දඹදිව සිහිනය
ලොකු අම්මා කළින් වතාවක දඹදිව වන්දනාවේ ගිහින් තිබුණ නිසා මේ වතාවේ ලොකු තාත්තා එක්ක යන්න සූදානම් වුණේ බොහොම කැමැත්තෙන්.කසාද බැඳලා අවුරුදු බර ගාණක් ගියත්, ලොකු තාත්තා ට තාමත් ලොකු අම්මා කෙල්ල කාලේ වගේ. දැන් දරු දෙන්නා ගේ මංගලෝත්සවත් අහවර කරලා, එක් මිනිපිරියකට ආච්චි- සීයා වෙලා , රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහින් දෙන්නා නිදහසේ මේ ගමන යන්න සූදානම් වුණේ.
දින නියම වෙලා තිබුණේ නොවැම්බර් මාසේ 09 වෙනිදා ගිහින් 22 වෙනිදාට නැවත පැමිණෙන්න. අදාළ පැමිණිමේ දිනයත් දැන් පහුවෙලා සතියක් .
ඔය චාරිකාවට ලොකු අම්මා, ලොකු තාත්තා, ලොකු තාත්තාගේ එකම නංගි ( නැන්දා)ත් යන්නයි බලාපොරොත්තුව තිබුණේ.
ඉස්සර දුෂ්කර පළාත් වලට කියලා මාරු වීම් දුන්න අපේ පැත්තට දැන් මිනිස්සු බොහොමයක් කතා කියනවා. කොළඹ මෙහෙට මාරු වේවි කියලා. එහෙම කිවුවාම ලංකාවේ ඉන්න අය නම් දන්නවා ඇති මේ කියන්නේ කොහේ ගැනද කියලා. නො දන්න සහ දන්නා බව නො පෙන්නා දැන ගැනීමට කැමති අය වෙනුවෙන් කියන්නම් අපේ ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට කියන ප්‍රදේශය. අපේ ගෙදර පිටිපස්සේ තිබුණේ කාලයක් ලුණු ලේවායක් වෙලා තිබුණ "කරගන් ලේවාය ". දැන් මහ ලේවාය විතරයි ලුණු ලේවාය විධියට භාවිතා කරන්නේ. ඒත්.. කරගන් ලේවායෙත් කරදිය මිශ්‍ර ජලය තමා තිබුණේ. කලපුවක් වගේ.
කාලයක් මිනිස්සු ලේවායේ ඉස්සෝ ඇල්ලුවා. ඉස්සො කොටු දාලා නෙමෙයි.
දැන් ඒ ලේවායට බහින්න වත් බෑ.වරායට ඔය ලේවායෙත් කොටසක් ගත්තා. කොටසක් ගොඩ කරා. දූපතක් වගේ වෙන්න. තෙල් ටැංකි ගහලා, තව මොනවාදෝ ගොඩනැඟිලි වගයක් තියනවා.අපේ ගෙදර පිටි පස්සෙමයි. නැව් ආවම ගෙදර ඉඳන් බලන්න පුළුවන්.
මේක අපේ ගෙදර පිටි පස්සට ගිහින් ගත්ත පින්තූරයක්
කතාව සෑහෙන්න පිට පැන්නා. ඔන්න ආයෙමත් කතාවට. ( ඇඩ් එක ඉවරයි )
ඉතින් ඔන්න 07 වෙනිදා හවස 5.00 ට විතර ලොකු අම්මා ගෙදරින් එළියට බැහැලා තියෙන්නේ උදේ 3.00 ට තියන බස් එකේ කොළඹ යන්න ඕන නිසා ත්‍රී වීල් එකකට එන්න කියන්න,උදේ බස් එකට යන්න.
ගෙදර කිට්ටුවම ගෙදරක ත්‍රීවීල් එකක් තියන නිසා එතැනට තමයි යන්න ගියේ. මඟදී හමු වුණ ලමයි දෙන්නෙක් එක්ක පාර අයිනේ කතා කර කර හිටියේ ළඟ එන කඨින පිංකම ගැන.
ඔය අතරේ තවත් ත්‍රීවීල් එකක් සර්පයෙක් එනවා වගේ zසිග් zසැග් තාලෙට පාරේ ආවත්, පාර අයිනටම වෙලා හිටිය නිසාත්, යන්නට ඕනෑ තරම් ඉඩක් තිබුණ නිසාත්, තවත් අයින් වෙන්න තරම් ඉඩක් නො තිබුණ නිසාත් තුන් දෙනාව එතැනට වෙලා හිටියේ මේ ත්‍රී වීල් එක පහු වෙන තුරු.
පාර පුරා එහේ මෙහේ දුවමින් ආපු ත්‍රී වීල් එක නතර වුණේ ලොකු අම්මාගේ ඇඟේ හැප්පුණාට පස්සේ. එයාගේ නළල පැත්ත සයිඩ් කණ්ණාඩියේ වැදුණාම ලොකු අම්මා බිම වැටිලා. හොඳටම බීපු මිනිහෙක් තමයි ඒ විධියට එයාව හප්පා ගෙන ගිහින් තිබුණේ. ගමේම දන්න කියන මනුස්සයෙක්.
කතා කර කර හිටපු පිරිමි ළමයි දෙන්නාත් එක්කම ලොකු අම්මා ගෙදරට ඇවිත්. කිසි අමාරුවක් තිබිලා නැහැ.
ඒත්. 6.00 -6.30 විතර වගේ වෙද්දි දෙ පාරක්ම එයා වමනේ කරලා.
ඒ වගේම අහන දේවල් වලට උත්තර දෙන එකත් ටික ටික අඩු වෙලා. ගෙදර අය ඔක්කොම තීරණය කරලා තිබුණා ලොකු අම්මාව ස්පිරිතාලේ ගෙනියන්න. ලොකු නංගි වැඩ කරන්නේත් හම්බන්තොට ලොකු ස්පිරිතාලේ නිසාත්, ඒ වෙද්දි එයා ගෙදර හිටිය නිසාත්, අම්මා කියලා තිබුණා නංගිට ලොකු අම්මා එක්ක හොස්පිට්ල් යන්න.
හැමදාම වගේ එදත් අපේ ගෙදරින් ස්කයිප් මාර්ගයෙන් කතා කළා. එහෙම කතා කරද්දි නංගි ව නොදැක්ක නිසා මං ඇහුවා "කෝ පොඩී..?" කියලා.
"එයා ස්පිරිතාලේ" බාලයා එහෙම කිවුවේ හොරෙන් වගේ. රෑට නංගි හොස්පිට්ල් ඉන්න එකේ ලොකු දෙයක් නැති වුණත්, ඒ කිවුව විධිය මට වෙනසක් දැණුනා.
"ඇයි ඒ...?"
"ලොකු අම්මා ස්පිරිතාලේ"
" ඒ මොනවා වෙලාද?"
"ලොකු අම්මා ත්‍රී වීල් එකක් හප්පන්න ගිහින් නේ."
" මොකක්.........?"
' ඒ කියන්නේ නවත්තලා තිබුණ ත්‍රීවීල් එකක ලොකු අම්මා හැප්පිලාද?'
මට මහා ප්‍රශ්නයක් මෙයාලා මොනවා කියනවාද කියලා.
ටිකකින් තමයි මම ඉහතින් කියපු කතන්දරය මට අහන්න ලැබුණේ.
ඒ වෙලාවේ ලොකු තාත්තාට කතා කරලා තේරුමක් නෑ කියලා මට තේරුනා. එයා දැන් හොඳටම අවුල් වෙලා ඇති. මම කතා කරා සුදූට. ( සුදූ කිව්වේ ලොකු අම්මාගේ දුව.)
එයාගෙන් විස්තරය අහගෙන, හිත ටිකක් සනසලා, ලොකු තාත්තා එක්කත් කතා කළා.ලොකු අම්මා ළඟ ඉන්නේ නංගි නිසා එයාට කථා කළේ අළුත්ම තත්ත්වය දැන ගන්න.එතකොට ලංකාවේ වෙලාවෙන් 12.00 යි.
"දැන් ලොකු අම්මා කරාපිටියේ ( ගාල්ල )අරන් යන්න හදන්නේ. සී.ටී ස්කෑන් එකක් කරන්න ඕනලු. මෙහේ මැෂින් එක කැඩිලා"
"හරි එහෙනම් අපි තව ටිකක් රෑ වෙලා ගන්නම්."
"ලොකු තාත්තා දන්නේ නැහැ කරාපිටි ගෙනියන බව. එයාට කියන්න ඕන නැහැ." අම්මාගේ අදහස වුණේ ඒක.
ඒත් මම ආයේ සුදූට ගත්තා. ලොකු තාත්තාත් සීන් එක දන්නවා.
එයාලත් ගාළු යන්න සූදානම. ගෙදර කාර් එකක් තියෙන නිසා හොඳයි. ඒත්.. මේ වෙලාවේ ලොකු තාත්තා ඩ්‍රයිව් කරනවා කියන්නේ ලොකු රිස්ක් එකක්.'පුංචි මාමාට වාහනේ ගෙනියන්න දෙන්න. ලොකු තාත්තාට දෙන්න එපා.' මං සුදූට කිවුවා.
පහුවදා ඔපරේශන් එකක් කරලා. මොළයට ලේ බැහැලා තිබුණාලු. ලේ අයින් කරලා හැම තැනින්ම බට එල්ලලා, සිහි නැති වෙන්න බෙහෙත් දීලා. බට විතරයිලු පේන්නේ එයාව බලන්න ගියාම.මුත්‍රා බටය, සේලයින් බටය, තව ඔක්සිජන් දෙන්නත් බටයක්, තව මොන මොන දේවල් වලට බට දාලා තිබුණාද මන්දා.
කතාව ගොඩක් දිග වුණා. නොහිතපු විධියට . ඒත්.. අදටත් ලොකු අම්මා ස්පිරිතාලේ. එයාගේ වම් අත-පය වැඩ කරාට, තවම දකුණ දුර්වලයි. තවම කතා කරන්නෙත් නැහැ. සමහර විට කතා කරන්න බැරි වෙයි කියලා දොස්තර මහත්තුරු කිව්වාලු.අනේ එහෙම නම් වෙන්න එපා.තවම එයා ශක්තිමත්, දුවලා පැනලා වැඩක් කර ගන්න එයාට පුළුවන්. ඒ හිතේ හයිය හින්දා වෙන්න ඇති දැන් ටික ටික දකුණු පැත්තත් අත-පය හොලවන්නේ.කොහොම වුණත් දැනට දවස් 22ක් එයා ස්පිරිතාලේ. තනියට කවුරු හරි ළඟ ඉන්න ඕන. අම්මා, නංගිලා, සුදූ, පුංචි අම්මලා,තව නෑ හිතවතුන් මේ දවස් ටිකේම මාරුවෙන් මාරුවට එයා ළඟ තනි රැක්කා. මම ඈත රටක තනි වෙලා එයාට දැන් කොහොමද.. දැන් කොහොමද.. මොකක්ද අළුත්ම තත්ත්වේ අහ අහා ඉන්නවා.
අන්තිම පේලියෙන් කියෙව්ව මේ කතාව.
ReplyDeleteනැවතත් ඉකමන් සුවය ප්‍රාර්ත්නා කරනව ලොකු අම්මට!!
මගෙ ලොකු අම්ම ගැන කතාවත් කියවන්න
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි