Saturday, April 27, 2013

පාට පාට අංක තහඩු

                          අපේ සිරි ලංකාවේ කොහේ කියලා දකින්නද ඉතින් පාට පාටින් අංක තහඩු.මම මේ කිව්වේ....... තේරුම් ගන්න, දන්නා කියන බාසාවෙන් කිව්වොත් මේ.... නම්බ(ර් ) ප්ලේට් එක ගැන.වාහන වල තියෙන්නේ.... ආ....න්න ඒ ගැන.

                  අනේ මම දන්නා දෙයක් නැහැ නම්බර් ප්ලේට් ගැන. ඒ වුණාට බලන්නකෝ මැද පෙරදිග තියන පාට පාට අංක තහඩු දිහා.

 මේක අයිති රට මොකක්ද කියලා මම දන්නේ නැහැ.මට අරාබි බැරි නිසා.කොහොම වුණත් මේක තිබුණේ නම් ඩුබායි වල.

                                                             මේ අබුඩාබි වාහනයක්.
                                                                  මේක සවුදි වලින්.
                      ඩුබායි වල ඩබල් කැබ් වගේ වාහන වලත්  මේ වගේ කොළ පාට අංක තහඩු තියනවා.

                                                          මේ කටාර් වල වාහනයක්.
                                ඔන්න පොලිස් වාහනයක නම්බර් ප්ලේට් එකෙත් පින්තුරයක් ගත්තා.
                                                      මෙයත් අබුඩාබි වාහනයක්.
                මෙන්න මේ ජාතියේ නිල් පාට අංක තහඩුවක් තියන පින්තුරයක් ගන්න මම කොච්චර කල් ගත්තද ... අනේ අපොයි හරිම අඩුයි මේ පාට අංක තහඩු. සාජා වල වාහන සමහරක තියනවා. ඩුබායි වල තියන හැම නිල් පාට අංක තහඩුවක් තියන වාහනයකම EXP කියලා ගහලා තියනවා. සමහර විට රෙජිස්ටර් කරන කොටම තමන්ගේ රටට ගෙනියන බව සඳහන් කරන්න පුළුවන් ඇති.
                         මම ගොඩක් කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් තමයි අද මේ ලියවුණු ලිපිය. වැඩි යමක් නැහැ ඇත්තටම කිව්වොත් පින්තූර ටික විතරමයි. 

                          ඒත් ඉතින් මට වඩා කරුණු දන්නා අයටයි මේ ආරාධනාව.දක්වන්න ඔබේ අදහස්,අනෙක් අයගේ දැන ගැනීම සඳහා.

Sunday, April 14, 2013

සුබ නව වසරක් වේවා.....!

                සියළු ශ්‍රී ලාංකික ඔබ සැම දෙනාටම වාසනාවන්ත සිරි සුබ නව වසරක් වේවා.... සියළු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා.....

                



Tuesday, April 9, 2013

සුබ උපන්දිනක් කියන්නම් ඔබට......

                       ජීවන ගමන් මගේ තවත් එක් නවාතැන් පළක් පහු කරනවා අද දිනයේ ඔබ.අහිමි වූවායින් පසුවත් බොහෝ දේ.මතකද ඔබට ඒ අවාසනාවන්ත සන්ධ්‍යාව.ඔබව මාස ගණනාවක් පුරාවට එක් තැන් කරවපු. බොහොම සතුටින් දඹදිව වැඳ පුදා ගන්න යන්න හිටි දිනට පෙර දිනය.ඒ මූසල නොවැම්බරයේ දිනය.

           එදා මෙදා තුර පුරා මාස 04ක් නික්ම ගිහින්. පස් වැන්නටත් ඇරයුම් කරමින්.පවුලේ හැමදෙනාගේම කැපවීම් සහ ඇත්තෙන්ම ඔබේ හිතේ වූ අපරිමාණ ශක්තියේ බලයෙන් අද ඔබ යම්තාක් දුරට සුවපත් වෙලා.

                  අද උදේ දැන් මොහොතකට කළින් මම ඔබව ඇමතුවේ සුබ පතන්න ඔබට, පෙර පුරුද්දට. ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සම්බන්ධ වුණා ඇමතුම. ඔබම තමයි පිළිතුරු දුන්නේ.

            ඇතිවුණේ සතුටක්ද දුකක්ද කියන්න මට තේරුමක් නෑ.ඒත් මටම තේරුම් ගියා මම වචන හැසිරුවේ පොඩි ළමයෙක් එක්ක කතා කරන විධියට බොහොම නැවතිල්ලේ කියලා.

                  ආදරණීය ලොකු අම්මේ, ඔබට සුබ උපන්දිනක් වේවා...
ඊළඟ උපන්දිනය සමරද්දී කිසිම කෙනෙකුගේ ඇස් වලට කඳුළු නො නැගෙන්න දෙපයින් තනිව නැගිටින්න හැකි තරමටම සුවපත් වේවි ඔබ හිතේ බලෙන්.

             අම්මා කියද්දී ඔබ ගැන, ව්‍යායාම වලට ඔබ බොහොම ඕනෑ කමින් යොමු වෙන බව කියමින්,ඇති වුණේ හරිම සතුටක්.මොකද අනතුරට පෙර එක තැනක දී අල්ලා ගන්නට පුළුවන් කෙනෙක් නෙමෙයි ඔබ. හැමටම උදව් කරමින් ඇවිදපු ඔබට මෙලෙස එක් තැන් වීම දරා ගත නො හැක්කක් බව අපි හැමෝම දන්නවා.

             දැන් ඔබට අපි කියන දේ හරියටම වැටහෙන බව අපි දන්නවා.ඒත් හිතේ ඇති දේ කියන්න වචන මතක නැහැ ඔබට. එයත් ටිකෙන් ටික යථා තත්ත්වයට පත් වේවි.

              මොන හරි හේතුවක් නිසා අද මට මේ ගැනත් සඳහන් කරන්න හිතුණා.මගේ අම්මා වගේම ඔයත් මට අම්මා තමයි. දරුවෙක් කිරි උරා බොන්නේ තමන්ගේ මවගෙන්.ඒත් මගේ අම්මාගෙන් කිරි බීලා නැතුව ඉන්න කොට ඔයා මට කිරි දුන් බව අම්මා කියලා තියනවා.ඔබේ දුවට වගේම මටත් කිරි දුන් ඔබට අම්මේ නො කියන්නේ කොහොමද මං.....ඔබ මගේ මවුගේ වැඩිමහල් සොයුරිය වූ පළියට එවන් දෙයක් කළ යුතුම නැහැ නේද...?


              මේ වෙලාවේ මටත් ඉන්න තිබුණා නම් ඔබට උපස්ථාන කරන්නට............

                        මොනවා කරන්නද හැතැප්ම දහස් ගණනක් දුරකට වෙලා ඉන්න මට ඔබ වෙනුවෙන් කළ හැක්කේ මෙවන් ඵලකට නැති දෙයක් විතරයි.ආයෙම මම ලංකාවට එද්දී තනියම වැඩ කර ගන්න,වෙනදා වගේ රට වටේ දුවන්න ඔයාට පුළුවන් වෙලා තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ,

                 පුළුවන් වේවි මෙහෙම අහන්න මට,කෝල් එකක් දීලා 

    "ලොකු අම්මේ, කොහේද ඉන්නේ.. අද අපි එහේ එන්න හදන්නේ. අද ගෙදර ඉන්නවානේ..."


( අද දින 60 වන උපන්දිනය සමරන ආදරණීය ලොකු අම්මාට ඉක්මණින් සුවපත් වී සුපුරුදු ලෙස වැඩ කටයුතු කරගන්නට හැකියාව ලැබේවා....!)
                    

Sunday, April 7, 2013

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ ....04

          ගොඩාක් කාලෙකට පස්සේ ලියන්න ගත්තා. අඩුම තරමේ ලිපියක් කියවන්න වත් මේ පැත්තේ ගොඩ වුණේ නැහැ. පහුගිය කාලේ මූණු පොතත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ෆේස්බුක් ගේම්ස් 2-3 කට වහ වැටිලා ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඒකේමයි.අටුවා ටීකා ටිප්පනි (තිප්පනි ද මන්දා) නැතුව ලියන්න ආපු දේවල් ලියන්න ගන්නම්කෝ.දැන් කට්ටියට මතකද දන්නෙත් නෑ.

          අද මගේ පරණ මතකයන් අතරට යන්නයි හිතුවේ. මොකද කියන්නේ.. මොනවා කිවුවත් ඒ අදහස් දැන ගන්න තුරු පරක්කු කරන්න බෑ. අකැමැති උදවියට පුළුවන් අත් ඇරලා දාන්න. ඕං..... කැමති අය මෙතැනින් පස්සෙත් කියවා ගෙන යන්නකෝ.

     ඇත්තටම කිවුවොත් මටත් මතක නැහැ මම මෙච්චර දවස් ලිවුවේ මොනවාද , නො ලිවුවේ මොනවාද කියලා. කොහොම හරි කමක් නැහැ අද ලියන්නම්කෝ 7 වසරේ අපේ හපන්කම් ගැන. 

           අළුත් ස්කෝලෙට ඇවිත් දෙවාරයක් ඉවර වෙද්දී 7 වසරට යන්න කාලේ හරි ගියා.ඇයි ඉතිං ඒ කාලේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන අයට ස්කෝල ලැබුණේ වාරයක් ඉවර වෙලා නොවැ. හොස්ටල් ජිවිතේ රසවත්ම කාලය ගත කළේ ඔය කියන 7 වසර සමයේ තමයි. ඒකට එක හේතුවක් තමයි මේට්‍රන් මිස්ගේ කාමරෙන් දුරින්ම තියන ඩෝම් එක වීමේ වාසනාව උදා වුණේ ඔය 7 වසර "සමන්" ඩෝම් එකට වීම.ඊට ටිකක් අඩු වාසනාවක් 8 වසර "කුමුදු"හා පිළිවෙලින් 6 වසර "නෙළුම්", 11 වසර "උපුල්" හා අවසානයට මිස්ගේ කණ ළඟම ඉන්න වාසනා කළේ, 9 වසර "සේපාලි".කට්ටිය බලනවා ඇති මොකද 10 වසර ඇත්තියන්ට වුණේ කියලා . 10 වසරට ආපු ගමන් එයාලා හොස්ටල් එකෙන් අස් කරන්නේ නැහැ.එයාලත් ඉන්නවා. ඉතින් ඉන්නේ නැහැ නේ කියලා ඉවර වෙනකල්.

           මෙහෙමනේ වැඩේ. අපේ හොස්ටල් එක තිබුණේ තට්ටු දෙකට.ඔය කළින් කිවුව ලිස්ට් එකම හිටියේ උඩ තට්ටුවේ. 10 වසරට නිතරගයෙන්ම යට තට්ටුව හිමි වුණා.හොස්ටල් එකේ ලොකුම ළමයි අනිත් අයගේ ආරක්ෂාවට උඩ තට්ටුවෙත්, තනියම රැකෙන්න පුළුවන් කියලා හිතෙන 11 වසරට පමණක් බාල වූ 10 වසර යට තට්ටුවෙත් හිටියා. 

      ඔන්න කට්ටියට පොඩි අදහසක් ගන්න කටු සටහනක් අමුණනවා,බලා ගන්න කොහොමද තිබුණේ කියලා. 

(හරියටම plan එක ඇන්දේ නැහැ. ඒ සම්බන්ධ දැනුම ඇත්තෝ සමාවෙන්න.එහෙම්මම plan එක දාලා කවුරුහරි හොරෙන් පැන්නොත්....... ? බිම් මහලේ බිත්ති නැද්ද අහන්නෙපා.)
                  ඉතින් ඔය ඇත්තන්ට දැන් අදහසක් ඇති සමන් එකේ ඉන්න 7 වසර ළමයි ඇයි අසීමිතව නිදහසක් ලබා ගත්තේ සහ එය ලැබුණේ කෙසේද කියලා. හැබැයි ඒ එක්කම තවත් කරුමයක් ඒ හා බැඳිලා තිබුණා නිදහස වගේම.7 වසර ළමයි දෙන්නෙක් ඉන්න ඕන එන අමුත්තන්ට පහසුව සඳහා,අදාළ ළමයාට පණිවිඩය යවන්න. ඒ කිව්වේ මම ඉහල දක්වපු සටහනේ පළමු මහලේ දොරෙන් ඇතුළු වුණාම දකුණු පැත්තට තියන ඉඩ කොටසේ පුටු දාලා තියෙන්නේ එන අයට.ඉතින් එහෙම කවුරුහරි ආවම කාගේ ගෙදරින්ද කියලා අහලා අදාළ ළමයාට පණිවිඩය දෙන්න ඕන.ඔය රාජකාරිය යෙදුණ දවසට හවස ක්‍රීඩා පැය පවා අහිමි වෙනවා විතරක් නෙමෙයි, මේට්‍රන් මිස්ගේ වලිගය වගේ එයා පස්සෙන්ම යන්න ඕන.

          ළමයින්ට තැපෑලේ එන ලියුම් මිස් කඩලා බලලා තමයි ළමයින්ට දෙන්නේ. පිරිමි ළමයින්ගෙන් ලියුම් එනවද දන්නෙත් නැහැනේ. ඒ වගේම ළමයින්ට සති අන්තේ ගෙදර යන්න ඕන නම් බදාදා වෙද්දී මැඩම්ට ලියුමක් එවන්න ඕන අවසර ඉල්ලලා.එතකොට මැඩම් අත්සන් කරලා හොස්ටල් එකට එවනවා.හැමෝටම නිවාඩු නොදෙනවා නම් ලියුම අනිවාර්යයි. සමහර නිවාඩු ආවා නේ අඟහරුවාදාට. ඉතින් සමහරු සඳුදා ස්කොලේ නොඑන්න සිකුරාදා ගෙදර යනවා.අන්න ඒ වගේ යනවා නම් ලියුම ඕන.

       ඔහොම කල් ගත වෙද්දී පෝය නිවාඩුවක් (වගේ මතක)ආවා ඔය වගේ. හැමෝම නොයන.සමහරුන්ට ගෙවල් වලින් ලියුම් එවලා අවසර අරන් තිබුණත්,බට්ටි නම් දන්නවා යන්න වෙන්නේ නැහැ බට්ටිට කියලා.ඒ වගේ ෂුවර් එකටම නොයන අයත් කීපයක් හිටියා.

   6 වසර- 7 වසර දෙකටම හවස අතිරේක පන්ති කළේ එකම ගුරුතුමී . නමින් නුවනි.6 වසර පන්තිය ඉවර වෙලා 7 වසර පටන් ගත්තේ. එදත් සුපුරුදු ලෙස 6 වසර පන්තිය ඉවර වෙන තුරු හතේ අපි පන්තියේ පිටිපස්සට වෙලා වාඩි වුණා.

     "කවුද මේ නිවාඩුවට ගෙදර යන්නේ.ගෙදර යන්නේ නැත්නම් අතිරේක පන්තියක් කරන්න පුළුවන්..".

           6 වසරට ආපු අය කිවුවාම නිවාඩුවක් එනතුරු මඟ බලා ඉන්න අය නේ.වැඩි දෙනෙක් අත් එසෙවුවා ඉහළට.එකිනෙකා දෙස අපි විමසිල්ලෙන් බැළුවේ හතේ අපි දන්නවා කාටද යන්න අවසර ලියුම් ලැබුණේ කියලා. ඒ අතරේ නිශානි ත් ඉන්නවා.හතේ අපි එකිනෙකාගේ මූණු බලමින් ඉඟි කර ගත්තත්,සමහරුන්ගේ මුවින් "හිකිස්..." හඬක් පිටවුණේ ඔවුන්ට පවා නො දැනුවත්ව.

            නුවනි මිස්ට යමක් තේරුම් ගියත්,අතිරේක පන්තියක් නො පවත්වන බව කියමින් 6 වසරට පන්තිය නිම කළා. හතේ අපෙන් පවා යමක් ඇසූ බවක් මට මතකයේ නම් නැහැ. පන්තිය ඉවර වෙලා යද්දී නිශානි ඇඳට වැටිලා අඬනවා හොඳටම.එයාටත් සැකයක් දැනෙන්න ඇති.

              කොහොම හරි නඩුව ගියා මේට්‍රන් මිස් ළඟටම.

    මොකක්ද නඩුව....? ලියුමකුත් තියෙනවා ගෙදර යන්න ... මොකද හිතන්නේ ඔය ඇත්තෝ....?

              ඇත්තටම නිශානිගේ ගෙදරින් එවූ ලියුමක් නැහැ.එය හතේ අපේ නිර්මාණයක්.කළින් ඇගේ ගෙදරින් එවූ ලිපියක් කොපි කරමින්   දෙමාපිය අත්සනක් සහිතව ,අවසර සහිත විදුහල්පතිනියගේ ව්‍යාජ අත්සනින් යුතු ලිපියක්.

          ඔන්න අපේ මේට්‍රන් මිස්ට හොඳටම කේන්ති ගිහින්.

  "කවුද මේ වැඩේ කරේ.කියනවා බලන්න.නොකිව්වොත් අරන් යනවා මැඩම් ලඟට..."

     " අපි තමයි කරේ..."

      "අපි කියන්නේ තමුන් හැමෝම කොහොමද මේ එක ලියුමක් ලියන්නේ..."

     ශබ්දයක් නැහැ කාගෙන්වත්.

        'හරි . කවුරුත් කතා කරන්නේ නැහැ නේ . මමම හොයා ගන්නම්.අරන් එනවා හැමෝම තමුන්ගේ ලියන පොතක්.'

    අපිත් හිනා තද කරගෙන ගියේ පොත් අරන් එන්න.

        හෙවුවා හෙවුවා මිස්ට හොයා ගන්න ලැබුණේ නැහැ.අන්තිමේ ජූරිය තීරණය කළා නඩුව ඉහල උසාවියට යොමු කරන්න.අපේ මැඩම්ගේ ක්වාටස් තිබුණෙත් හොස්ටල් එක ආසන්නයෙමයි.ඉතින් හැමෝම ගෙනියන්න බැරි කමට නිශානිට ලියුම ලැබුණ දිනයේ ඩියුටි කළ දෙදෙනා පෝරකයට ගෙන ගියා.

        අපි සමන් එක ආසන්නයේ කොරිඩෝවේ ඉඳන් බලා ගෙන. මිස් යනවා තරුෂිත් ,දීප්තිත් එක්ක ගෙන.අපි හැමෝගෙම වාසනාවට මැඩම්ට අමුත්තන් ඇවිත්. මිස් වුණත් බයයි මැඩම් මුණ ගැහෙන්න යන්න.පොඩි පොඩි නඩු කෑලි අරගෙන.

      ඔන්න ඉතින් අපි නිදහස් වුණා ඔය විධියට. කට්ටිය ගියාම මැඩම් ලඟට ගෙනියනවා කියලා හිටියත්, හරි ඉක්මණට අමතක වෙන අපේ මිස් ගේ පිහිටෙන් අද වෙනතුරු අපි හොඳින්.

        දැන් ඔන්න කට්ටිය කඩු-පොලු අරගෙන සටනට එන්න එපා. "අපෝ...මේ බට්ටිලා කරන නසරාණි වැඩ.පවු පුංචි එකී." කියලා.

  එහෙම කියනවා නම් බට්ටිලාත් පුංචි වුන් තමයි එතකොට. එක අවුරුද්දනේ වැඩිමල්. 

       ( නිශානිවම මේ වැඩේට යොදා ගත්තේ ඇයි? එහෙම කරන්නේ කොහොමද 7 වසර, 6 වසර වෙනමනේ ඉන්නේ කියන අදහස ඔබ කාටහරි ඇති වෙයි කියලයි මේ පහළින් ඇති සටහන) 


      අළුතෙන් 6 වසරට ළමයි එද්දී එන ප්‍රමාණය නිසා ඇත්තටම 6වසර ඩෝම් එකේ ඉඩ ප්‍රමාණවත් නැහැ.ඒ නිසා 7 සහ 8 වසර ඩෝම් වල පිටිපස්සේ තියන ඉඩේ 6 වසර ළමයි කීප දෙනෙක් දානවා. 6 වසර අය 7ට යද්දී සෑහෙන්න පිරිසක් ස්කොලෙන්ම හෝ හොස්ටල් එකෙන් අයින් වෙනවා.එතකොට තමයි එයාලට අදාළ වසරේ අය  එක්ක එක ඩෝම් එකේ ඉන්න ලැබෙන්නේ. ඉතින් නිශානිත් ඒ වෙද්දී හතේ අපි එක්ක එක ඩෝම් එකේ තමයි හිටියේ.ඒකයි .

       අනෙක් කාරණාව තමයි ඕනම දෙයකට ගැලපෙන කෙනෙක් ඉන්නවා නේ. එහෙම කෙනෙක් වෙන්නත් ඕනනේ.....












Monday, March 18, 2013

බුදුන් උපන් රටේ බුදු පුතුනට ප්‍රහාරයක්...


              බෞද්ධයකු ලෙස උපන් මාගේ ආසාව යම් දිනයක බුදුන් උපන් දේශය වැඳ පුදා ගැනීම විය. මගේත් සැමියාගේත් දෙදෙනාගේම මවුවරුන් දඹදිව වැඳ පුදා ගැනීමට යැවීමට කටයුතු කරන්නට පහුගිය කාලය තුළ අප නො ගත් උත්සාහයක් නැත.

         " හිතේ කරදර තියා ගෙන දඹදිව වඳින්න යන්න බෑ.කවදා හරි මගේ සල්ලි වලින් තමයි යන්නේ.එතකොටයි පින" මගේ මවුගේ පිළිතුරක් විය.

        "ඔය සල්ලි වලින් ගේ හදා ගන්න. අපිව දඹදිව යවන්න කළින් තමන්ට කර ගන්න කොච්චර දේවල් තියනවද..?"ඒ ඔහුගේ මවයි. 

              කෙසේ හෝ අත්තිකාරම් මුදල් පවා ගෙවුවද, දෙදෙනාම ගමනට සූදානම් වූයේ නැත.

එය එලෙස අවසන් විය.

            අද මුහුණු පොතේ දුටු දෙයින් ගත සිත සීතල වී ගියේ මවුන් දෙදෙනාට ද මෙවන් කරදරයකට මුහුණ පෑමට වුණි නම්...... කියා පමණක් ම නොවේ.

                   බුදුන් උපන් දේශය වැඳ පුදා ගැනීමට ගිය වන්දනා නඩයක අප ස්වාමීන් වහන්සේ නමකට සිදු වූ හිරිහැරය බෞද්ධයකු ලෙස මා හට ඇති කළේ මහා සංවේගයකි. බලන්න මොනතරම් සාහසිකද..?

                   මේ වා මේ විධියට සිද්ධ වුණොත් ආයෙමත් ජාතිවාදී කලබල ඇති වෙන්න තියන ඉඩ කඩ බොහොම වැඩි වේවි. එහෙම වුණොත් ඉන්දියාව සදාකලික හතුරෙක් කර ගන්න විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ඉන්දියන් දෙමළ සහ(කොටි හිතවාදීන් සේරම ) තමිල්නාඩුවට පන්නන්න තමයි සිද්ධ වෙන්නේ.

              ඒ විතරක් නෙමෙයි සිංහල ජාතීන් හා සමගිව මිත්‍රව වෙසෙන දමිළයන්ට පවා අතවරයන්ට මුහුණ දෙන්න වෙන එක වළක්වන්න බැහැ.83 කළු ජූලිය වෙලාවේ වුණා වගේ දේවල් ආයෙමත් නොවේවි කියලා කාට හරි අනාවැකි කියන්න පුළුවන්ද? එහෙන් මුසල්මානුවන් හලාල්.... කියාගෙන. මෙහෙන් ත්‍රස්තවාදී දමිළයන් ආයෙමත් නැඟිටින්න අත් වාරු හොයනවා. ඔය මතුවුණේ ලංකාවේ මතු වෙන්න බැරි වෛරීය සිතුවිලි වල මුල් අවස්ථාවක් නො වේ යැයි කියන්නට බැහැ. 

             මට හිතෙන විදියට ලංකාව ඇතුළේ පවා පුංචියට මේ දේවල් මතු වෙනවා ඇති . 

               සමහරවිට උතුරේ අපි හිතා ගෙන හිටියාට දැන් තත්ත්වය සාමකාමී, අපේ රටේ යුද්ධය නැත්තටම නැති වුණා කියලා ඒක තරම් හිත රවටාගෙන හිටින ලස්සන බොරුවක් තවත් නැතුව ඇති.තවමත් මාධ්‍ය වලින් කතා නොකරන සුළු දේවල් කියලා අත් හැර දමාපු බෝම්බ පිපිරීම් උතුරේ සිද්ධ වෙනවා.ගෙවල් අතරේ නොහොඳ නෝක්කාඩු වුණාම ( දන්න භාෂාවෙන්ම කියනවා නම් වලි ගියාම ) ග්‍රෙනේඩ් එක කඩලා තරහාකාරයාගේ ගෙදරට ගහන තත්ත්වයක් තියන බව උතුරේ සංචාරයක් ගියා නම්, හමුදා සොයුරන්ගෙන් විස්තර අසා දැන ගත්තා නම් දන්නවා ඇති. 

                   පිරිබාහරන්ගේ (ප්‍රභාකරන්ගේ ) ගෙදර අවට තියෙන්නේ මහා විරු ගම්මානයට අයිති ගෙවල්. ඒවායේ ඉන්න අය තවමත් කැමැති නැහැ අපේ හමුදා සොයුරන් යාපනේ ඉන්නවට.එවුන්ට ඕනේ දෙමළුන් විතරක්ම යාපනේ ඉන්නයි.අපේ සිංහළුන් යාපනේ බලන්න එනවාට පවා උන්ගෙන් තියෙන්නේ අයහපත් ප්‍රතිචාරයක්.යාපනේ යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම්, කරුණාකර දන්න කියන හමුදා නිළධාරියෙක් ගමනට එක්  කර ගන්න.කිසිම විටෙක දෙමළ කෙනෙක්ගෙන් පාරවල් අහන්න යන්න එපා.ඔවුන් ඔබව අතරමං කරවාවී.

               ලියන්න ගිය කතාවට එහා ගිය දේවල් ලියවුණා ,ඒත් මට හිතෙනවා මේ වෙලාවේ ඒ ගැන අපේ අය දැනුවත් වෙන එක හොඳයි කියලා. ටික දවසක් යන තුරු යාපනේ පැත්තෙත් නොගිහින් ඉන්න පුළුවන් නම් ඊටත් හොඳයි.


                බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් ඒ පාපතරයන්  දැන් පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කියා සිටිනවාලු. අපේ කොන්ද පණ තියෙන දේසපාලුවෝ ඉන්නවා නම් ඉන්දීය දෙමළු එක්ක කතා කරන්න හැකියාවක් තියෙන,මෙන්න ඊට හොඳම වෙලාව.සිංහල බෞද්ධ වේවා ,දෙමළ වේවා කවුරු හරි මේ ගැන කතා කළ යුතුමයි.ඉන්දීය රජය අපේ ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටීම අත්‍යාවශ්‍ය වන අතර , මෙම පහර දීම සිදු කළ පවුකාරයන් හට දඬුවම් පැමිණවිය යුතුමයි.එවුන් අප ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.රජයක් වශයෙන් ඉන්දීය රජයට ක්‍රියා කළ හැක්කේ ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහි වීමට පමණක් නම්, ලාංකිකයන් වශයෙන් අද පටන් සියළු ඉන්දීය භාණ්ඩ වර්ජනය කිරීමටත්,බුදුන් උපන් දේශය වුවත්,එය වැඳ පුදා ගැනීමට යාමෙන් වැළකී සිටීමටත් මම තීරණය කළෙමි. ඔබගේ තීරණය කුමක්දැයි පපුවට තට්ටුවක් දමා ඔබම විමසා සිටින්න.

Thursday, March 14, 2013

අහම්බෙන් එකතු වුණ හොස්ටල් ජීවිතේ....03

               බොහොම කාලයකට පස්සේ ආයෙමත් හොස්ටල් ජීවිතේ ගැන ලියන්න ගත්තා. පහුගිය කාලයක් බ්ලොග් එක පැත්ත පළාතක වත් එන්න වෙලාවක් නැතුව හිටියේ.ඇවිත් වුණත් ලිවුවේ පොදු මාතෘකා ගැන නේ.ඉතින් ඔන්න තරහා අවසර. ආයෙම ලියන්න ඒ කාලේ දුකක් ලෙසත්, අදට රසබර මතක සටහනක් ලෙසටත් හදවතේ සදා කාලිකවම ලැගුම් ගත් ඒ සොඳුරු සමය ගැන.

               6 වසර අවසාන වාරය වෙද්දි තීරණය වුණා අළුතෙන් ඩෝම් ලීඩර්ස් ලා පත් කරන්න. අනේ කරුමයක මහත. ඒක කර ගහන්න වුණේ මේ බට්ටි කෙලීට නේ.කවුරුවත් කැමැත්තක් දක්වන්නේ නැහැ ඔය කටු ඔටුන්න දා ගන්න. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා වගේ වරප්‍රසාද ලැබෙනවා කියලායැ.සෙකට්‍රිලා, වාහන, අඩු මුදලට ප්‍රණීත ආහාර.... ඔය මොනම වාසියක් වත් නැහැ.. අපරාදේ කියන්න බැහැ අඩුපාඩුවක් නැතුව බැණුම් වර්ෂාවන්ට නම් නිතරම තෙමෙන්න වෙනවා.ඩෝම් එකේ ළමයි වෙලාවට පාඩම් කරන්න එනවාද? බුදුන් වඳින්න යනවාද? රෑට පිරිත් කියන වෙලාවට හැමෝම පිරිත් කියන්න එනවද බලන්න ඕන වගේම නො එන ළමයි ඒ තැන් වලට එක්ක ගෙන යන්නත් ඕන.

                  ඉතින් මාරම කරුමයක් තමයි ඕක.එහෙමයි කියලා ලැබුණ දේ දමලා ගහලා වගකීම් වලින් පැනලා දුවන කෙනෙක් නෙමෙයි මේ බට්ටි.පොරොන්දුවක් වුණොත් බෙල්ල ගහලා ගියත් ඒක ඉෂ්ඨ ('ට'කියලාද ලියවෙන්න ඕන කියලා මතක නෑ. හරියට දන්න කෙනෙක් කියන්න. )කරන්න ඕන කියලයි බට්ටිගේ අදහස.ඉතින් මුළු හොස්ටල් එකම ඉදිරියේ භාර ගත්ත වගකීම පොරොන්දුවක් දුන්නා වගේ කියන අදහසින් නිළ කාලය අවසන් වෙන තුරුම රැක්කා.ඔය නිසාම සමහර අය බට්ටි එක්ක අමනාප වුණා. එහෙමයි කියලා බට්ටි වැඩේ අත් අරීද...?

                   කට්ටියට කියන්නම්කෝ අපේ කාල සටහනේ හවස් වරුව ගැන ටිකක්. හොස්ටල් අයගේ ප්‍රියතම කාල පරිච්ඡේදය පටන් ගන්නේ හවස 4.30ට.ඒ තමයි ගේම්ස් වලට තියන වෙලාව. 5.30 වෙන තුරු පැයක කාලයක් ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට බැහැලා තමන්ට කැමති සෙල්ලමක් කරන්න පුළුවන්. ඒත් ඉතින් බොහෝ දෙනෙක් ගේ ක්‍රීඩාව තමයි එල්ලේ. ඒත් ඉතින් 6 වසරේ පොඩ්ඩන්ට ඒ චාන්ස් එක නැහැ. පිට්ටනිය වුණත් ඩෝම්ස් 6ක ළමයින්ට එල්ලේ ගහන්න තරම් ඉඩක් නැහැ නේ. ඉතින් ලොකු අක්කලා සෙල්ලම් කරනවා නම් පොඩ්ඩන්ට නෝ චාන්ස්. 11 වසර අක්කලා ගේම්ස් පීරියඩ් එකට එළියට බැස්සට සෙල්ලම් කරන්නේ නැහැ. 10 වසර තමයි. අනික අළුත් අය වෙච්චි අපි ළඟ එල්ලේ ගහන්න බැට් එකක් තිබුණෙත් නැහැ. ගස් මාරු වෙන එක, අයිස් ප්‍රයිස් ,කෑලි 7.... ඔය වගේ සෙල්ලම් වලට තමයි අපිට යොමු වෙන්න වුණේ.

                  5.30ට බෙල් එක ගහනවා ගේම්ස් ඉවර වෙන්න.ඉතින් පැය භාගයක් තියනවා බුදුන් වඳින්න යන්න. 6.00ට කට්ටියම බුදුන් වඳින්න බුදු මැදුරට යන්න ඕන. බුදු මැදුර ඇතුළේ ඉඩ නැති නිසා එතැන එළියේ තමයි කට්ටිය වැන්දේ.

                                                    මේ තමයි අපේ බුදු මැදුර ඇතුළ
                 මේ ස්කෝලේ වෙලාවේ බුදු මැදුරට පිටින් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ළමයි බුදුන් වඳින හැටි.


                ඔය වෙලාවට කට්ටිය එකතු කර ගන්න හරි අමාරුයි. දන්නවා නේ ඉතින්. සෙල්ලමට කට්ටිය හිටියත් පිං අතේ වැඩ වලට කට්ටිය එකතු වෙනවා අඩුයි නේ.ඔන්න ඔය වෙලාවට තමයි ඩෝම් ලීඩර්ස්ලට, හොස්ටල් ලීඩර් සහ දෙවැනියාට වැඩ තියෙන්නේ.කොහොම හරි වදෙන් පොරෙන් කට්ටියව බුදු මැදුරට දක්කා ගෙන (ඒක තමයි හරිම වචනය )යනවා. බුදුන් වැඳලා ඇවිත් 6.30-7.30 වෙන තුරු පාඩම් කරන්න තියෙන්නේ. 8.00ට රෑ කෑම. දන්නවා නේ හොස්ටල් හිටපු අය ඒවායේ කෑම ගැන.සමහර දවසට කටේ තියන්න බෑ.මොනවා කරන්නද කඩෙන් කන්න කියලයැ.ඒ වගේ දවසට කෑම එක එහෙමම ඩස්ට් බින් එකට හලලා ඩෝම් එකට ගිහින් බිස්කට් එකක් කාලා තේ බොන වෙලාවල් තියනවා.සතියකට හෝ දෙකකට වරක් ගෙදරින් ආවාම ගෙනැත් දෙන මොනවා හරි කෑමක වටිනාකම තියෙන්නේ ඔය වෙලාවට තමයි.

                 9.00ට පිරිත් කියන්න එන්න ඕන. හැමෝම ඩෝම් එකෙන් එළියට ඇවිත් කොරිඩෝ එකේ පේළි ගැහිලා ( ඔය කිවුවට පේළි ගැහිලා නෙමෙයි, හැමෝම කොහේ හරි බිත්තියකට හේත්තුව දාගෙන තමයි වඳින්නේ.) පිරිත් කියනවා. හාමුදුරුවරු වගේ රෑ එළි වෙන තුරු නෙමෙයි. විනාඩි 15ක් 20ක් විතර තමයි ඔය වැඩේට ගත වෙන්නේ.9.30-10.00 වෙද්දි ඩෝම්ස් ලොක් කරනවා. ආයේ දොර අරින්නේ උදේට තමයි.මොකක් හරි හදිසියක් වුණොත් දොර ළඟට ඇවිත් කෑ ගහන්න තමයි තියෙන්නේ.ඒ දවස් වල ෆෝන් තිබුණෙත් නැහැ නේ.වාසනවට කාට හරි ඇහුණොත් හරි. නැත්නම් සොරි.
 
                          ඔහොම බට්ටිගේ සුන්දර කටු ඔටුන්න පැළඳි කාලයේ පිරිත් කියන්න කට්ටිය එළියට ගන්න පුදුම දුකක් වින්දා. බොහොමයක් දෙනා අඬා ගත්ත ගමන් ම නේ. හරිම චුරු චුරුව. ගෙදර යන්න ඕන කියයි. ගෙදර මතක් වුණා කියයි. පාළුයි කියයි. මේ ලෝකේ කියන්න තියන ඕනම කාරණාවක් ඇති 6 වසර ඉවර වෙලා 7 වසරට යන තුරාවටම අළුත් කියන ලේබලේ තියන පොඩ්ඩන්ට අඬන්න.නර්මදා....ඈ හිටියෙත් බට්ටිගේ ඩෝම් එකේ. අකුරැස්ස පැත්තේ කෙනෙක්.එදා බට්ටි කට්ටියව පිරිත් කියන්න එළියට දාන්න වලි කද්දි නර්මදාත් ඇඳ බදා ගෙන. සමහරු පිරිත් කියන වෙලාව වෙද්දි නිදි. නර්මදාත් ඒ වගේ නිදි වගේ හිටියාට නිදි නෑ කියලා බට්ටි දැන ගෙන හිටියේ.

              බෙල් එක ගහලත් ටිකක් වෙලා ගිහින්, කතා කරනවා-කරනවා නැඟිටින පාටක් නෑ.අතින් ඇදලා බිමට දාන්න හැදුවත් ඇඳ බදාගෙන හොඳට. පිරිත් කියන්න යන්න ඉන්න බට්ටිට දැන් යක්ෂාවේශ වෙලා.මේට්‍රන් මිස් ආවොත් බැනුම් අහන්නේ බට්ටි නේ. වේවැල අරන් ආවාම නිදා ගෙන ඉන්න කෙනාට වගේම ඩෝම් ලීඩර් ටත් එයින් සංග්‍රහ ලැබෙනවා.

                බට්ටි මොකටද නිකරුණේ ගුටි කන්නේ.ඕං යක්ෂයා........... 

"මට ඉතින් මේකිට ගිනි කූරක් ගහලා ගිනි තියලා දාන්න තමයි හිතෙන්නේ...." 

                 කේන්තිය හිතේ තියාගෙන පුපුරු ගහ ගහා විඳවන සිරිතක් බට්ටිට තිබුණේ නැහැ. පිට කරලා දැම්මා. බොහොම ශ්‍රද්ධාවෙන් පිරිත් කියන්න යන්න කළින්. ඒත් නැඟිටින පාටක් නෑ. බලා ඉඳලා බැරිම තැන බට්ටි ගියා පිරිත් කියන්න. හොඳ වෙලාවට මේට්‍රන් මිස් ආවේ නැහැ.ඒත් පුදුමෙට පිරිත් කියලා ඩෝම් එකට එද්දි හොඳටම නිදා ගෙන හිටිය නර්මදා අවදි වෙලා, අඬනවා. අනේ අනේ.පිරිත් කියන්න යන්න නැඟිට ගන්න බැරි වුණ කෙනාට බට්ටි කේන්තියෙන් කියපු දේ ඇහිලා....... බට්ටිට විරුද්ධව මේට්‍රන් මිස් ළඟට යන්න නර්මදාට පුළුවන් කමක් නැහැ එයා අතේ වරදක් තියා ගෙන.සිද්ධ වුණේ එකම දෙයයි එදායින් පස්සේ නර්මදා බට්ටි එක්ක අමනාප වුණා, කතා කළේම නැහැ. බට්ටි වුණත් සෙකන්ඩ් වෙන්න ගියේ නැහැ,මොකද බට්ටි දන්නවා බට්ටි අතේ විතරක් නෙමෙයි වරද තියෙන්නේ කියලා. 

                       " එයා කොහොමද එහෙම කරන්නේ, මට ගිනි තියන්න. මොකද මගේ අම්මලා මාව හදලා තියෙන්නේ එයාට ගිනි තියලා දන්නද....?" ඔය වගේ දේවල් බොහොමයක් එදා නර්මදා කියෙවුවා. 

                     7 වසරට යද්දි නර්මදා හොස්ටල් එකෙන් අයින් වුණා. ඊට පස්සේ බෝඩිමක ඉඳන් ටික දවසක් ස්කෝලේ ඇවිත් ස්කෝලෙන් අස් වෙලාම ගියා.ඒ යද්දිත් බට්ටි එක්ක කිසිම කතා බහක් නර්මදාගේ තිබුණේ  නැහැ. කාලයත් එක්ක ඔය දේවල් අමතක වෙලා මිතුරු වෙන්න තරම් කාලයක් අපි මුණ නො ගැසුණ නිසා මට හිතෙන්නේ අදටත් අපි දෙන්නා තරහයි. මඟතොටදී අපි හමු වුණාද, හමු වෙනවාද දන්නෙත් නැහැ. පුංචි කාලේ දැක්කාට පස්සේ නොදැක්ක නිසා, දැන් දැක්කාට අඳුනා ගන්න පුළුවන් වෙන එකකුත් නැහැ.

                කොහොම හරි ඩෝම් ලීඩර් කමෙන් මට ඉතිරි වුණේ සදාකාලික හතුරුකමක් විතරයි.මොනවා හරි ඩියුටි එකක් නර්මදාට තියනවා නම් වෙන කෙනෙක් ට කියලා ඒ ගැන නර්මදා දැනුවත් කරවනවා මිස බට්ටි කතාවට නොගියේ ඒ දවස් වෙද්දි බට්ටි ළඟ  තිබුණ මහා හිතුවක්කාරකම නිසා. හිතුවොත් හිතූ දේ කරන්න තිබුණ ඕනකම සහ බට්ටි කරන දේ හරි ය කියන විශ්වාසය බට්ටි තුළ තිබුණ නිසා වෙන කෙනෙක් දෙන හැම අවවාදයක්ම බට්ටි පිළි ගත්තෙත් නැහැ.අනික බට්ටි හරිම තද, නපුරු හිතක් තිබුණ කෙනෙක්.කවුරු හරි තරහා වුණා කියලා එයාගේ යාළුකම නැත්නම් මට ජීවත් වෙන්න බැහැ. මම මොකටද තරහාකාරයෝ හදා ගන්නේ කියලා හිතලා තරහා අමතක කරලා යාළු වෙන්න තරම් ඕන කමක් බට්ටිට තිබුණේ නැහැ.අද වෙද්දි ඒ ගතිගුණ ටිකක් විතර අඩු වුණත් සම්පූර්නයෙන්ම නැති වෙලා නම් නැහැ. 


බලු වලිගේ ඇද අරින්න බැරි ලු නේ උණ පුරුකේ දැම්මත්.
               

Wednesday, February 13, 2013

ෆෙරාරියකින් සවාරියක්

                         බලපු දවසේ ඉඳන්ම මේ ගැන ලිවිය යුතුයි කියලා මගේ හිතට දැනුණා. සමහර විට මේ ෆිල්ම් එක හින්දි ෆිල්ම් එකක් කියූ පමණින්ම සමහරු ආ...පෝ කියලා කියාවි. මොකද මම දන්නවා බොහොමයක් පිරිමි පක්ෂය හරිම අකැමැතියි හින්දි ෆිල්ම් බලන්න. ඒවා හරි බොළඳයි කියන මතයේ එයාලා ඉන්නේ. මල් ගස් වටේ නටන එකයි, අභව්‍ය කතාවකට වටේට එල්ලලා කියලා කිවුවත් වරදක් නැහැ. ඒත්.. ගැහැණු පාර්ශවයේ අදහස මීට බොහොම වෙනස්. හැම දෙනාගෙම නෙමෙයි. බහුතරයක් ගැහැණු අය හින්දි ෆිල්ම් බලන්න කැමතියි. උදාහරණයක් විධියට ගත්තොත් මම වුණත් ස්කෝලේ 10-11 වසර වල ඉන්න කාලේ හින්දි පිස්සියක්. මොන ෆිල්ම් එකද රූපවාහිනියේ පෙන්වන්නේ රෑ එළි වෙන කල් හරි ඇඩ් බල බලා අමාරුවෙන් ඔය ෆිල්ම් එක ඉවර වෙන තුරු බලනවා. ඒත් ඊට පස්සේ අවුරුදු 20-24 වගේ කාලේ හින්දි ෆිල්ම් එකක් ආසාවට වත් බලන්නේ නැහැ, අඩුම තරමේ රේඩියෝ එකේ හින්දි සිංදුවක් යනවා ඇහුණාද " ෂිහ්. මේ මොන ජරාවක්ද? අපේ සිංහල සිංදුවක් නැද්ද මේවායේ යන්න." කියලා බැන බැන චැනල් එක මාරු කරනවා.

                     ඔහොම ඉඳලා හින්දි ෆිල්ම් බලන එක නවත්තලා ම දැම්මා. ආයේ මෙහේ ආවාම තමයි හින්දි ෆිල්ම් බලන්න පටන් ගත්තේ, මොකද ඉන්ට(ර්)නෙට් තියනවා, සිංහල සබ් දීලා ෆිල්ම් දානවා. ඉතින් මොකද බානවා. බලනවා. නො දන්න හින්දි විතරක් නෙමෙයි, කොරියන්, රුසියන් ඔය ඕන එකක් සබ් එක්ක දෙන නිසා අවුලක් නෑ.

                                 මේ කතාව තුළ ජීවත් වන්නේ කායෝස් කියන කුඩා දරුවා,  ඔහුගේ පියා සහ සීයා.ඔවුන් වටා ගොඩ නැඟුණ කතාවට තවත් පිටස්තර චරිත කිහිපයක් එක් වෙනවා.රඟපෑමක් නැතිව සචින් තෙන්ඩුල්කාර් නම් වූ ක්‍රිකට් ක්‍රීඩකයා ගැනත් සඳහන් වෙනවා.ඔහුට ස්තුතියක්ද එක් කරමින්ම.

                                " කායෝස් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කායෝස් ගේ තාත්තා රුස්තම් එයාගේ ක්‍රීඩා වැඩ වලට ගොඩක් උදවු කරනවා  වුනාට  සීයා බෙහෙරම් දේබෝ නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. කායෝස්ට අවස්ථාවක් ලැබෙනවා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගී වෙන්න. ඒකට සහභාගී වෙන්න නම් රුපියල් ලක්ෂ 1.5ක් විතර වැයවෙනවා හැබැයි රුස්තම්ගේ වැටුපත් එක්ක මෙච්චර මුදලක් වැය කරන්න අමාරුයි."

                              මෙන්න මේ කොටස මම සොරා ගත්තා ෆිල්ම් එක බලපු තැනින්.ඒකට සබ් දීලා ලිපියක් පළ කළ කෙනාගේ අදහස් වලින්. සමා වෙන්න ඕනේ ඒ වෙනුවෙන් "නවීන් ලක්ෂිත" සහෝදරයා.

                              
                         මම මේ කතාවට කැමැත්තක් දක්වන්නේ ඇයි කියලා දැන් කියන්නම්. මෙහි කායෝස්ගේ පවුලේ මව ජීවතුන් අතර නැහැ කියන අදහසක් තමයි පෙන්වන්නේ. ( හෝ මම තේරුම් ගත්තේ ) පියා තම දරුවා වෙනුවෙන් කොපමණ කැපකිරීමක් කරනවාද, ඒ හා සමගම ඔහුගේ පියාට ( දරුවාගේ සීයාට ) කොපමණ සැළකීමක්, ගෞරවයක් දක්වනවාද කියලා මෙයින් බොහොම ලස්සනට පෙන්වනවා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කිසිම දවසක නොකරන්න හිතන-බලාපොරොත්තු වෙන දේවල් පවා කරන බව මෙයින් පේනවා. ඇසට කඳුළක් නැගෙන්න තියන ඉඩ කඩ වැඩියි මෙහි.තාත්තා ගැන වැරදි වැටහීමක් තියන කෙනෙක් වුණත් සමහර විට මේක බලලා ඔහුට ආදරය,ගෞරවය කරන්න ගනීවි.

                      රුස්තම් ණය ඉල්ලමින් එක එක්කෙනා පස්සේ යන හැටි තමන්ගේ පුතා ව ලෝඩ්ස් වල පුහුණු කඳවුරට යවන්න ....

                          මම මේ ගැන ලියන්න පටන් ගත්තේ ටික දවසකට කළින්. පහු ගිය ටිකේම ෆුල් බිසි වුණ නිසා බ්ලොගය පැත්තට වත් ආවේ නැහැ. ඒ නිසා ලියන්න හිටපු දේවල් මගේ මතකයෙන් ගිහින්. කමක් නැහැ.                      


                    ෆෙරාරියකින් සවාරියක් කියලා සටහන් වුණ සිංහල උප සිරැසි එක්කම මේ ලින්ක් එකට ගියා නම් බා ගෙන බලන්න තිබුණා.
















වැලන්ටයින්


වෙන් කරලා ලු දිනයක්
ආදරවන්තයන්ට
කරන්නට ආදරය
ඇයි තහනම්ද අනිත් දවස්.....

වෙන කොහේදෝ
ආදරය කරන්නට
විවාහ වෙන්නට තහනම් වූ රටක

උදවු කළ, ආදරයට                                                          
සාමී නමින් වැලන්ටයින්....


මරා දැමුවායින් පසු
ගෞරව පිණිස එතුමාට
එරට වැසියන් යොදා ගත් දිනය
මුළු ලොවම බදා ගෙන අද වෙද්දි


දෙපසින් වරම් නොලබන
පෙම්වතුන් සැම හට
තුබුණත් කොයි තරම්
වෙන් කළ දිනයන්


හිර කර ඇති කූඩු
කඩා බිඳ දමා ගෙන
ඒ එකම දවසේ පමණක්
හැකිද පැමිණෙන්නට
කරන්නට ආදරය....



හැකි නම් පැමිණෙන්නට
ඇතිද එය වසරකට
ආදරය නම්  එයමද?

මුළු දිවිය පුරාවට
ආදරෙයි මං ඔයාට
කියමින් කූඩු වූ එක් කැදැල්ලට
බිරිඳ- සැමියාට
තහනම්ද ඒ දිනය

දෙනවා නම් , ලබනවා නම්
ආදරය හැමදාම
කුමකටද එක් දිනක්
තර කරන්නට
වෙළඳුන්ගේ මඩිය



Saturday, January 19, 2013

බලන් අසිරි සිරි

          හරිම දුකක් කණගාටුවක් ඇති වෙන්නේ අපේ රට ගැන මතක් වෙද්දි සහ වතුර වෙනුවෙන් බොහොමයක් වියදම් කරන මේ වගේ කාන්තාර රටක වටපිටාව දැක්කාම. බලන්න ඔයාලාට හිතෙන්නේ මොනවාද කියලා.





                     හිතෙනවාද මේ ලංකාවේ හග්ගල මල් වත්තේ පින්තූර ටිකක් කියලා. එහෙම නැත්නම් පේරාදෙණියේ. ඇත්තටම අපි දන්නේ ලස්සනට මල් වවලා තියෙන්නේ ඒ වගේ තැනක කියලා තමයි. ඒ වුණත් කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මේ මල් වත්තක් නම් නෙමෙයි කියලයි.

                                        






                    ඩුබායි රටේ අපි යන එන පාරේ දෙපස තමයි මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න ලැබෙන්නේ.


තට්ටු දෙකට කපලා හොඳට නඩත්තු කරන ගහක්



                                      මේ විධියට වතුර බට එලලා තමයි එයාලා ඒ මල් ගස් වලට වතුර දෙන්නේ.මේ වතුර පවා අපි හිතන විධියට අපේ රටේ වගේ ගංගා, ඇළ දොළ වලින් ගලා බසින සීතල පිරිසිදු වතුර නෙමෙයි. මෙයාලා මේ සඳහා යොදා ගන්නේ අපි නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය සහිත ජලය පිරිසිදු කිරීමෙන් අනතුරුවයි. (කවුරුත් දන්න වචනයෙන් කියනවා නම් ට්‍රීට් කරපු වතුර තමයි මේවාට යොදා ගන්නේ.) යම් කිසි කාල පරාසයකට පසුව ජලයෙන් ඒ බිම තෙමනවා.සමහර වෙලාවට ඔය වෙලාවට ළඟින් යනවා නම් කවුරු හරි නහය වහගෙන තමයි යන්නේ. මොකද පිරිසිදු කරනවා කිවුවට ඉතා පිරිසිදු නැහැ නේ. අනික එයාලා ඒ තරමට පිරිසිදු කරන්නෙත් නැහැ එයින් එන්නේ ස්වාභාවික පොහොර නිසා.



                                 මේ වගේ දැක්කාම මට හැමදාම හිතෙන දෙයක් තමයි අපේ රටෙත් පාරවල් දෙපැත්තේ මේ වගේ ලස්සනට මල් වවලා තිබුණා නම් කියන කාරණාව. ලෝකේ වටේ අපේ රටේ ඇමති ගොල්ලෝ ඇවිදලා ඒ රටවල් වලින් ඉවතට විසි කරන කුණු ජරාව ගෙනැත් අර රටේ මෙහෙමයි- මේ රටේ මෙහෙමයි-අපිත් එහෙම කරමු කියන වෙලාවට මේ වගේ රටකට ආවාම දකින මේ වගේ හොඳ දෙයක් අපේ රටෙත් කරන්න බැරි ඇයි? අපේ ජනාධිපති තුමාට වුණත් පුළුවන් වෙන්න ඕන ඕනම රටකින් හොඳ දෙයක් දැක්කාම අපේ රටේ කළ හැකි නම් එය ක්‍රියාවට නැංවීම. ඔය කියන කාරණාවේදී මහ ජනතාව විධියට අපි හැම දෙනා පවා ඒ සඳහා උදවු උපකාර කළ යුතුයි. ඒ කිවුවේ මල් පැළ වලට වතුර දාන්න කියලා නෙමෙයි.

                                 ඒ වගේ ලස්සනට මල් තියනවා නම් බුලත් කෙළ සෙම්-සොටු හූරා දාන්නේ නැතිව මල් කඩලා දාලා නිකම්ම නිකන් කොළ ටික විතරක් ඉතිරි කරන්නේ නැතිව ගහට කොළයට ආදරය දක්වන්න. මොකද කියන්නේ.....


                              ආ... තවත් දෙයක්. අපේ පාරවල් වල මැද තියනවා නේ කොටසක්. අපේ ත්‍රීවිල් හා මෝටර් බයික් සහෝදරවරු කරන්නේ ඔය හරහා පාරේ අනිත් පැත්තට යන එක.ඉතින් කොහොමද ඔය කොටසේ මල් වවන්නේ. ටිකක් හිතන්න. ස්වාභාවිකව අපේ රට බොහොම ලස්සන රටක්. ඒ ලස්සන නැති කර ගන්නේ නැතිව මේ විධියට අපට තවත් ලස්සන කර ගන්න පුළුවන් නම් විදේශිකයන්ගේ පැමිණීම තවත් වැඩි වේවි. කාට හරි පුළුවන් නම් වගකිව යුතු පුද්ගලයෙකුට මෙය පෙන්වන්න.එකම තැනකින් හරි මේ වැඩේ පටන් ගත්තොත් ජනාධිපති තුමාට ඔය කාරණාව රට වටා ගෙනියන්න අමාරු වෙන එකක් නැහැ. 

                           මම මගේ රටට ආදරෙයි ගොඩාක්. ඒත්.. මට ඔය වැඩේ කරන්න බැහැ නේ. මම ඔය වගකිව යුත්තන් අඳුනන්නෙත් නැහැ. අපේ රටට ආදරය කරන- එය ක්‍රියාත්මක කළ හැකි අයෙක් ඉන්නවා නම් මෙන්න අවස්ථාව.

Tuesday, January 15, 2013

ප්‍රියාදර මගේ පෙම


ආදරය එබෙනවා මගෙ                     හිතට
සැනසීම ළං කරන්                       ජීවිතෙට
නුඹ ළඟින් හැමදාම ඉන්න              කොට
තව මොනවා ලැබෙන්නද ඉතින්          මට

නුඹේ සෙනෙහේ මා වෙතම ලැබුණු කොට
සිනා වැහි නුඹ වෙතින් වැටෙන        කොට
දුක් කඳුළු ඈතටම ඇදෙන                 කොට
තව මොනවා ලැබෙන්නද ඉතින්           මට