවාල. හැමදාම ඇඟ පත හෝදා ගත්තාට පස්සේ, රෑට අයියාව අල්ලගන්න තාත්තා එයාව සිමෙන්ති පොළවේ වාඩි කරවා ගෙන චිමිනි ලාම්පුවත්, බෙහෙත් පෙට්ටියත් කිට්ටු කර ගන්නවා. අපිත් ලාම්පුව වටේ ඉඳ ගන්නවා. තාත්තා තුවාල වලට බෙහෙත් දාන හැටි බලන්න. 


               මුලින් සර්ජිකල් ස්ප්‍රීට් දාලා තුවාල සුද්ද කරලා, මොනවදෝ ක්‍රීම් එකක් ගාලා ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටර් දානවා. ඔය වැඩේට සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. මොකද එකක් එයාට තියන තුවාල ප්‍රමාණය, අනෙක කෑ ගැහිල්ලයි, දැඟලිල්ලයි නිසා වන ප්‍රමාදය.


            අපටත් හරි ජොලි ඔය වැඩේ බලා ගෙන ඉන්න. අපිත් සපෝට් එක දෙනවා දඟලන්නේ නැතිව ඉන්න අත්  කකුල් අල්ලා ගෙන අයියාගේ.අපි කෙල්ලෝ තුන් දෙනා අතරේ ඉන්න එකම කොල්ලා වෙච්චි අයියා දවල් දවසේ සෙල්ලම් කරද්දී එයා පොර නේ,ඉතින් තුවාල වල බෙහෙත් දාන වෙලාවට අපි ඒ වාඩුව ගන්නවා.


             


           
         ඒ දවස් වල අපේ ස්කොලේ ඉවර වුණාම තාත්තා ෆුට් සයිකලෙන් එනවා අපිව ගන්න. එයාගේ ඔෆිස් එකට තමයි ඊට පස්සේ. දවල් කෑමට එයා යද්දී අපිව ගෙදර අරන් යනවා.ඔය වගේ දවසක තාත්තා එන්න පරක්කු වෙලා, නංගි සෑහෙන්න වෙලාවක් ගේට්ටුව ළඟ බලා ඉඳලා.(නංගි ඒ වෙද්දී එක වසරේ.) ඉතින් පරක්කු වෙලා තාත්තා ආවාම එයා තාත්තාට කියලා තියෙන්නේ, " දැන් මාව බයිසිකයේ තියාගෙන තල්ලු කරන් යන්න " කියලා. අපේ ස්කොලේ ඉඳන් තාත්තාගේ ඔෆිස් එකට යන්න ලොකු කන්දක් තරණය කරන්න ඕන.වෙනදාට තාත්තා එක්ක පයින් ඒ කන්ද පහු කරන නංගි, පරක්කු වෙලා එයාව ගන්න ආපු තාත්තට දුන්න දඬුවම තමයි ඒ.අනේ ඉතින් තාත්තාත් ඒ විධියට එයාව එක්ක ගෙන ගිහින්.හවස ගෙදර ඇවිත් තමයි අම්මාට කියලා තියෙන්නේ.



            නිවාඩු කාලෙක අපි හතර දෙනාව අල්ලා ගෙන පුංචි අම්මා වෙල් යාය ලඟට ආවා දවසක් පින්තූර ගන්න ඕන කියලා.ඒ දවස් වල හරිම ජනප්‍රියයි "ආදරයයි-කරුණාවයි"කියලා පොඩි ළමයි දෙන්නෙක් දෙන්නාට දෙන්නාගේ කර වටේ අත් දෙක දා ගෙන හිනා වෙවී ඉන්න කැලැන්ඩරේ. මට මතක විධියට ඇන්කර්-ලක්ස්ප්‍රේ හෝ නෙස්ප්‍රේ කිරි පිටි වලින් ගහපු කැලැන්ඩර් එකක්.මටත්, නිමාලිටත් ඕන වුණා ඔය විධියට ඉන්න. ඉතින් අපි දෙන්නා ඒ වගේ කරට අත දාගෙන පින්තූර ගත්තා. අපොයි...... පිස්සියෝ වගේ. හුළඟට කොණ්ඩ අවුල් වෙලා ඒ මදිවාට අපේ දත් හැලිලා...කැලැන්ඩරේ වගේ ලස්සන නෑ කියලා හිත හිතා දුක් වුණා. මොනවා කරන්නද?

   ලියන්න දේවල් තිබුණත් තව ලියන්න බෑ වගේ. කාලෙකින් ලියන්න ගත්ත නිසා වෙන්න ඇති,ටිකක් කම්මැලි වෙලා. ආයේ පස්සේ වෙලාවක ඔය වගේ පල හෑලි ටිකක් ලියන්නම්කෝ.....එතෙක් නවතින්නම්.